ආයිත් Batman තනියෙම එන්නෙ 2017දි ලු…
Warner Bros සහ DC Comics සමාගම් මේ දිනවල උභතෝකෝටිකයකට මුහුණ පාලා. ඒ තමයි දැනටමත් තමන්ගේම සිනමා පෙළහරකට අයිතිවාසිකම් කියන කැරැට්‍ටු ටික 2015දී එළිදකින්නට නියමිත Justice League චිත්‍රපටයට හඳුන්වා දෙන්නෙ කොහොමද කියන කාරණය. නම් වදයෙන් කියනවනම් මේ ගැටළුව ඇති වෙලා තියෙන්නෙ චරිත දෙකක් ගැනයි. ඒ තමයි Green Lantern සහ Batman. මේ දෙකම සම්බන්ධව තිබෙන හිත් කරදරේට හේතු මෙහෙමයි. “Green Lantern ප්‍රධාන ප්‍රේක්ෂක ප්‍රවාහය වෙත එතරම් හොඳින් පිවිසුණේ නැහැ. Batman ත්‍රිත්වය දැන් ඉවරයි” ඒ අනුව මේ චරිත දෙකේම ඉදිරි හමුවීම කොහොම කළ යුතුද කියන එක දැන් තරමක ප්‍රශ්නයක් වෙලා.
ඒ කොහොම වෙතත් මේ ආරංචිය Justice League ගැන නෙමෙයි. Batman ගැනයි. ගිය වසරේ ආ තුන්වන චිත්‍රපටයත් සමග Chris Nolan-ගේ Batman ත්‍රිත්වය අවසන් වුණා. මේ චිත්‍රපට තුනම ලද අතිමහත් සාර්ථකත්වයත් දැන් Warner-ලට හිසරදයක් වෙලා. හේතුව එම චිත්‍රපට මගින් මේ චරිතයේ නව යුගයක් සහ නව පෙනුමක් ඇති කිරීම. මේ නිසා ඒ ගැන මතකය බොහෝ කල් රැඳෙනු ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා ඒ ප්‍රේක්ෂක ඇල්ම නැති නොකරගෙන, ඔවුනගේ අමනාපයටත් ලක් නොවී චරිතය යළි වරක් තිරය මතට ගෙන එන්නේ කොහොමද? අනික Nolan-Bale මේ චරිතයට ඇති කළ දැවැන්ත ප්‍රතිරූපයම කොච්චර අභියෝගයක්ද?
පේන හැටියට එකම උත්තරේ කල් දැමීම….
ඒ අනුව මීළඟ වතාවට අපට මේ චරිතය හමුවන්නේ Justice League තුළින්. ඒ 2015දි. ඒත් Batman-ගේ ඒකල චිත්‍රපටයක් එන්නේ ඊටත් අවුරුදු දෙකකට පස්සේ. ඒ කියන්නෙ 2017. එතකොට ආපහු Dark Knight හමුවන්නෙ අවසන් Batman චිත්‍රපටයෙන් වසර තුනකට පසුවයි. ඒකල චිත්‍රපටයක් එන්නේ ඉන් වසර 05 කටම පසුවයි.
මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි, අවුරුදු දෙකකට පස්සෙ එන Batman ගැන සැලකිලිමත්ව අවධානය යොමු කරන්ඩ ඉඩ ලැබෙන එක. ඊටත් වඩා මොන හේතුවක් නිසා හරි මේ සමූහ වීර චිත්‍රපටය අසාර්ථක වුණොත් එහෙමත් නැතිනම් එහි එන Batman අවතක්සේරුවකට ලක් වුණොත්, ඒ වරද හදාගෙන ඔහුව නව මුහුණුවරකින් ආයිම හඳුන්වාදෙන්ඩ තවත් වසර දෙකක්ම තියෙනවානෙ. කොහොමද වැඩේ 😛
Flash/ Aquaman/ Wonder Woman වගේ චරිත වෙනුවෙන් කෙරෙන ඒකල චිත්‍රපට ගෙන එන්ඩ අදහසක් නැතිනම් Justice League වලට කලින් DC වෙතින් හමුවෙන්නේ ඒකල වීරයන් දෙතුන්දෙනයි. මේක Marvel කට්ටියගේ ක්‍රමේට වඩා එහෙම පිටිම්ම කණපිටයක්. මොකද ඒ අය සමූහ වීර චිත්‍රපටයක් කළේ, තමන්ගෙ ප්‍රධානතම සුපිරි වීර චරිතයන් ඒකල චිත්‍රපට මගින් හඳුන්වාදිමෙන් පස්සෙ නිසා. කොහොම නමුත් ‘2013 – 2017’ කාලය අතරතුර DC/WB වෙතින් තවත් වීරයන් රැසකගේම චිත්‍රපට හැදෙන්ඩත් ඉඩ තියෙන බවටත් රාවයක් තියෙනවා!