ඉදිරි දිගහැරුම… (XLI) | The Raid 2: වටලෑම ඉවර නැත!
Gareth Evans කියන නම දන්නෙ නැතුවට, ඔහුගේ වැඩ දන්නවා අපි කවුරුත් වගේ… දන්නෙ නෑ… වෙන්න බෑ… එහෙනම් මෙන්න මේක දන්නවද බලන්නකෝ… ‘The Raid: Redemption (2011)’ අනිවා! කවුද නොදන්නේ… සිනමාවට වහවැටුණු -විශේෂයෙන් සටන් කලා සිනමාවට- කිසිකෙනෙක් මේක දන්නැති වෙන්න බෑ. කාලෙකින් ආපු, සුපිරි සටන්හැසිරවීම් වගයක් කැටිකරගත්තු, නොදෙවෙනි සටන් චිත්‍රපටයක්. සටන් චිත්‍රපටි කිව්වහම දෙපිරිසක් ගැටෙන කෝකත් සටන් චිත්‍රපටියක් තමයි. ඒ කියන්නේ යුද්ධ/ තරග/ රේස්/ වීර; මේ චිත්‍රපටි කෝකත් සටන් තමයි ඉතින්. ඒ වුණත් සටන් කිව්වහම නිතැතින්ම මතකයට එන වර්ගය තමා “සටන් කලාවන් හා බැඳුණු චිත්‍රපටි”. හා නැද්ද?
Gareth Evans කියන්නේ වේල්ස ජාතිකයෙක්. ඔහු වැඩිපුර චිත්‍රපටි කරපු කෙනෙක් නොවෙයි. නම ඉදිරියෙන් අධ්‍යක්ෂක කියන තනතුර යෙදිලා තිබෙන්නේ 5 වතාවක් විතරයි දැනට. ඒ අතරේ ‘Footsteps (2006)’/ ‘Merentau (2009)’/ ‘The Raid: Redemption (2011)’/ ‘V/H/S/2 (2012)’ කියන හතර ඇරුණහම තිබෙන ඉතුරු චිත්‍රපටිය වෙන්නේ මෙන්න මේ Raid 2 විතරයි. ඒ වගේම මේ කිවූ සියල්ලගේම තිරරචකයා මෙන්ම සංස්කාරකවරයා වන්නේද ඔහුමයි. දෙකක් නෑ සුපිරි දක්ෂයෙක්! 😀

2011 වසරේදී මේ පළමු චිත්‍රපටය ඇමෙරිකාව තුළ පමණක් $ 4.1 මිලියනයක් සොයා තිබෙනවා. ඒ $ 1.1 මිලියනයක වියදමක ප්‍රතිඵලයක් හැටියට. නමුත් එහි උපන් රට ඉන්දුනීසියාව බව දන්නවනේ. ඒ වුණත් ඇමෙරිකාවෙන් පිටතදී හෙවූ මුදල් ප්‍රමාණය ගැන හරිහමන් හෝඩුවාවක් නෑ. හැබැයි ලොවපුරා මුදල මීට වඩා වැඩි අගයක් දරන බවට කිසිම සැකයක් නෑ. තියෙන පරහ තමයි මේක R වර්ගීකරණයට හසුවූවක් වීම සහ ඇමෙරිකාවත් මව්-රටත් හැර සෙසු ලෝකයට සැපයුණේ සීමිත බෙදාහැරීමක් පමණක් වීම. R වර්ගීකරණයක් ලැබුවත් IMDb 7.5ක් ගන්න සමත්වීමෙන්ම පේනවා මේ චිත්‍රපටියේ සුපිරිකම. මෑතක ආ කිසිම R ගහපු සටන් චිත්‍රපටියක් මේ තරම් උඩකට ගිහින් නෑ මම හිතන්නේ. නිසැකවම දෙවැන්නත් R‘ම තමයි. දෙවැන්නට ලැබෙන ප්‍රතිචාරය කොයි වගේ වෙයිද කියන එකත් ඒ අනුව මැනගන්නට හැකිවේවි.

2011න් පස්සෙ 2වැන්නට එන්නට ලොකූ ඕනෑකමක් තිබ්බත් ‘V/H/S/2’ එකට අණ්ඩ දමන්නට සිදුවෙච්ච නිසා තමයි, ඒ වැඩ කටයුතු අහවරක් වෙනකම් ඉන්න සිද්ධ වුණේ. නමුත් දැන් දෙවැන්න සටනට සූදානම්! “The Raid: Berandal” කියලායි මේක නම් කරලා තියෙන්නේ. මේ පහත දැක්වෙන්නේ ඒ චිත්‍රපටිය ගැන නිකුත් කළ Teaser Trailer එකක්, එහෙමත් නැතිනම් උත්ප්‍රේරුවක්(උත්ප්‍රේරණයක් සපයන දිසිරුවක් 😛 ). පළමු වැන්නෙහි උන්මාදය ඉදිරියටම ගෙනයමින් දෙවැන්නෙහි ගමන් විලාශය ගැන පුංචි හෙළිදරව්වක් මේ ඔස්සේ සිදුකෙරෙනවා. ඒ වගේම මේ පාර වෙන සිද්ධිය වගේම ඉන්න චරිත කොයිවගේද කියලත් චුට්ටක් දැනකියාගන්ඩ පුළුවන් මේකෙන්. හැබැයි, චිත්‍රපටියේ ගොඩනැගීම ගැනනම් මේකෙන් අනුමාන කරන්නට බෑ… කෙසේවෙතත්, දෙවැන්න කුඩම්මාගේ සැලකිලි නොලබන්නට, පළමුවැන්න ඇමෙරිකාව තුළ ලද උන්මාදනීය ජනප්‍රියත්වය හේතුවෙලා තියෙනවා. එනිසාවෙන්ම ඇමෙරිකාව පුරා මෙය බෙදාහරීමේ බර, Sony සමාගම දැනටමත් භාර අරගෙනයි තියෙන්නේ.
සටන් කලාවෙන් හොලිවුඩ්පුරය ආක්‍රමණය කිරීමේ සටනක නිරත වෙන අලුත්ම තරුව, Iko Uwais(Man of TaiChi) පළමුවැන්නේ වගේම දෙවැන්නෙත් ඉන්නා බව තමයි දැනගන්නට තියෙන්නේ. හේතුව දෙවැන්න පළමුවැන්නේ අවසානයෙන් පසු ඉදිරියට යාම. මුල් එක ඉවර වුණේ රාමා’ව (Iko Uwais) ඔහුගේම සොහොයුරා ඇන්ඩි’ට (Donny Alamsyah) එරෙහිව යන්නට වෙන තැනකට ගෙනැවිත් තබලා. ඇන්ඩි සිය අපරාධ රාජ්‍යයේ අධිපතීත්වයත් බලසම්පන්නභාවයත් රැකගන්නට සටන් වදිද්දී, රාමා ඒ බලයේ නපුරෙන් සමාජය ගළවා ගන්නට සටන් වදින්නටයි යන්නේ. සොයුරන් සොයුරන් එකටෙ’ක ගැටෙන ලේ සොලවන මහා වටලෑම කොයි අතකට යොමුවේවිද කියන එක ගැන දැනගන්නට තව ටිකක් විතර කල් තිබෙනවා.
ඒ වුණත් සිය සොහොයුරා’ගේ මැරකම් වලට එරෙහිව යන්නට රහස් ඔත්තුකරුවෙකු ලෙස ඒ මැරකල්ලියට එක්වීමට රාමා නීතිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි කියැවෙනවා. “සේරටම වඩා හොඳම ආරංචිය තමයි, අධ්‍යක්ෂක Gareth Evans ඔහුගේ මේ නිර්මාණය The Raid Trilogy ලෙස හඳුන්වන්නට අදහස් කරගෙන සිටිනවාය කියන කාරණය. ඒ කියන්නේ වටලෑම තුන්වෙනි වතාවකුත් සිද්ධ වෙන්නටයි යන්නේ.” 😀 ඒ ගැනත් අපි ඉදිරි තොරතුරු ගෙන එන්නම් එන එන හැටියට. ඊට කලින් බලමු 2වැන්න එන දිනය. වැඩි ඈතක නෑ හොඳේ… 😛
තිරයට එන දිනය: 2014 මාර්තු මාසය(අපේක්ෂිත)
balpu super action 1k tma raid 1…2weni 1kt hda pahark wei..thanks saho post 1kt
නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
http://tv-sinhapedia.blogspot.com/
බොහොම සන්තෝෂයි සහෝ…
දිගටම කරගෙන යන්න මම සුබපතුම් එක්කරනවා, බයිස්කෝප් සිංහලෙන් සහ මංසල අඩවිවල හැමකෙනෙක්ම වෙනුවෙන් ඔයාලට…
ජය!
සුපිරියි…………