ඉදිරි දිගහැරුමපුවත්වගතුගසියල්ල

ඉදිරි දිගහැරුම (LIX) | Annabelle – යකා වැහුණ බෝනික්කා…

The-Conjuring

අධ්‍යක්ෂක James Wan ගේ මෙහෙයවීම මත පහුගිය අවුරුද්දේ ආපු වඩාත්ම සාර්ථකත්වයක් හිමිකරගත්, භයානක රසය රැගත් චිත්‍රපටය දැන් වෙනකොට හැමෝම බලලා ඇති. නමින්ම කීවොත් චිත්‍රපටය ‘The Conjuring (2013)’. නොපෙනෙන බලවේගයන් එක්ක සටන් වැදුණ භූත ගවේෂකයන් දෙදෙනෙකු ගේ සත්‍ය අද්දැකීම් ඇසුරින් තිරයට නැගුණු මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා, එහි දෙවැන්නක් තැනීමට යන බවත් අප මීට කලින් විස්තර ගෙන ආවා.

Annabelle-movie-poster

මේ කියන්න යන්නේ එහි දෙවැන්න ගැනනම් නොවෙයි. ඊටම සම්බන්ධ වී තැනෙන පිට-පැන්මක් නැතිනම් Spin-Off එකක් ගැනයි. පෙර කී චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා, එහි දෙවැන්නක් ගැන අවධානය යොමු වන්නට පවා පෙර තමයි මේ ගැන හිත යොමුකර තිබුණේ. ඒ වුණත් එය සනාථ කර තිබුණේ නැහැ. බෙදා හැරි Worner Bros. සමාගමේ අනුමැතිය අනුව වොරන් යුවල සතු තවත් අද්දැකීම් සිනමාවට නගන්නට තීරණය වුණේ, ‘The Conjuring (2013)’ තිරගත වී නිමවන්නටත් පෙරයි. හැබැයි Warren සමාගම වෙත කෙරෙන ගෙවීම් සම්බන්ධ අර්බුදයක් නිසා මේ ගැන කිසිදු විස්තරයක් පිටතට නොදෙන්නට නිර්මාණකරුවන් වගබලා ගත්තා. ඉතින් මේ චිත්‍රපටය නිකුත් වන බව වත් හරිහැටි හෙළි වුණේ, බොහොම මෑතකයි. මෙවර කතාව Conjuring‘ හි පෙරබැඳියක් ලෙසත් හඳුන්වන්නට පුළුවනි. හේතුව තමයි අප එහි දුටු යක්ෂ බන්ධනයකට නතු වුණ බෝනික්කා ගේ අතීත කතාව මේ චිත්‍රපටය තුළින් ගෙනහැර පාන එක. බෝනික්කගේ නම මතකනේ… Annabelle

the-conjuring-movie

Gary Dauberman තිර රචනාවක් ඇසුරින් මේ කතාව සිනමාවට නගන්නේ James Wan නම් නොවෙයි. ඔහු තම සිනමා චාරිකාවේ වෙනත් ඉසව් සොයා යන්නට භීම සිනමාවට සමුදුන් නිසා, මෙවර ඔහුගේ අඩුව පුරවන්නේ John Leonetti විසිනුයි. නම එතරම් හුරු පුරුදු නැති වුණත්, ඔහු තමා Conjuring නිර්මාණය කරද්දී කැමරාව හැසිර වූ කෙනා. එනිසා මේ වගේ චිත්‍රපටයක් නියම විදියට කරන හැටි ගැන ඔහු නිසැකවම දන්නවා.

screen-shot

“ඉතින් මේ පාර අපට දැකගන්නට ලැබෙන බෝනික්කා පෙර දී දුටුවාට වඩා ළාබාලයි. ලිඩියා තමයි මේ යකා වැහුණු බෝනික්කාගේ අයිතිකාරිය. ඇයට ඇනබෙල්’ව තෑග්ගක් හැටියට ලැබෙන්නේ තමන්ගේම සැමියාගෙන්. ලිඩියා කියන්නේ ටිකක් බය හිතෙන පෙනුමක් ඇති අමුතු බෝනික්කන්ට ආශා කරන, ඒවා එකතු කරන කෙනෙක්. ඒ හින්දා මේ ඇනබෙල්’වත් තියාගන්න එයා තීරණය කරනවා. හැබැයි ඇය ගන්නේ කවුරුත් නොහිතන විදියේ අවදානමක්. ඒ ලිඩියා දරු උපතක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නිසයි. ඉතින්, මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක යකා වැහුණ බෝනික්කා මොන වගේ හොල්මනක් කරයිද? :O “

conjuring-doll-annabelle

අඩු වියදම් නිර්මාණයක් ලෙස එළිදැක්වෙන Annabelle චිත්‍රපටය සඳහා වැය කර තියෙන්නේ $ මිලියන 5ක් විතරයි. හැබැයි කලින් වගේම හොඳ ඉල්ලමක් පාදගන්න ලැබෙයි කියන එකයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ප්‍රධාන චරිතය වන ලිඩියා(මේ නම මියා(Mia) වෙන්නත් පුළුවන් බව තවත් තැන් වල කියැවෙනවා) ලෙස Annabelle Wallis සහ ඇගේ සැමියා ජෝන් ලෙස Ward Horton එකතු වනවා. New Line Cinema, Evergreen Media Group, Creepy Puppet Productions සහ The Safran Company තමා නිෂ්පාදන වියහියදම් උසුලන්නේ. (විශේෂයෙන් කියන්න ඕනේ, මේ Creepy Puppet Productions කියන්නේ James Wan සතු නිෂ්පාදනායතනය බව. ඒ කියන්නේ ඔහු නිෂ්පාදනයෙන් දායක වනවා කියන එකයි)

Conjuring Wilson Farmiga

කලිනුත් කීවා වගේ ඇති වූ ගැටලුකාරී බව නිසා තරමක් රහසින් වගේ තමා මෙහි නිර්මාණ කටයුතු සිදු කෙරුණේ. කරම්දෝ නොකරම්දෝ වගේ තිබුණ නිර්මාණයක් නිසා, මේ වසරේ ආරම්භයේ ඇරඹුණ නිර්මාණය වසර අවසන් හරියේදී තිරයට මුදා හරින්නත් තීරණය කෙරුණා. ඉතින් ඔය දේවල් කොයි කොහොම වෙතත් මේ වගේ තවත් අඩු පිරිවැය පිට-පැන්නුම් නිර්මාණ දෙකක් සිදු කරන්නට මේ වන විටත් අනුමැතිය හිමි වී හමාරයි. ඉතින් විචාරකයන් කියන විදියට, ඔය පොඩි පොඩි මතගැටුම් විසඳාගෙන දෙපැත්තටම වාසි වෙන විසඳුමකින් ඒ කාරණේ අහවර වේවි. එහෙම වුණොත් නම් ඉතින් සිනමා රසිකයන්ට වාසි/ අවාසි දෙකම ලැබෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. 😀

තිරයට එන දිනය: 2014 ඔක්තෝබර් 03

Author

2 thoughts on “ඉදිරි දිගහැරුම (LIX) | Annabelle – යකා වැහුණ බෝනික්කා…

  • අනිව
    පට්ට ඇති

    Reply
  • ස්තූතියි සහෝ දැනුවත් කිරීමට. බලන්න ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක් තමයි මේක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *