ඉදිරි දිගහැරුම… (XLII) | ID2: ID Forever – සදහට නිදහස…
1996 වසරේ පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කළා. එදා ඔවුන්ගේ අරමුණ වුණ, මිනිසුන් පරදවා ලෝකය අත්කර ගැනීමේ අදහස ඔවුනට අත්හැර දමන්නට සිදුවුණේ අරුම පුදුම සොයාගැනීමක් නිසා. ඒ තමා අපි කවුරුත් බිය වන; ගැළවෙන්නට වැර දරන; පරිගණක වෛරස මගින් මේ විනාශකාරී ජීවීන්ගේ සැලසුම වැළැක්විය හැකි බවට කළ අහඹු සොයාගැනීම. එදායින් මෙදා වසර 5ක් 10ක් 15ක් ලෙස කල් ගතවී ගියා. කිසිදු පසු සිදුවීමක් තබා මේ ජීවීන්ගේ හෝඩුවාවක්වත් දැනගන්නට ලැබුණේ නෑ. මුළු ලෝකයම සාමකාමී කාලපරිච්ඡේදයක් පසු කළා. නමුත් ඒ සාමයට සීමාවක් නොතියේවිද?
එදා ඇමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරමින් එල්ල කළ අති දැවැන්ත ප්‍රහාරය සාර්ථකව මැඩලන්නට ඔවුනට හැකිවුණත්, ඉන් පසුව ඒ ඔස්සේ කිසිදු පාඩමක් ඉගෙනගත්තාද යන්න සැකසහිතයි. එක ලොවක් හොබවන තනි ජීව-කොට්ඨාශයක් ලෙස මිනිසා එදාමෙදාතුර තවමත් එකට එක්කාසු වී නෑ. ඔවුන් තවමත් විවිධ පක්ෂ/ පාට/ ජාති/ ආගම්/ කුලය/ බලය අනුව බෙදෙමින් එකිනෙකා සමග ඇණකොටා ගන්නවා. නමුත් එක් දියුණු ජීව කොට්ඨාශයක් ලෙස එදා ලොවට පහර දුන් පිටත්තර ජීවීන් එහෙම නෑ. ඔවුන් ලද බිඳවැටීමෙන් පසු, උපක්‍රම සොයා කල් බැලුවා පමණයි. ඔවුන් සිය පහර දීම, මෙහෙයුම අත්හැර දමා නෑ.
Roland Emmerich‘ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු මේ සලරුවෙහි දෙවැන්න කෙරෙහි දැන් ඔහුගේ අවධානය යොමු වෙලා තියෙන බව මීට පෙරත් මංසලෙන් විස්තර ගෙන ආවා. මේ හදන්නේ ඒ ගැන අලුත්ම විස්තර සටහන් සහිතව, සිනමා දිගහැරුම ගැන විපරම් කරන්නට. ඇත්තෙන්ම, ලෝක විනාශය කියන තේමාව සහ Roland Emmerich අතර පවතින්නේ, නොබිඳිය හැකි සම්බන්ධයක්. ඔහුගේ සාර්ථකත්වයේ රහස තමා ලෝක විනාශයේ කුතුහලය. වරෙක ඒ, සක්වල ජීවී ආක්‍රමණයක් [Independance Day]/ තව වරක, හිම යුගයක ආරම්භයක් [The Day After Tommorow]/ තවත් වරෙක ඒ, මහා පිපිරුමක් [2012]. ඒ කොයිම ආකරයක විනාශයකින් වුණත් ලොවක් වසඟයට ගන්නට තරම් ඔහුගේ නිර්මාණ ශක්තිමත්කමින් පොහොසත්. ඒ අතරින් 1996 වසරේ දුටු Independence Day බොහොම අවධානයට ලක්වුණේ, තේමාවේ භයංකරත්වයත්, තාක්ෂණික භාවිතාවත් යන කාරණා නිසා. ඒ හැරුණහම ලොව පුරා ජනප්‍රිය සිනෙ-තරුවක් බිහි කිරීමේ ගරුත්වයත් ඊට උරුම වුණා. ඒ රැප්කරුවෙකුව-හිඳ-ප්රහශනකරුවෙකු බවට පත් Will Smith, අලෙවිවාර්තාවන් පිහිටවිය හැකි නළුවෙකු බවට පත්කරවමින්.
මේ වගේ අතිසාර්ථක චිත්‍රපටයක් තැණුනහම, ඊට ඈඳුණු තවත් චිත්‍රපට පෙළක්ම එන එක තමා පුරුදු විදිහ. නමුත් ඒ අතින් කසු-කුසුවලට විතරක් සීමා වුණ මේ නිර්මාණය දැන්; ඒ නිහඬ සමය අවසන් කරලා. ඒ 2015 වසරේ මෙහි දෙවැන්න තිරගත වන්නට යන බවට නිල ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගයි. මේ ගැන ආරංචියක් කොහෙන්දෝ මතුවුණ දා ඉඳන් කාටත් තිබුණ ලොකුම ප්රශ්නය තමයි, Will Smith ඉන්නවද? නැද්ද? කියන එක! ඒක මේ තාක් කලක් Fox සමාගමටත් ගැටළුවක්ව තිබුණා. නමුත් දැන් ඔහු එනවද? නැද්ද? කියන එක තවදුරටත් ගැටළුවක් කර නොගැනීමේ දැඩි තීරණයකට Fox සමාගම එළඹිලා. එනිසා ඔවුනගේ සූදානම මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු කෙරෙහි ඒ කරුණ බාධාවක් කර නොගන්නටයි. පසුගිය දාක අධ්‍යක්ෂක Roland Emmerich හෙළි කර සිටියේ; Will Smith‘ගේ චරිතය වන; Steven Hiller චරිතය අඩංගු එක් පිටපතකුත්, එය නොමැති එක් පිටපතකුත් වශයෙන් සම්පූර්ණ පිටපත් දෙකක් මේ වනවිට ලියා අවසන් බවයි.
කියැවෙන විදිහටනම්; මේ පිටපත් දෙකම Emmerich‘ගේ White House Down (2013) ලිවූ James Vanderbilt තමයි ලියලා තියෙන්නේ. පේන විදිහට, එය නිවුන්-සොහොයුරෙකු හා තරගවැද ලද ඉහළ සාර්ථකත්වය මීට මහත් රුකුලක්. තවමත් මෙහි නිෂ්පාදන කටයුතු ගැන අවසන් නිගමනයකට එළඹී නැතිකමට එක හේතුවක් තමයි, Smith‘ගේ ප්‍රමාදය. ඔහුගෙන් හරිහැටි වචනයක් එනකම්, කොයි අත යන්නද කියන එක තීරණය කිරිම තරමක් අපහසුයි. මොකද තොරාගැනීම් දෙකක්ම ඇති නිසා. ආරංචිවලට අනුව දැනට ඔවුනගේ අවධානය “එක් අනුබැඳියක්” නිර්මාණය කිරීම කෙරෙහි විතරයි. ඉන් එහාට වෙන දේ ගැන තීරණයක් ගන්නට තවමත් කල් වැඩිවා වෙන්නට ඇති. මෙහි සාර්ථක අසාර්ථක බව මත ඒ ගැන සලකා බලන්නට ඇති තරම් කල් ඔවුනට තිබෙනවා. මුලදී කියවුණේ, Smith යළි එක්නොවුණත්; ඔහුගේ අතින් කතාවේ වගකීම වෙනකෙකුට පැවරීම සඳහා කෙරෙනෙ විශේෂ එක්වීමක් ලෙස සුළු දර්ශනයකට පමණක් හෝ ඔහු හිදීවි කියන එකයි. නමුත් මේ කියන විදිහට එක්කෝ ඔහු ඉන්නවා, නැතිනම් ඔහු ඇත්තේම නෑ. නමුත් අනික් නළුනිළියන්ගෙන් වැඩිහරිය දැනටම මේකට එක්වෙලා ඉවරයි. 🙂
නමුත් විචාරකයන්ගේ අදහස මේ බහින කලාවට යන Smith‘ගේ දෙවැනි නැග්මේ අවස්ථාව විය හැකි බවයි. පහුගිය කාලයේ අසාර්ථකත්වයට පත් වූ ඔහුගේ නිර්මාණ ජීවිතය වෙනස් කිරීමට ලැබෙන හොඳම තුරුම්පුව වන ID Forever චිත්‍රපටය අත්හැරීම තමන්ගේම අතින් තමන්ගේම වළ කපාගන්න වැඩේ වේගවත් කරගැනීමක් වෙන්නට බැරිත් නැහැ. කෙසේ වුවත්; දැනට කියන්නේනම්, මෙය 2015 ගිම්හාන සමයේ තරග වදින්නට සැරසෙන ප්රතිමල්ලවයන් හා කරට කර ගැටෙන්නට සූදානම් වන බවයි. එසේ වුවහොත් Avengers 2/ MoS 2/ Terminator 5/ Jurasic Park 4 වැනි ප්‍රබලයන් හා සටන් වදින්නට මේ ID Forever චිත්‍රපටය සිදු වේවි. එහෙම නැතොත් 2016 තදබදයෙන් අඩු කාලයේ දිනයක් වන්නටත් බැරි නෑ. මොකද Independence Day මුල් චිත්‍රපටයේ 20-වස් සැමරුම යෙදෙන 2016 වසර මේ වෙනුවෙන් අමුතු අගයක් එක්කරන්නටත් ඉඩ ඇති නිසා. ඒ වගේම, Smith හට නිදහසේ තීරණයක් අරං එක්වීමේ අවස්ථාව ලබාදෙන්නටත් ඒ ක්‍රමය බොහොම හොදනේ. අවදානමත් ඉතින් බොහොම අඩුයි 😉 නැද්ද?
“හරි එහෙනම්, පෙර පැරදුණ පිටසක්වලයන්, නිකම් හිඳ නෑ. ඔවුන් මේ වසර ගණනක කාලය තුළ මිනිසාගේ ආරම්භය පටන් මේ දක්වා අධ්‍යයනයක නිරත වෙලා. ඒ ඔස්සේ මිනිසුන්ගේ විනාශය ළඟ කළ හැකි නවමු ක්‍රමවේද සහපර්යේෂණ ප්‍රථිපල ඔවුන් සතුයි දැන්. ඒ වගේම ගියවර පරාජය හේතුවෙන් ඉරිතලා ගිය ඔවුනගේ ශක්තිය ගැන තිබූ විශ්වාසයේ ඇති වූ පළුද්ද, මෙවර සදහටම වසා දමන්නටයි ඔවුනගේ සූදානම. මිනිසාගේ වසර 20ක් ඔවුනට සති දෙක තුනක් පමණක් නිසා, නිසැකවම මේ පෙරළා පහර දෙන වේගවත් ආක්‍රමණයක්. නමුත් මේ කාලය තුළ මිනිසාගේ දියුණුව මීට ඔරොත්තු දෙන්නට තරම් ප්‍රමාණවත් වේවිද? ඔවුනගේ තරහකාර කේන්තිය මිනිස් වර්ගයා මත මුදාහරින අනුකම්පා විරහිත දරුණු ප්‍රහාරයට මිනිසා සූදානම්ද?”
දැනගන්න තව ටික කලක් ඉන්නට වෙනවා. ඒ දවස ගැන අපට තවමත් හරියටම කියන්නට හැටියක් නෑ, මෙය නිල වශයෙන් ප්‍රකාශ කළත්, තවමත් ස්ථිර කොට නැති නිසා. නමුත් දැනට ප්‍රකාශ කර ඇති දිනය පහත පරිදි සටහන් වෙනවා. ඒ කියන්නේ නිලවශයෙන් අපේක්ෂිත දිනය තමා මේ දක්වලා තියෙන්නේ. ටිකක් ඉවසමු ; අපට ඉදිරියේ වඩාත් නිවැරදි, සහතික කළ තොරතුරු ලැබෙන්නෙ නැතැයි! 😉
තිරයට එන දිනය: 2015 ජුලි 03(අපේක්ෂිත)
නියමයි. එනකල් මග බලාගෙන ඉන්නේ
සුපිරි ලිපිය…………..