ඉදිරි දිගහැරුමවගතුගසියල්ල

ඉදිරි දිගහැරුම… (XXIX) | Alice in Wonderland 2වැනි සවාරිය… [Update]

 

ලුවිස් කැරොල්! “ඇලිස්’ගේ විශ්මලන්තය(Alice in Wonderland)” ලියමින් ලොව පුරා නොමඳ ජනප්‍රියත්වයක් හිමි කරගත් කතුවරයා! ඔහු තම සිතුමැවි නවකතාවට අනුබැඳියක් ද ලියා තිබෙනවා “Through the Looking-Glass and What Alice Found There” යන නමින්. ඇලිස්’ගේ විශ්මලන්තය යන නම විතරක් ප්‍රචලිත වුණාට තිබෙන්නේ ඒ පොත විතරක් නොවෙයි. හොඳයි මේ කතාව පොත් ගැන නෙමෙයි, ‘Alice in Wonderland (2010)’ ට ඈ‍ඳෙන දෙවැන්නක් ගැන.

ඇත්තෙන්ම ඩිස්නි සහ සිනමාකරු ටිම් බර්ටන්’ගේ 2010 සිනමා නිර්මාණය ලුවිස් කැරොල්’ගේ මුල් නවකතාවට එක්කළ පසුබැඳියක්. මොකද එහෙම කියන්නේ? මුල් කතාවෙන් පසුකාලීනව සිදුවෙන කතාවක් තමයි මෙහි අන්තර්ගත වුණේ. ඇලිස් ලොකු වෙලා(වයස 19’යි), නැවත වතාවක් විශ්මලන්තයට ගොසින්(මෙවර එහි යන්නේ ඇය අප්‍රිය කරන විවාහයකින් ගැළවෙන්නටයි), රතු ‍රැජිණට එරෙහිව විප්ලවයක් මෙහෙයවන ආකාරයේ කතාවකුයි එහි අඩංගු වුණේ(ඇගේ පැමිණීම අපේක්ෂාවෙන්ම සිටි විශ්මලන්තයකටයි මේ වර ඈ ගියේ. ඒ වගේම මේ චිත්‍රපටියත් තැනුණේ කලකින් මේ ආකාරයේ නිර්මාණයක් දැකගන්නට පෙරුම් පුරමින් සිටි ලෝකයකටම වීම නිසා; ඉහළ ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුම් ද මැද, අති සාර්ථකත්වයට ළගාවන්නට ඊට අසීරු වූයේත් නෑ) මෙහෙම එකක් මුල් නවකතාවෙ. ඒ කියන්නෙ මේක ඉන් පසුව ගොඩනැගෙන අලුත් කතාවක් කියන එකනෙ. 😉

ආරංචි එන්නේ මෙන්න මෙහෙමයි. මුල් චිත්‍රපටිය වෙනුවෙන් තිරරචනය සිදු කළ Linda Woolverton (The Lion King, Mulan) දෙවැනි පිටපතත් ලියලා හමාරයිලු. ඒත් තාමත් මේකෙ කතාව කොයි වගේද යන්න ගැන එළිදරව්වක් සිදු කරලානෑ. නමුත් මුල් එකට දායක වුණු අය බොහෝ පිරිසක් මේ වෙනුවෙන් යළි එක්වෙනු ඇති බව සඳහන්. ඒ අතරට ඇලිස්(Mia Wasikowska), පිස්සු-තොප්පි(Johnny Depp) යන දෙදෙනා එලෙසින්ම එක් වෙනු ඇතැයි සඳහන්. නමුත් අධ්‍යක්ෂක Tim Burton වෙනුවට මෙවර ඒ කර්තව්‍යය සඳහා James Bobin(The Muppets (2010)/ Muppets Most Wanted(2013)) එක් වෙනු ඇතැයි කියලයි දැනට තිබෙන සඳහන. ඒ හැරෙන්නට සෙසු පිරිස් පෙර පරිදිම එක්වීමේ ඉඩකඩත් වැඩියි. අළුත් උදවියත් කිහිප දෙනෙක්ම මේ අතරට ඉඳියිලු.

Alice in Wonderland (2010) ඔස්කා සම්මාන 2ක් දිනාගන්නට සමත් වූ; සුපිරි ආදායමක් ඉපැයූ එකක්. එය “හොඳම කලා අධ්‍යක්ෂණය” සහ “හොඳම වස්ත්‍රාභරණ නිර්මාණය” යන ඔස්කා දෙකම 83 වැනි සම්මාන උළෙලෙහිදී හිමි කරගත්තා. “හොඳම දිසිමායාවන්” සඳහා නාමයෝජනා ලැබුවා. $ 150-200m වැයකොට $1.02 b ඉපැයුවා. එහෙම වුණාටම මේ දෙවැන්නත් එහෙම වෙයි කියන එක ගැන කිසි ලෙස සහතික වන්නට බෑ. Johnny Depp කොතරම් සුපිරි නළුවෙකු වුණත් ඔහුගේ ඒ තරු-ගුණයටවත් බේරාලිය නොහැකි නිර්මාණ නැතුවාම නොවෙයි කියන එක පසුගිය ටිකේ දිගින් දිගටම පසක් වූ කරුණක්. එනිසා මේ ගැන සහ මේ වෙනුවෙන් වෙන් කරන්නට යන වියදම ගැන නිර්මාණායතනය යළි වරක් සලකා බලාවි. ඒ වගේම මෑත කාලයේ තැනූ අධි-වැය චිත්‍රපට කිහිපයක් පිට පිට අසාර්ථකවීමත් මේ නිර්මාණයේ අනාගතය කෙරෙහි ප්‍රබල ලෙස බලපානු ඇතැයි සිතිය හැකියි. In to the Looking Glass යන කේත-නමින් නිෂ්පාදනය කෙරෙන මේ සම්බන්ධව වෙනත් විස්තර තවමත් හෙළිකොට නැහැ.

කෙසේ වෙතත් ගියවර කතාවේ අවසානය අනුබැඳියකට අනුබල නොදෙන්නක් නිසා මෙවර තැනෙන අනුබැඳිය කොයි අතකට හැරවෙයිද කියන එක ගැන තාම කාටවත්ම හිතාගන්ඩ බෑ. එනිසා අපිත් බලාගෙන ඉමු හරි විස්තරයක් ඉදිරියේදී හෙළිවෙනකම්.

තිරයට එන දිනය: නිශ්චය කර නොමැත

 (ඔන්න දිනය හෙළිදරව් කරලා තියෙනවා Disney සමාගමෙන්. ඒ දිනය සටහන් වෙන්නේ 2016 මැයි 17 ලෙසයි.)

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *