“ඛේදවාචක යනු ඉනිමඟකි | Chaos is the Ladder
“ඛේදවාචක යනු ඉනිමඟකි | Chaos is the Ladder
මං පොරොන්දු වුණා GAME OF Throne කතා පුවතට සම්බන්ධ වන ඉතිහාසය ගැන හැදෑරිමක් කරන්න අද බලාපොරොත්තු වෙනවා කියලා. සාමාන්‍ය ඉතිහාසය එක්ක කොයි විදිහකින්වත් පටලා නොගත යුතු ෆැන්ටසිමය ඉතිහාසයක්, ෆැන්ටසිමය භූගෝලික පරාසයක් තමයි මේ කතා ප්‍රවෘත්තියට අදාළ ලෝකයට තියෙන්නෙ. අපේ ලෝකෙ දේවල් එක්ක සමහර සාමානතා තිබ්බත්, (.ගස් වල මල් වල, සතුන්ගෙ එහෙම නම් ගම් ආදිය) සම්පූර්ණයෙන්ම අලුත් විදිහකටම හිතන එකෙන් පැටලිලි සහගත බව අඩු වෙලා යනවා. ඒ නිසා මේ ලිපිය කියවද්දි, පරණ අපි දන්න ඉතිහාස කතා ඔක්කොම ඩිංගක් පැත්තක තියලා.. මේ සමාන්තර විශ්වයක් වගේ තියෙන ෆැනටසි ලෝකයට මුළු අවධානය යොමු කරන එක වටිනවා. සරලවම අපේ ලෝකයේ මීට සියවස් ගණනකට එහා පැවති මධ්‍යකාලීන යුගය එක්ක සමාන්තර තලයක වගේ තමයි අද මේ GAME OF THRONE විශ්වයට අදාළ ලෝකයේ අපි දකින වර්තමානය පවතින්නෙ. ඉතින් මේ කතා කරන ඉතිහාසය GAME OF THRONE වලට අදාළ ඉතිහාසය මිසක් අපේ ඉතිහාසය නෙවෙයි. වැරදීමකින්වත් පුතෝ විභාගෙට නං මේ භූගෝල කතා, ඉතිහාස කතා ලියන්ඩෙපා 😀 . කාටවත් පැටලීමක් අගතියක් නොවෙන්න, මං මෙතැන් සිට මේ මුළු මහත් විශ්වයම THE Realm of Ice and Fire කියලා හඳුන්වන්නම්.
THE Realm of Ice and Fire ( භූගෝලිය තොරතුරු)
ප්‍රධාන මහද්වීප තුනක් හා ඒ මහද්වීප තුනට අදාළව සැලකිය යුතු තරම් දූපත් සංඛ්‍යාවක් තිබෙන විශාල අවකාශයකි. ප්‍රධාන මහද්වීප තුන වෙස්ටරෝස්, එසෝස් සහ සොතොර්යොස් ලෙස බෙදා දැක්වේ.
වෙස්ටරෝස් –
බටහිර අර්ධයේ පවතින වර්ග සැතපුම් තුන්දහසක පමණ කොටසක් සදාකාලිකව හිමෙන් වැසුණු භූමියකි. එහෙත් ප්‍රාකාරයෙන් මෙපිට දක්ෂිණ අර්ධයේ ඉතා දියුණු ආර්ථික හා සංස්කෘතිකත්වයක් ලද ප්‍රධාන වශයෙන් රාජධානින් හතකට බෙදී සැදුම් ලද පාලන ව්‍යුහයක් ඇතිව රාජ්‍ය ක්‍රියාත්මක වේ. වර්තමානයේ රාජ්‍ය නිල වශයෙන් අයත් වන්නේ, Kings Landing නම් නුවර සිටින Iron Throne නම් සිහසුන මත සිටින තැනැත්තාට වේ. ප්‍රධාන කතාවට වැඩි වශයෙන් අදාළ වන මහද්වීපයයි. බෙයාර් අයිලන්ඩ්, අයන් අයිලන්ඩ්ස් ආදී දූපත් සමූහයකට උරුම කම් කියන මහද්වීපයකි. ඒ සියල්ල ශිෂ්ටාචාරගත පාලනයන්ගෙන් හෙබි ඒවාය.
එසෝස් –
මෙම මහද්වීපය Narrow sea නම් මුහුදෙන් වෙස්ටරෝස් මහද්වීපයෙන් වෙන්වී පවතී. වෙස්ටරෝස් රාජ්‍යට වඩා භූමියෙන් විශාලය. එහෙත් ජනගහණය ගත් කල විශාල වෙනසක් නැත. වහල් සේවය දැඩිව ප්‍රචලිතව තිබූ මේ මහද්වීපයේ වර්තමානයේ වහල් සේවය තරමක් පිටුදැකීමට හැකියාව ලැබී ඇත. බටහිර කෙළවර දැන් කුඩා නිදහස් නගර නවයක් තිබේ. එසෝස් මහද්වීපික භූමියේ බටහිර මධ්‍යම කෙළවර ඩ්‍රොතැකි නම් ගෝත්‍රය පාලනය කරයි. මේ මධ්‍ය යේ අෂායි වරුන්ගේ නගර සහ තහනම් ගොපලු ඉඩම් බොහෝමයක් ඇත. තරමක් සශ්‍රීක නමුත් ප්‍රධාන කතාවට වැඩි වශයෙන් අදාළ වන මහද්වීපය නොවේ. එහෙත් කතාවේ ප්‍රධාන චරිත වලට මූලික අඩිතාලම වැටෙන මහද්වීපයක් ලෙස සැලකිය යුතුය. ඉතිහාසයේ වෙස්ටරෝස් ජනාවාස වීම ඇරඹෙන්නේ එසෝස් නිසා බව දැන සිටිය යුතුය.
සොතොර්යොස්-
Summer sea වලින් වෙන්වී ඇති මේ මහද්වීපය දැනට කතාවට එතරම්ම අදාළ නොවේ. මේ මහද්වීපය ගැන තොරතුරුද ඉතා අවමයි. එසෝස් සිට දකුණු දෙසට පිහිටා ඇත . එය කාන්තාර හා වනාන්තරවලින් සමන්විත විශාල මහාද්වීපයකි. උතුරු හා නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වලට වඩා බොහෝ දුරට පීඩා ගෙනන භයානක පිරී ගත් වන ගත මහද්වීපයක් ලෙස මේ මහද්වීපය හැඳින්වේ. එමඟින් හැඟෙන්නේ එය ප්‍රමාණවත් තරම් ජනාවාස නොවුණු, බොහෝ විට මිනිසුන් ලෙස ගෝත්‍ර කිහිපයක් පමණක් ජීවත් වෙන නොදියුණු භූමියක් ලෙසය. එසෝස් මහද්වීපයට රැගෙන එන වහලුන් මෙම මහද්වීපයේ සිටිය අය බව කතාව ඇසුරෙන් පැහැදිළිය. මිසන්ඩේ පැමිණි නාත් දූපත් අයත් වන්නේ මේ මහද්වීපයටය.
THE Realm of Ice and Fire සඳහා අදාළ ඉතිහාසය
පළමුවෙන්ම දැන ගත යුතු කරුණ නම්, මෙම ඉතිහාස වංශය තුළ තොරතුරු ගණන් බැලෙන්නේ සිටිඩෙල් හී හි පිහිටි ග්‍රන්ථ ඇසුරෙනි. එම ග්‍රන්ථ වලට අනුව වර්ෂ ගණන් තබන්නේ ඒගොන් ගේ පැමිණිමට ප්‍රථමයෙන් හා ඒගොන්ට පැමිණීමට පසුව ලෙසයි.
(Before Aegon’s Landing – BAL) ලෙසත් (Aegon’s Landing- AL) ලෙසත් හැදින්වේ.. BAL වර්ෂ ආපස්සටද, AL වර්ෂ පිළිවෙලින් ඉදිරියටද ගණන් බැලීමෙන් වංශ කතාව තේරුම් ගැනීම පහසුය. මෙම වංශකතාව ප්‍රධාන වශයෙන් විහිදෙන්නේ කතාවට ප්‍රධාන වශයෙන් සමායෝජනය කෙරෙන වෙස්ටරෝස් මහද්වීපික භූමිය පාදක කොටගෙනය.
“The past is already written. The ink is dry.”
අතීතය ලියැවී ඇත. සායම් ද වියැළිය.
ඇස් තුනේ ද්‍රෝණ කාකයා ( Three Eye Raven) කීවේ සැබෑවක්මද?
තවමත් අපි ඒ ගැන හරියටම දන්නෙ නෑ. එහෙමනං හොයං යමු නේද? හැමෝම සූදානම් නෙ අපි කවුරුත් ආසා කරන මේ ඉතිහාසෙ දැනගන්න.
ඒ අපූරු ඉතිහාස කතන්දරය…
The Dawn Age ( ප්‍රාග් මුල් යුගය)
Children of The Forest යන මිනිසුන් නොවන, එහෙත් සම්පූර්ණයෙන් සතුන්ද නොවන ජීවින් කොට්ඨාසයකින් සමන්විත වී තිබුණා. ඔවුන් තමන්ට ආවේණික වූ දිවිපෙවෙතක් ගෙවමින් සතුන් සහ සාමයෙන් ජීවත් වුණා. ඒ වගේම ඔවුන් යම් යම් මායාවන් පිළිබඳවද අති දක්ෂයන් වුණා. ඒ වගේම යෝධයොත් හිටියා.
BAL 12000
First Men නමින් හැඳින්වෙන පළමු මනුෂ්‍ය කොට්ඨාසය විසින් ඩෝන් හී අත නමින් හැඳින්වූ එසොස් හරහා සම්බන්ධවී තිබුණු භූමි ප්‍රදේශයක් හරහා වෙස්ටරොස් මහද්වීපය ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය වළකා තමන්ගේ උරුම බිම රැකගන්න උත්සාහ කළ Children of the Forest වරු තමන් සතුව පැවති මායා බලය භාවිතා කරලා ඒ පළමු මිනිසුන් පැමිණි භූමි කොටස කැබලි වලට බිඳ දමනවා. එහි ප්‍රතිඵලයක් ලෙස Stepstones නම් දූපත් සමූහය ඇතිවෙනවා. හැබැයි first men වරු , වෙස්ටරෝස් ආක්‍රමණය කරලයි නතර වුණේ. ඒත් පරාජය බාර ගන්න අකමැති වුණ Children of the Forest වරු තමන්ගේ උපරිම මායා බලයෙන් මහා ජල ගැල්මක් නිර්මාණය කරනවා වෙස්ටරොස් මහද්වීපයේ THE NECK නම් කොටස මහා ජල කදම්භයකින් යට කරලා විශාල වගුරක් බවට පත් කරවනවා. මේ හින්දා තමා අදටත් උතුරට මහා හමුදාවක් යවන්න වුවමනා වුණත් ඒ සඳහා ඕනෑම රජෙකුට භාවිතා කරන්නට සිදු වෙන්නේ කිංග්ස් රෝඩ් නම් පටු පාර පමණයි. ඒ වගේම ඒ පටු පාර මෝට් කේලින් හරහා සන්ධි වී තියෙන නිසා වටිනා යුධ මරමස්ථාන කුලකයට ඇතුළත් වන බවත් සඳහන් වෙනවා.
BAL 10000
වසර දෙදහසකට පසුව තත්වය ටිකෙන් ටික සාමයට හැරෙනවා. Children of the Forest වරු හා පළමු මිනිසුන් (First Men) අතර ගිවිසුමක් අත්සන් කෙරනවා. එය අත්සන් කෙරෙන්නෙ Isle of Faces වල. ඒ අනුව පළමු මිනිසුන් හෙවත් First Men වරු විවෘත වූ ප්‍රධාන භූමීන් පාලනයත් Children of the Forest වරු වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ පාලනය කරන්නත් තීරණය කරනවා. ඒ වගේම පළමු මිනිසුන් Old Gods of the Forest නමින් හඳුන්වන Children of The Forest අය ඇදැහූ රුක් දෙවියන්ටම වන්දනා කරන්නත් පටන් ගන්නවා. එමඟින් Heart trees කපන එක පවා නතර වෙන නිසා, මේ දොගොල්ලො අතරෙ සාමයක් ඇති වෙනවා. ඒ වුණාට අයන් දූපත් වලට ගියපු පළමු මිනිසුන් ගේ කණ්ඩායම් වෙනම දෙවියක් වන Drowned God අදහන්න පටන් ගන්නවා. ඔවුන් වෙනස්ම සංස්කෘතියකට හැඩ ගැහෙමින් මුහුදු ආශ්‍රිත දිවියක් ගත කරන්න පටන් ගන්නවා.
ඉතිහාස කතන්දරයේ ප්‍රාග් මුල් යුගය මේ විදිහට අවසාන වෙලා ගිහින් වීරයන්ගේ යුගය ආරම්භ වෙනවා.
The Age of Heroes ( වීරයන්ගේ යුගය)
BAL8000
තවත් වසර දෙදහසකට පසු මහා විශාල ශිශිරය රැගත් දිගු රාත්‍රිය පැමිණුනා. වෙස්ටරොස් වල ජීවත් වුණු පරම්පරා ගණනාවක් හිරු එළිය නොදැකම මිය ගියා කියලායි සිටිඩෙල් පුස්තකාලෙ වල තියෙන පොත් පත් වල සඳහන් වුණේ.
මේ කාලෙදි ධවල ඇවිදින්නන් පැමිණිලා වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. ඔවුන්ව ප්‍රාග් මුල් යුගයේදී නිර්මාණය කරන ලද්දේත් children of The Forest ලා විසින්ම, Firest men ලා ට විරුද්ධව මෙහෙයවීමේ ආයුධයක් ලෙසයි. තම මායා බලය Chidren ලා මෙයට යොදා ගත්තා. එහෙත් වසර දහස් ගණනකට පසු තමන් සැදූ ආයුධය තමන්ට විරුද්ධව පාරා වළල්ලක් සේ ක්‍රියාත්මක වෙන බව Children of The Forest ලාට දැනුණා. ඒ නිසාම පැරණි ගිවිසුම් වලටත් එහා ගිය බැඳීමක් සහිතව දෙපිරිසම ප්‍රධාන සතුරාට විරුද්ධව එකට එකතු වුණා.
ඉතින් ක්‍රම ක්‍රමයෙන් මේ ආක්‍රමණික ධවල ඇවිදින්නන්ව උතුරු කොණටම පලවා හරින්න මොවුන්ට හැකියාව ලැබුණා. ඒ නිසා වීරයන්ගේ යුගය ලෙස හඳුන්වන්නේ මේ යුගයයි. බ්‍රැන්ඩන් ස්ටාක් නම් ගොඩනගන්නා ගෙ පහළ වීම ඇති වුණේ මේ යුගයේදී Brandon Stark -the Builder නමින් අපි හඳුන්වන්නේ මොහුවයි. මොහු නැවත සිදුවිය හැකි අනාගත ආක්‍රමණ නැවැත්වීම පිණිස සිය උපායන් හා Children ලා ගේ අනුපමේය මායාවන් භාවිතා කරමින් මහා අයිස් වලින් වැසුණු ප්‍රාකාරයක් ගොඩ නගනවා. ඒ විතරක් නෙවෙයි වින්ටර්ෆෙල් බලකොටුව ත් ස්ටාක් වංශයත් නයිට්ස් වොච් නම් ආරක්ෂක කණ්ඩායමත් , පැරණි නගරය හා සිටිඩෙල් පුස්තකාල සංකීර්ණයත් මොහුගෙ නිර්මාණ කියලා තමයි සඳහන් වෙන්නෙ. පුරාවෘත්තයන්ට අනුව මේ බ්‍රැන්ඩන් ද බිල්ඩර් උතුරේ පළමු රජ ලෙස අභිෂේක ලබනවා .
ඒත් Children of the Forest ලා ට මේ ජයග්‍රහණ ඒ තරම් හොඳ අතට බලපාන්නෙ නෑ. දේශගුණික බලපෑම් සහ තවත් නනාවිධ හේතු නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඒවාට අනුගත වෙන්න. සමහරු පළමු මිනිසුන් අතරෙම සමාජ ගත වෙනවා. අනෙක් කොටස ඉතා වේගයෙන් වඳ වෙන්න පටන් ගන්නවා.
බ්‍රැන්ඩන් ද බිල්ඩර් ප්‍රාකාරය හදන අවස්ථාව වන විටත් පළමු මිනිසුන් (First Men) කණ්ඩායමක් එයට උතුරින් ඉන්නවා. ඔවුන් වෙනම නායකයෙක් යටතේ තමයි හිටියෙ. ඔහු ප්‍රාකාරයෙන් එපිට තමන්ගෙ රාජ්‍ය තියා ගන්නවා. ඒ නිසාම ප්‍රාකාරය ගොඩ නැඟූ පසු වෙස්ටරොස් වල සංස්කෘතික රාජ්‍යෙයන් මේ අය වෙන් වෙනවා. පසුව සිදු වුණු රාජධානී ගොඩ නැඟීම් සහ සියලු වෙනස් වීම් වලින් මේ පළමු මිනිසුන් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. කාලානූරූපිව මොවුන්ගෙන් පැවතෙන අය පසු කාලීනව වෙස්ටරොස් මහද්වීපයේ සතුරන් බවට පත් වෙනවා. ඔවුන් තමන්ව “නිදහස් මිනිසුන්” ලෙස හඳුන්වා ගන්නවා. Free falk. හැබැයි ප්‍රාකාරයට දකුණෙන් ඉන්න අය ඔවුන්ව ම්ලේච්ඡන් ලෙස සලකා “වනචාරීන්” විදිහට හඳුන්වනවා.
මේ වන විට ප්‍රකාරය හා සමගාමීව උතුර සහ දකුණ වෙන් කරමින් මුල්ම බලකොටුව නයිට්ෆෝට් ඇතුළු තවත් 18 ක් එහි ගොඩ නගා ඒවා නඩත්තු කිරීම් කරනවා. එමඟින් ප්‍රාකාරයෙන් දකුණු සංස්කෘතික කලාපයට විය හැකි Real North වනචාරී ආක්‍රමණ වලක්වා ගැනීම අරමුණු කරනවා.
The Andal Invasion (ඇන්ඩෙල්ස් වරුන්ගෙ වෙස්ටරොස් ආක්‍රමණ)
BAL 6000
වීරයන්ගේ යුගයෙන් වසර දෙදහසක් පමණ ගත වෙලා ගිහින් මේ කාලය වෙනකොට වෙස්ටරොස් වලනැවතත් කැළඹීමකට ලක් වෙනවා. ඒ FIRST MEN සහ Children of the Forest ලා යම් කිසි සමාදාන අවදියක පවත්වාගෙන ගිය මහද්වීපයට Andal ඇන්ඩෙල් වරුන් ගේ පැමිණිම සිදුවීම. මේ නිසා වෙස්ටරොස් හි පැවති සංස්කෘතියට ප්‍රබල වෙනස් කම් රැසක් එල්ල කළා. ඔවුන් පැමිණියේ අපි කලින් කතා කරපු නැගෙනහිරින් පිහිටි එසොස් මහද්වීපෙ ඉඳලා කියලා තොරතුරු තියෙනවා. ඔවුන් මුලින්ම පටු මුහුද හරහා යාත්‍රා කර වෙස්ටරොස් වල ඒරින් හී fingers නමින් හඳුන්වන භූමියට ගොඩ බසිනවා. පළමු මිනිසුන් හෙවත් First Men ගේ ලෝකඩ ආයුධ වලට ඇන්ඩල් වරුන්ගේ ලෝහ හා වානේ වලින් හැදුණු ආයුධ එක්ක හැප්පෙන්න සිදු වුණා. ඒ වගේම මේ අවධිය වෙද්දි First Men ලා වෙස්ටරොස් පාලනය කළේ සිය ගාණක කෑලි වලට කැඩිච්ච පුංචි පුංචි ප්‍රාන්ත රාජ්‍ය ආකාරයෙන් කියලා තමා ඉතිහාසෙ තියෙන්නෙ. ඉතින් මේ හේතුව හින්දම වෙස්ටරොස් ආක්‍රමණය කරන්න ඇන්ඩල් වරුන්ට බොහෝ පහසු වුණ බව තමා කියවෙන්නේ. ඒක් ඔබ ඇන්ඩෙල් වරුන්ට උතුර එක්ක නම් සෙල්ලම් කරන්න බැරි වුණා. මොකද ස්ටාර්ක් වංශය ප්‍රබලව තමන්ගෙ භූමිය වෙනුවෙන් නැගී හිටියා. ඔවුන් උතුර උතුර ඇන්ඩෙල්ස්වරුන්ගේ ආක්‍රමණයෙන් බේරගන්න සමත් වුණා. ඒකට තවත් උදව්වක් ලබා දුන්නේ වෙස්ටරොස් හී භූගෝල පිහිටීමයි. ඇන්ඩල් වරුන්ට THE NECK කියන ප්‍රදේශය තරණය කරගන්න බැරි වුණා. ඉතින් එතැනින් ඉහළ අල්ලන්න ඔවුන්ට නොහැකි වුණා. ඒ හින්දම පසුව ඔවුන් උතුරේ රජ වරුන් එක්ක එකඟතාවකට ආවා. ඔවුන් දකුණු භූමිය පාලනය කිරීම බාර ගත්තා.
ඒ වගේම ඔවුන් කලින් යුද්ධයෙන් හොඳින්ම බැට කෑ Children of the Forest වරුන්ගේ මායාවන් ගැන දැනගත්තා. තමන්ට කවදා හරි මේ අය තර්ජනයක් වෙයි කියලා එයාලා සැක කළා. ඉතිං fisrt men ලා එක්ක වගේ Andals සහ Children ලාට සමාදානෙන් ඉන්න බැරි වුණා. ඔවුන්ව සදහටම වෙස්ටරොස් මහද්වීපයෙන් අතුගා දමන්න මේ අය කටයුතු කළා. ඉතුරු වූ ස්වල්පයක් වූ දෙනා පණ රැකගෙන ප්‍රාකාරයෙන් එහා ශීත පෙදෙස්වලට ගිහින් සැඟ වුණා. ඔවුන් first men ලා සමඟ තිබ්බ ගනුදෙනුත් අත්හැරලා දැම්මා. හැබැයි Children of the forest ලා ගෙ ජාන First men ලා එක්ක එකතු වුණු වංශ උතුරෙ තවමත් තියෙනවා. මීරා රීඩ් අයිති, හොලන් රීඩ් අයිති රීඩ් වංශය එහෙම එක වංශයක් කියලා සඳහන් වෙනවා.
මේ ඇන්ඩල් වරු මුලින්ම වෙස්ටරෝස් ආක්‍රමණය කරනකොට ඔවුන් ආවේ seven faith නම් ධජ පතාක යටතේයී. එය ආගමක් ලෙස ඔවුන් හැඳින්නුවා. ඉතින් ඔවුන් ආවට පස්සෙ Old Gods of the Forest දෙවියන් ඇදහීම, ඔවුන් යටත් කර නොගත් උතුරට පමණක් සීමා වුණා. දකුණු දිග ප්‍රදේශ වල Faith of the Seven දහම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.. Father Mother Smith Crone Worrier Maiden Stranger කියන හත් දෙනා ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.
දකුණ ගැන තවත් කතා කරනවා නම් වෙස්ටරෝස් හී දකුණු කොටසේ හිටිය පළමු මිනිසුන් First Men සියලු දෙනාවම ඇන්ඩල් වරු මරා දැම්මේ නෑ. ඔවුන් මුලින්ම ගොඩ බැහැපු කාලයෙ එහෙම වුණා වුණත් අනික් තැන් වලදි මරා දානවට වඩා ඔවුන්ගෙන් පාලනය තමන්ගෙ කරගන්න තමා ඇන්ඩල් වරුන් වැඩියෙන් පෙළඹුණේ. ඉතින් දකුණෙ උන්නු පළමු මිනිසුන් හා ඇන්ඩල් වරුන් අතර ආවාහ විවාහ මඟින් භූමියේ අයිතිය තහවුරු කරගැනීම් වගේ ඒවා වෙච්ච බව තමා කියවෙන්නේ. ඒ වගේම උතුරේ වුණත් ආවාහ විවාහ ඇන්ඩල්වරුන් එක්ක සිදුවුණා. හැබැයි උතුරෙ කලින් තිබ්බ පැරණි භාෂාව වෙනුවට ඇන්ඩල් වරුන්ගේ භාෂාව වෙච්ච සාමාන්‍ය භාෂාවට හුරු වෙන්න උතුරෙ අයටත් සිදුවුණා. ඇන්ඩල් වරුන් උස, පැහැපත් කොන්ඩයෙන් යුතු ලස්සන අය කියලා තමා කියවෙන්නේ. ලැන්ස්ටර්, ටයිරෙල් සහ ඇරන් ආදී වංශයන් මොවුන්ගේ ලේ වලින් පැවත එන්නන් වෙනවා.
BAL 4000
මේ කාලයේ තව වෙච්ච විශේෂ දෙයක් තමා ඇන්ඩල් වරු දී පමණ අයන් දූපත් ආක්‍රමණය කිරීම. හැබැයි මෙහිදීත් පළමු මිනිසුන් වගේම ඇන්ඩල් වරුනුත් අයන්බෝන් මිනිසුන්ගේ සංස්කෘතියට හා ආගමට නැඹුරු වෙච්ච එක විශේෂ සිදුවීමක් විදියට සැලකෙනවා. ඇන්ඩෙල් වරුත් දෙවියො හත් දෙනා පැත්තකට දාලා Drowned god ව පිළිගන්නවා.
The rise and fall of Valyria (වැලේරියා පිබිදීම හා බිඳ වැටීම)
වෙස්ටරොස් හී පැවති වීරයන්ගෙ යුගයට සමගාමි කාලය වන BAL 8000 විතර කාලයට අපි ආයෙම ආපස්සට යමු. එතැනදි තමයි මේ වැලේරියාව ගැන අපිට පහසුවෙන් කතා කරන්න පුළුවන් වෙන්නෙ. එසොස් මහද්වීපයේ වහල් ශ්‍රමිකයන් ඇසුරෙන් ගොඩ නැගුණු මේ වැලේරියා ශිෂ්ටාචාරය ඒ විශ්වයේ මහා ශිෂ්ටාචාර කොටසට ඇතුළත් කළ හැකියි. ඒත් හිතා ගන්න බැරි විදිහට මේ එසෝස් හී සාමකාමීව හිටපු එඬෙරුන්ට මකරු හම්බ වෙන්න පටන් ගන්නවා. මේ මකරුන්ව හීලා කරගන්න ඉගෙනීමත් එක්ක ඔවුන් බල අරගලයේ ඉතා ඉහළ තැනකට පැමිණෙනවා. මේ අතරෙ වෙස්ටරොස් හී දකුණු දිග ඩොර්න් කොටසටත්, මේ මකරුන්ගෙන් උදව් ලැබෙනවා. නයිමේරියා කියන රැජිණ හරහා. ඇය ඔබ්‍රින් මාටෙල් ලාගෙ මුතුන් මිත්තෙක් විවාහ කරගත්ත බවටත් කතා තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ BAL 700 දි විතර. කොහොම වුණත් මකරු නිසා වැලේරියා ශිෂ්ටාචාරය ඉදිරියෙන් ඉදිරියටම යනවා. මුළු එසෝස් බලයම ඔවුන් සතු වෙනවා.
මේ අතරෙ ටිකෙන් ටික වෙස්ටරෝස් මහද්වීපය, පාලනය අතින් ස්ථාවර වීම ආරම්භ වෙනවා. BAL 2000 ඉඳං වසර 1300 ක වගේ කාලයක් පුරා දැනට පවතින මහා රාජධානි සකස්වීම ආරම්භ වෙනවා. සමහර කුඩා රාජ්‍යන් පරාද කරලා. ඒවායෙ හිටපු ගැහැණු විවාහ කරගෙන නම් ගම් උරුම වෙනස් කරන් දැන් තියෙන තත්වෙට පත්වෙන්නෙ මේ කාලෙ. කොහොම වුණත් මේ රාජධානි හතම තම තමන්ට ආවේණික ලෙස සංස්කෘතික වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් සමෘධිමත් වුණා.
BAL 400
ස්ටාර්ක් වංශයේ අනු වංශයක් ලෙස සැලකූ බෝල්ටන් වංශය විසින් ස්ටාර්ක් වංශයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරනවා. ඒ කැරැල්ල මැඩ පවත්වන්නෙ උතුරෙ රජු වූ ස්ටාර්ක් රජුගෙ බාල පුතා වූ කාර්ලොන් ස්ටාර්ක්. ඉතිං මේ කැරැල්ල මැඩ පවත්වපු නිසා බෝල්ටන් ලාට අයත්ව තිබූ බොහෝ ඉඩම් හා දේපල අයිතිය ස්ටාර්ක් රජු කාර්ලොන්ට ලබා දෙනවා. කාර්ලොන් ස්ටාර්ක් තනි වංශයක් ලෙස කාලයාගෙ ඇවෑමෙන් කාස්ටාර්ක් කියා නැගී සිටිනවා. ඇලිස් කාස්ටාර්ක් අයිති ඒ වංශයටයි. කොහොමත් බෝලටන් ස්ටාර්ක් අතර තාමත් ඒ තරම් හිත් නොහොඳකම් වෙන්න ඇත්තෙ, මේ හේතු නිසා කියලා දැන් පැහැදිළි ඇති නේද?
BAL 360
The Stormlands වල ස්ටෝර්ම් රජවරුන් විසින් Riverlands ආක්‍රමණය කරනවා. ඒ නිසයි මං කලින් ලිපියක සඳහන් කරපු විදිහට රීවර්ලැන්ඩ් මහා රාජධානියක් ලෙස පිළි නොගන්නෙත්. කොහොම වුණත් ප්‍රධාන රාජධානි හත නැගීම ප්‍රබලවම සිදුවුණේ මේ කාලය තුළයි.
BAL 300
මේ කාලෙ තමයි උතුර දකුණ යාකෙරෙන The twins පාලම ඉදි වුණේ. මේ ඉදිවීම හරහා උතුර හා දකුණ යාකෙරුණා කිව්වොත් නිවැරදියි. මේ පාලම නිර්මාණය කරාට පස්සෙ එහි පාලනය ෆ්‍රේ වංශය විසින් තමන් යටතට ගත්තා. පාලම කරපු හරිය සහ පාලමේ අයිති කාරයාට වෙච්ච හරිය කතාව බලපු හැමෝම දන්නවා. NORTh Remembers 😀
BAL 200
එසොස් වල මකරුන් අයත් වංශ ගොඩක් තිබුණත්, මේ වංශ අතරින් ටාගේරියන් නම් වංශයේ පාලකයා තමන්ගෙ දියණිය දකින සිහිනයක් නිසා ඔහුට දැනෙන්න පටන් ගන්නවා මේ එසෝස් දිවයින සහ වැලෙරියානු ශිෂ්ටාචාරය තව දුරටත් ස්ථාවර නැති වේවි කියලා. ඉතින් ඔහු තමන්ගෙ සියලු වටිනා වස්තුව සහ මකරුන් අරගෙන ඩ්‍රැගන්ස්ටෝන් කරා පැමිණෙනවා. ඇවිත් ඒ දූපත වෙළඳ නගරයක් ලෙස භාවිතා කරනවා.
Doom of Valyria ( වැලේරියාවෙ බිඳ වැටීම)
BAL 100
දිගු කාලීනව කළ පතල් කැනීම්, වානේ ගැනීම් සහ යපස් ගැරීම් වල ප්‍රතිඵලයක් ලෙස බලගතු වැලේරියානු අධිරාජ්‍ය ශිෂ්ටාචාරය විනාශ වෙනවා. ගිනිකඳු පිපිරමකින් විනාශ වෙලා ප්‍රධාන නගරය සම්පූර්ණයෙන් අළු වලට යට වෙනවා. අර මකරුන්ගෙන් සියලු දෙනාම වගේ එහිදි මිය යනවා. ඒ ප්‍රදේශයේ මුහුද තවමත් විෂ සහිත බව තමා කියවෙන්නේ. ඉන්පස්සෙ වැලේරියන් වානේ හැදෙන්නෙ නෑ. ජීවත් වෙන බොහෝ දෙනෙක්ට ග්‍රේ ස්කේල් හැදිලා කල්පනාව නැති වෙලා ගල් කොටං වගේ මැරිලා යනවා. මේ ඛේදවාචකයෙන් බේරෙන්නෙ වංශයක් විදිහට ටාගේරියන්වරු විතරයි. ඒ ඔවුන් කලින්ම ඩ්‍රැගන්ස්ටෝන් ආපු නිසා.
කොහොම වුණත් වැලේරියාව විනාශ වෙලා ගියත් ආයෙම එසොස් මහද්වීපයක් ලෙස ගොඩ නැගෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ අධිරාජ්‍ය කැබලි වලට කැඩිලා නිදහස් නගර නවය වගේම, ඩොත්රාකි වරු වගේම වහල් බොක්ක ආශ්‍රිතව නව වෙළඳ නගරත් බිහි වෙනවා.
BAL 60
මේ අතරෙ අයන් දූපත් වැසියෝ නිකම්ම ඉන්නෙ නෑ.. මේ අය හිතනවා තමන්ගෙ බලය ව්‍යාප්ත කරන්න. තම භූමිය දූපත් වලින් පිටට ව්‍යාප්ත කරගන්න හිතන ඒ අය බ්ලැක්වෝටර් සිට NECK කොටස දක්වාත් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වාත් බලය ව්‍යාප්ත කිරීම ආරම්භ කරනවා. එවකට අයන් දූපත් පාලනය කරපු Harren Hoare විසින් තම ධනය බලය අනෙකාට පෙන්වීමට භූමියේ සිට බිඳ නොහැලිය හැකි ආකාරයේ බලකොටුවක් තනන්න පටන් ගන්නවා. ඒ බලකොටුවට ඔහො හැරන්හෙල් ලෙස නම් තබනවා.හැබැයි මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය හදලා ඉවර කරන දවසෙම වෙස්ටරොස් ඉතිහාසයේ තවත් එක වැදගත් සන්ධිස්ථානයකට මුහුණ දෙනවා.
ඔන්න දැන් හදන්නෙ ඉතාම වැදගත් කාලයකට පිවිසෙන්න. BAL ඉවරයි. දැන් AL
එගොන් ටාගේරියන්ගෙ පැමිණීම (Aegon’s Conquest)
AL 0
ඒ තමා එසොස් වල මකර අධිරාජ්‍යයේ විනාශයෙන් සියවසක් පමණ ගෙවුණු තැන ඩ්‍රැගන්ස්ටෝන් වල සිට ටිකෙන් ටික සංවර්ධනය වූ ටාගේරියන් වංශයේ එගොන් ටාගේරියන් වෙස්ටරොස් වලට ඉතා කුඩා හමුදාවක් එක්ක ගොඩ බහිනවා. ඒ වගේම එයා විශාල මකරුන් තිදෙනෙක් සමඟයි එන්නෙ. Black water bay නමින් හඳුන්වන මෙම ප්‍රදේශයට එන ඔහු මුහුදට නෙරාගිය ස්ථානයක ලී බලකොටුවක් හදනවා. එතැන තමයි අද මහා කින්ග්ස් ලෑන්ඩිං මන්දිරය හදලා තියෙන්නෙ. Red keep කියන්නෙ අන්න ඒක. ඔය දවස් වල අයන් බෝන් වැසියන් අර අපි කලින් කිව් විදිහට මේ පළාතෙ බලය පතුරවාගෙන හිටියා වගේම ඔවුන් හැරන්හෙල් බලකොටුවත් හදලා ඉවරවුණා විතරයි.
මේ භූමියේ උරුමකරුවන් වෙච්ච ටලි වංශය මේ අයන් වැසියන්ගෙ වැඩේ ගැන ඒ තරම් පැහැදීමකින් නොවෙයි හිටියෙ. ඒක ඒගොන්ට ලොකු වාසියක් වුණා. ටලී වංශයෙ උදව් ඇතිව මේ ඒගොන් විසින් අලුතෙන් හැදූ හැරන්හෙල් බලකොටුව වට කළා. ඊට පස්සේ Harren Hoare රජුට ඒගොන්ට යටත් වෙන්න කියලා කිව්වා. ඔව් ඔව් Bend the knee තමා. ඉතිං එහෙම කළේ නැති නිසා, ඒක ප්‍රතික්ෂේප කළ නිසා ඔහු මකරු භාවිතා කළා. මකරු දම්මලා ඔහු හැරන් හෝ ව පණ පිටින් පුච්චනවා. ඒ වගේම බලකොටුවත් විනාශ කරනවා. බලකොටුවේ නටඹුන් දැකලා නැති අය ඉන්නවා නම් තිසර මල්ලි පින්තූර පෙන්වයි. 😀 එගොන් ටාගේරියන් නිකං හිටියෙ නෑ රිවරන් වල පාලනය තමාට උදව් කල ටලී වංශයට භාර කළා. එතැනින් පස්සෙ ටලී වරු තමා එහෙ බලා ගත්තෙ. කැටලින් ටලී අයත් ඒ වංශයටයි.
ගිනි පිඹිල්ලට බය වෙච්ච, ඒත් පණ ගැටගහගෙන ඉතුරු වෙච්ච අයන්බෝන් වැසියෝ පලා ගිහින් පසුව යටත් වෙන්න තීරණය කරනවා. අයන් දූපත් වල පාලනය යටත් වෙච්ච පයික් හී ග්‍රේජෝයි වංශයට බාර දෙන්න එගොන් තීරණය කරනවා. ඒ නිසයි ග්‍රේජෝයි වරු අයන් හී පාලනය තවමත් දරන්නෙ.
ඒ වගේම ඒගොන් ට අවජාතක අඩ සොහොයුරෙක් ඉන්නවා. ඒ තමා ඕරිස් බැරැතියන්. එයා ස්ටොර්ම්ලෑන්ඩ් වල හිටිය ස්ටෝර්ම් රජු පරාද කරලා එහි පාලනය තමා නතු කරගන්නවා. එයින් පස්සෙ ඔහුගෙන් බ්‍රැතියන් වංශය ආරම්භ වෙනවා. ටිකක් හිතලා බලන්න රේගාර් තමන්ගෙ පෙම්වතියට බැල්ම දානකොට රොබට් බ්‍රැතියන්ට තරහ යන්න ඇත්තෙ ඇයි කියලා. මේ එක්තරා නෑ පරම්පරාවක්. මුලින්ම විබේදනය වෙලා ගිය. වෙනම වංශ විදිහට ගොඩ නැගිච්ච.
ලැනිස්ටර් වරු හා ගාඩ්නර් වංශය නම් යටත් වෙන්න කලින් ඒගොන් එක්ක සටනට යනවා. මකරුන් අතින් මිනිසුන් 4000 ක් පණ පිටින් පුළුස්සා දාලා ඒ ගොන් ලැනිස්ටර් වරු යටත් කරගන්නවා. Bend the knee තමා. ඉන්පස්සෙ ඔවුන්ට වෙස්ටර්ලෑන්ඩ් වල පාලනය බාර දෙනවා. හැබැයි ගාඩ්නර් වංශය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා අපි කලින් ලිපි වල කිව්වා වගේ ගාඩ්නර් වංශයෙ ආවතේව කර කර හිටිය පුංචි ටයිරෙල් වංශයට රීච් කලාපය ලබා දෙනවා. පේනවා නේද සමහර ඛේදවාචක සමහර වංශ වලට ඉණිමඟක් වෙච්ච හැටි. ඉතා කුඩා වංශ මහා වංශ බවට පත් වෙන්න එක යුද්ධයක් ප්‍රමාණවත් වෙනවා.
ස්ටාක්වරු කියන්නෙ ටිකක් වෙනස් වංශයක්. මේ ආක්‍රමණිකයාගෙ බලවත් කම අවබෝධ කරගත්ත ටොහොරාන් ස්ටාර්ක් යටත් වෙන්න තීරණය කරනවා. ඒ නිසාම ඔහු උතුරෙ පාලකයා බවට පත්වෙනවා. ඩැනේරිස් හැම වෙලාවෙම ජොන්ට කියන්නෙ, අන්න ඒ මුතුන් මිත්තා කළා වගේ කරන්න කියලා තමයි. ඇරන් වරුත් සතුරාගේ ප්‍රබලත්වය දැකලා සාමාකාමී විදියට යටත් වෙනවා. යටත් වෙලා තමන්ගෙ කලාපය බලා ගන්නවා.
හැබැයි ගරිල්ලා සටනකට ගිහින් මකරුන්ගෙන් බේරෙන ඩෝර්න් යටත් කරගන්න නම් එගොන්ට හැකියාව ලැබෙන්නෙ නෑ. ඉතිං එගොන් අසමත් වෙන නිසා පස්සෙ ඔවුන්ට ස්වාධීනව ඉන්න ඉඩ දීලා විජයග්‍රාහී විදිහට සටන අවසන් කරනවා. ඒකයි ඩොර්න් වල කුමාර වරු ඉන්නෙ. ඔවුන්ට ලෝර්ඩ් වරු කියලා හඳුන්වන්නෙ නැත්තෙ. අර ඔලුව කුඩු පට්ටං වෙච්චි ඔබ්‍රින් මාර්ටෙල් ප්‍රින්ස් කෙනෙක්නෙ. මං හිතන්නෙ ඔයාලට මතක ඇති.
ඒගොන් ඊට පස්සෙ කිරුළු පළඳිනවා. කින්ග්ස් ලෑන්ඩිං වල අද තියෙන මාලිගාව හදනවා. එයාගෙන් මැරුම් කාපු සතුරන්ගෙ කඩු එකතු කරලා බැලේරියන් මහා බිහිසුණු මකරාගෙ ගින්නෙන් උණු කරලා ලස්සන සිංහාසනයක් හදනවා. ඒකට තමයි Iron Throne එක කියන්නෙ.ඒ විතරක් නෙවෙයි එයා අලුත් අවුරුදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ තමයි AL ක්‍රමය එයාගෙ ආක්‍රමණයෙන් පසු යුගය කියන එක අර්ථ දක්වන්න. සමහරු මේක AC ලෙස හඳුන්වනවා. After Conquest තමයි එහි අර්ථෙ. කොහොම කළත් දෙකම එකයි. සිටිඩෙල් වල දෙකෙන්ම තියෙනවා.
ටාගේරියන් වරුන් සහ වෙස්ටරෝස් මහද්වීපය (The Reign of the Targaryen Dynasty)
AL-01 සිට 48 තෙක්
පළමු ඒගොන් රජු, තමන්ගෙ සොයුරිය වන රේනිස් ට තමන් නිසා උපන් පුත් ඒනිස් ට ඔහුගේ මරණයෙන් පසු රාජ්‍ය බලය පැවරුවත් Faith of the Seven ආගමෙන් මෙය අපචාරයක් ලෙස සලකලා එයට විරුද්ධ වුණා. මතකනෙ අර Shame Shame කියලා පාරෙ යන කට්ටිය ඒ කාලෙත් හිටියා. කිරීටයේ නීත්‍යානූකූල බව පිළිබඳව කැරැල්ලක් ඇති වුණා. ඒනිස් එයින් සෑහෙන්න සැලුණා. අසනීප වුණා. ඒ නිසා එයා රාජ්‍ය පාලන කටයුතු වලට තමන්ගෙ අඩ සොයුරාව යොදා ගත්තා. ඒ මේ ගෝර්. මේගෝර් ව වට්ටන්න නම් හත් දෙනාගෙ දෙවියන්ටවත් උන්ගෙ හමුදාවටත් බැරි වුණා. මේගෝර් කියන්නෙ ඒගොන් ගෙ දෙවනි නංගි වෙන විසේනියා ට ලැබුණු ඒගොන් ගෙ පුතා. මේගෝර් විසින් එම කැරැල්ල ඉතා කුරිරු ආකාරයට මර්දනය කරා කියලා ඉතිහාසයෙ සඳහන් වෙනවා. ඒනිස් ගෙ රාජ්‍ය කාලය වසර පහක්වත් නෑ. ඔහු අසනීප නිසා මැරිලා යනවා. මේගෝර් මාලිගාවෙ කටයුතු සම්පූර්ණයෙන් නිමා කරනවා. කැරැල්ල අවසාන වෙන කාලේ මේගෝර් අයන් ත්‍රෝන් එක උඩ මැරිලා වැටිලා හිටියා කියලා තමයි හුඟක් අය දකින්නෙ. ඔහු ඉතා කුරිරු පාලකයෙක් ගොඩට තමා ඉතිහාසය වගු ගත කරන්නෙ. මේ AL 37 සහ 48 කාලය.
The Targaryen golden age ( දිලුණු ටාගේරියන් සමය)
AL -48 සිට 129 තෙක්
ඒනිස් ගෙ පුතා ජෙහාරිස් ටාගේරියන් බලයට පත් වුණ කාලයේ ඔහු faith එකත් එක්ක කතා කරන්න පෙළඹෙනවා. ඔවුන් තමන්ගෙ රුධිරය නිකැළැල්ව පවත්වාගෙන යාමේ අවශය තාවය පහදා දීමත් සමඟ එයට විරුද්ධ වුණත්, ඒ ගැන කැරලි මතු නොකරන්න faith of Seven ආගම පොරොන්දු වෙනවා. ඒ නිසාම බිහිසුණු බවින් තොරව රාජ්‍ය පාලනය කළ නිසා වසර පනහක පමණ කාලයක් ජෙහාරිස් ටාගේරියන් ට රාජ්‍ය විචාරන්න හැකියාව ලැබෙනවා. මේ කාලයෙදි තමයි නයිට් වොච් කණ්ඩායම night fort අතෑරලා castle black තමන්ගෙ මූලස්ථානය විදිහට තෝරා ගන්නෙ. කොහොම වුණත් සීයාගෙන් මුණුපුරා රජ විය හැකි තරම් කාල පරාසයක් දුර ඈතට එක රජෙක් ගෙ කාලය තිබ්බා කියලා සඳහන් වෙනවා මේ කාලෙ මේ කාලෙ පළමු වැනි විසේරිස් ටාගේරියන් බලයට පත් වෙනවා. කොහොම වුණත් ඉතා යහපත් සමෘධිමත් සමයක් මුළු වෙස්ටරෝස් මහද්වීපයේම පැවතුණා කියලා සිටිඩෙල් මූලාශ්‍ර වල දකින්න ලැබෙනවා. ඒ වගේම ඩොර්න් කලාපයත් ඉතාම සහයෝගයෙන් ටාගේරියන් ලා එක්ක හිටියා කියලාත් කියන්න පුළුවන්.
මකර යුද්ධය (The Dance of the Dragons)
AL -139 සිට AL 131 තෙක්
සහෝදරයන් හා සහෝදරයන් අතර ඇති වෙන මහා ගැටුමෙන් මකරුන් මකරුන්ටම එරෙහිව යුධ වැදුණා. එය සිදු වුණේ මෙලෙසයි. පළමු විසේරිස් ටාගේරියන්ගේ මරණයෙන් පසුව සර් ක්‍රිස්ටියන් කෝල් නම් රාජ්‍ය ආරක්ෂක ආඥාදායකයා විසින් විසේරිස් ගේ පුත් වූ දෙවැනි එගොන් ටාගේරියන් රාජ්‍යත්වයේ පිහිටෙව්වා. ඔහු එසේ කළේ විසේරිස් ගේ අවසාන ආඥාව නොතකා. ඒ අවසාන ආඥාව වූයේ ඔහුගේ වැඩිමහල් දරුවා වූ රේනයිරා ට රජ කම ලබා දීමට. ඇය දියණියක් බැවිනුයි කින්ග්ස්ගාර්ඩ් කමාන්ඩර්වරයා ඒ තීරණය ගත්තේ. රජකම පුතාට දීම සුදුසු යැයි ඔහු සිතුවා. ඉතිං මහා මකර යුද්ධය ඇරඹුණා. මකරුන් මකරුන් යුද්ධ කළා. දෙවැනි ඒ ගොන් තම අක්කාව පණ පිටින් පුළුස්සා දැමුවා. තමන්ගේ මකරුන්ට ආහාරයට දුන්නා. ඒත් ඒ යුද්ධය නැවතුණේ නෑ. යුද්ධය ට සොයුරියගේ පුත්‍රයා අවතීර්ණ වුණා. ඔහු හඳුන්වන්නේ තුන් වැනි එගොන් නමින්. අවසානයේ දෙවැනි එගොන් පරාජය වුණා. සියලුම ටාගේරියන් වරු වෙනුවෙන් අවසානයේ තුන්වැනි එගොන් උරුම කරු ලෙස ඉතිරි වුණා. මෙය ඉතා අඳුරු සමයක් ලෙසයි වෙස්ටරෝස් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. හැම තැනම පැතිරුණේ භීෂණය. අවසානයේ සියලුම මකරුන් මේ යුද්ධයත් සමඟ හානියට පත් වී මිය ගියා. අවසාන මකරා මිය ගියේ තුන්වෙනි ඒගෝන්ගේ අවසාන කාලයේදී. ඒ මකරා පූසෙකුට වඩා තරමක් විශාල බවයි කියවෙන්නෙ.
ඩෝර්න් ආක්‍රමණ සමය (The Conquest of Dorne)
AL 157 -184 කාලය
වයස අවුරුදු 14 දී බලයට පත් වෙන පළවැනි ඩේරොන් විසින් ඩෝර්න් වලට විරුද්ධව යුද වදින්න තීරණය කරනවා. ඔහු ජයග්‍රහණයට ඉතාම ආසන්න වෙනවා. හැබැයි ඔහු වැඩ බැලීමට පත් කළ ටයිරෙල් වරු ඩෝර්න් කලාපය එක්ක හිතවත් බැවින් එහි කැරැල්ලක් ඇති කරනවා. ඉතින් පුංචි තරුණ රජතුමා මේ නිසා මිය යනවා. ඔහුට ළමුන් නැති නිසාම තම සොහොයුරා වූ බේලන් රජකමට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සහෝදරි බිරිඳක් සරණ පාවා ගන්න ඩිංගක්වත් කැමති නැති නිසා ඒ අයව රෙඩ් කීප් වල කුලුණක හිර කරනවා. පස්සෙ හැම අතින්ම හොඳ නිසා ඩෝර්න් වලින් විවාහයක් කරගන්නවා. ඒ හේතුවෙන් ඩේරෝන් පටන් ගත්ත ඩෝර්න් ගැටුමත් සමථයකට පත් වෙනවා. මේ බ්‍රහ්මචාරී රජතුමාගෙන් පස්සෙ තමයි ආයෙ දරුණු කාලයක් ඇති වෙන්නෙ. බ්‍රහ්මචාරී කම කොච්චර අල්ලලා ගියාද කියනවා නං ඔහු දරුවො හදන්නෙත් නෑ. මේ නිසා ඔහුගෙ hand වෙලා හිටපු විසේරිස් දෙවැනි ටාගේරියන් ඔහුගෙ මරණින් පස්සෙ රජ වෙනවා. ඉන්පස්සෙ අයන් ත්‍රෝන් එක පාස් වෙන්නෙ දෙවැනි විසේරිස් ගෙ පුතා වුණ හතරවැනි එගොන්ට. ඔහු තම සහෝදරී බිරින්දෑවරුන්ට අමතරව ගැහැණු නවයක් සමඟ දරුවො හදනවා. පස්සෙ මරණය මොහොතෙ මේ හැම දරුවෙක්ම සුජාත දරුවො බවට තහවුරු කරනවා. ටාගේරියන් වංශයේ මහා කඩුව වන බ්ලැක්ෆයර් කඩුව පවා ඔහු සුජාත බවට පත් කළ අවජාත පුතකු වෙන ඩේමන් හට ලබා දෙනවා. තමන්ගේ ස්වකීය ස්වජාත පුතුට වඩා එම කඩුවට සුදුස්සා ඩේමන් බවයි ඔහු සලකන්නේ. කඩුව ලැබීමත් සමඟ ඔහු ඔහුට තිබූ අවජාතක නම අතහැර කඩුවේ නාමය වන බ්ලැක්ෆයර් යන්න සලකා බ්ලැක්ෆයර් වංශය ආරම්භ කරනවා. එහෙත් හතරවැනි එගොන් ටාගේරියන්ගෙන් පසු රජ කම ලබන්නේ දෙවැනි ඩේරෝන් ටාගේරියන් වන ඔහුගේ සුජාත නාමය මුල සිට දැරූ පුත්‍රයායි.
The Blackfyre Rebellions (බ්ලැක්ෆයර් කැරැල්ල)
AL197 සහ ඒ ආසන්න කාලය
දෙවැනි ඩේරෝන් ගේ රාජ්‍යත්වය ප්‍රශ්න කිරීමට බ්ලැක්ෆයර් වංශය ( එනම් හතරවැනි එගොන් ගේ ස්වජාතක කළ අවජාතක දරුවන් ) තීරණය කරනවා. එයට හේතුව පුරා වෘත්තයක් ලෙසින් පළමුවැනි එගෝන් ගේ සිට ටාගේරියන් වංශය සහ එහි රජු අත දරන බ්ලැක්ෆයර් කඩුවේ අයිතිය ඒ වන විට තමන් සතුව පැවතීම වුණත්, හැබෑ හේතුව එයම නොවෙයි. අයන් ත්‍රෝන් එකට උරුම කියන්නා විසින් බ්ලැක්ෆයර් කඩුවත් දරා සිටිය යුතු බව සියලු මිනිසුන්ගේ අදහසව පැවතීමත් ඔවුන්ට මෙම පාලනය ප්‍රශ්න කිරීම සඳහා වාසි සැපයුවා. නමුත් හතරවැනි ඒගොන් විසින් දෙවැනි ඩේරෝන් ටාගේරියන්ට කඩුව ලබාදීම ප්‍රතික්ෂේප කරන්න වෙනත් හේතුවක් තිබ්බා. හතරවැනි ඒගෝන් ගෙ නමට දාව තම සහෝදර බිරිඳ විසින් උපත ලබා දුන්නත්, මේ ඩේරෝන් ටාගේරියන් හැබෑවටම තම දරුවා නොව තම බාල සොයුරා වූ ඒමන් ඩ්‍රැගන් කොයින්ගේ දරුවා බව හතරවැනි ඒගෝන් දැන සිටියා. මේ කරුණ කනින් කොනින් සමාජ ගත වීම බ්ලැක්ෆයර් නව වංශයට තවත් මේ කැරැල්ල ඇති කරවීමට උදව් සැපයුවා. කෙසේවෙතත් මේ සටන මහා මෘග සටනක් ලෙස වෙස්ටරෝස් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කළා. ඩේරොන් දෙවැනි ටාගේරියන් ගෙ පුතුන් විසින් මෙම කැරැල්ල මැඩ පවත්වන්නට සමත් වූ අතර යුධ බිමේ දී ඩේමන් බ්ලැක්ෆයර් මිය ගිය බවයි සඳහන් වෙන්නේ. ඔහු ගේ වැඩිමහල් පුතුන්ද මිය ගිය නිසා ඉතිරි වූ තවත් ස්වාජාත කළ අවජාතක සහෝදරයෙක් වන බිටර්ස්ටීල් විසින් මේ කඩුව රැගෙන ඒසොස් මහද්වීපය වෙත පලා ගිය බව සඳහන් වෙනවා. ඉන්පසු ඩේමන් බ්ලැක්ෆයර් ජීවත් වන පුතුන් එම කඩුව ඉල්ලා හිටියත් එය ඔහු නොදුන්න බවයි සඳහන් වෙන්නෙ.
කොහොම වුණත් මේ බ්ලැක්ෆයර් වරුන්ගේ කැරැල්ල අතුගා දමන්න ඩෝර්න් කලාපීය සහයත් ටාගේරියන්වරුන්ට ලැබෙනවා. ඉතිං මේ හිතවත් කමට කරන යහ සැලකීමක් ලෙසට ටාගේරියන් බාල සොහොයුරියක්ව ඩෝන් හී මේරොන් මාටෙල් කුමරුට සරණ පාවා දීලා නිල වශයෙන් ඩෝර්න් භූමියත් මහා රාජධානියෙ කොටසක් ලෙස එකතු කරගන්නවා.
AL 209 ට පසු යුගය
මේ කාලයේදි වෙස්ටරෝස් වලට වසංගතයක් පැමිණෙනවා. Great Spring Sickness නමින් හැඳින්වූ මේ වසංගත රෝගය නිසා එවක දෙවැනි ඩේරොන් ටාගේරියන් රජ මෙන්ම ඔහුගේ උරුමකරුවන් වන පළමු බ්ලැක්ෆයර් ජය ග්‍රහණය කළ ඔහුගේ පුතුනුත් බොහෝ දෙනෙක් මිය යනවා. එනිසා පළමු ඒරිස් ටාගේරියන් රජකමට පත් වෙනවා. හැබෑවටම මේ පළමු ඒරිස්ට රජකම ලැබෙන්න ඉස්සර වෙලා මේ රජ කමට පොඩි පොඩි කුමන්ත්‍රණත් ගිය බව අහන්න ලැබෙනවා. Dunk and egg කතාව අහලා තියෙනවානෙ.
වසංගතයට පසු යුගයේ නැවත හිස එසවූ බ්ලැක්ෆයර් වංශය
AL211
පළමු ඒරිස් රජ දවස බ්ලැක්ෆයර් අනුගාමිකයන් විසින් නැවත වතාවක් පැවති අස්ථාවර තත්වයත් එක්ක නැවත සිහසුන අල්ලන්න තරඟ කළත්, එය සාර්ථකව වගේම ඉතා ඉක්මනට මැඩ පවත්වන්නට ටාගේරියන් වරුන්ට හැකි වෙනවා. මේ කැරැල්ල නිසා බ්ලැක්ෆයර් වංශය අතුගෑවිලාම ගියා කියන්නත් පුළුවන්. හෙමින් සීරුවේ ඒසෝස් වලට පැන ගත්ත බිට්ල්ස්ටීල් නම්, තමන්ටම කියලා කුලී හමුදා ව්‍යාපෘතියක් පටන් ගත්තා. එය නම් කළේ Golden company කියලා. මං මීට කලිනුත් මේ ගැන කියා තියෙනවා. සර්සි ගෙන්වන්න හදන්නෙ මේ හමුදාව. කොහොමද ඩැනීට ඩැනීගෙම බාස්ටර්ලාගෙ පරම්පරාව ගේම අදිද්දි
කොහොම වුණත් මේ බ්ලැක්ෆයර් වරු දෙවනි අතුගෑවිල්ලෙන් පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ කියලා තමයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ. ඔවුන් තුන්වැනි වතාවටත් රජයට එරෙහිව කැරැල්ලක් දියත් කරනවා. බිටර්ස්ටීල් පුහුණු කරන ගෝල්ඩන් කම්පැනියත් මේ වැඩේට අරන් තමයි ඔහු එන්නෙ. ඒක සාර්ථක වෙන්නෙත් නැති නිසා පරාජය වූ බිටර්ස්ටීල් සදහටම ඒසෝස් මහද්වීපයේ සැඟවී යනවා.
කැරැල්ල සාර්ථකව මර්දනය කළාට පස්සෙ පළමු ඒරිස් ටාගේරියන්ට දරුවො නැති නිසා ඔහුගෙ බාල සහෝදරයා වන මේකාර් ටාගේරියන්, තමන්ගෙ Hand of the king ලෙ blood Raven ව තෝරා ගෙන රජ වෙනවා.
AL 233
මේකාර් ටාගේරියන් ගේ , මරණයෙන් පසු රජකම ලබන්නේ ඔහුගෙ සිව්වැනි පුතා වන පස්වැනි එගොන් ටාගේරියන්. මේකාර්ගෙ වැඩිමහල් පුතුන් දෙන්නාම මිය යනවා. ඒ මේකාර්ගෙ පාලන අවධියෙදිමයි එක පුතෙක් සරම්ප නිසාත් අනෙක් පුතා පිස්සුවෙන් වයිල්ඩ් ෆයර් විෂ පානය කළ නිසාත් මිය ගියා කියලා තමයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ. සිංහාසනය ලැබිය යුත්තේ තෙවැනි පුත්‍රයා වන ඒමන් ටාගේරියන්ට වුණත්, ඔහු සිංහාසනය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසයි සිව් වැනි පුතා වෙන එගොන් ටාගේරියන් පස් වෙනි එගොන් ලෙස රජ වෙන්නෙ. ඒමන් ටාගේරියන් ව නාට්‍ය බලන අයට මතක ඇති. සෑම් සහ ගිලී ළඟ අවසන් හුස්ම හෙලන, ආදරණීය මහල්ලා තමයි ඔහු. ජොන්ට ඔහු කොයි තරම් ආදරය කළාද කියලා සමහරවිට ඔබට මතක ඇති. ඔහුට ලේ නෑකමක් දැනුණා වෙන්න පුළුවන්.
පස්වන ඒගොන් ටාගේරියන් ගේ රාජ්‍ය සමය බොහොම සාමකාමී කාලයක් විදිහට තමයි හඳුන්වන්නේ ඔහුගේ රාජ්‍ය සමයේ අවසාන කාලයේ රාජ්‍ය ප්‍රධාන ආචාර්ය තනතුරට පයිසෙල් පත්වෙනවා. පයිසෙල් පසු ගිය සීසන් එකේ අවසාන කොටසෙදි කයිබර්න් ගේ කුඩා මිත්‍රයන් අතින් මිය ගියා. ඔබට මතක ඇති.
ඉන් අනතුරුව නැවත වතාවක් බ්ලැක්ෆයර් නමින් කැරැල්ලක් එනවා. එය හතරවැන් බ්ලැක්ෆයර් කැරැල්ල ලෙසයි හඳුන්වන්නෙ. ඩේමන් බ්ලැක්ෆයර් ගෙ ජීවතුන් අතර හිටි මුණුබුරෙක් ස්ටෝර්ම්ලෑන්ඩ්ස් වලට පහර දීලා අරඹන මේ කැරැල්ල මර්දනය කරන සටනෙදි ලැනිස්ටර් වරුන්ගෙ පළමු උරුම කරුවො මිය ගිහින් ටයිවින් ලැනිස්ටර් ගෙ තාත්තා වන ටයිටොස් ලැනිස්ටර් වෙස්ටර් ලෑන්ඩ් වල ලෝර්ඩ් වරයා බවට පත් වෙනවා.
පස්වෙනි බ්ලැක්ෆයිර් කැරැල්ල ලෙස හැඳින්වෙන Ninepenny රජුන්ගේ යුද්ධය ආරම්භ වීම සිද්ධ වෙන්නෙ මේ යුගයට පස්සෙ, එහි කුලී හේවායන්, වාසනාව සොයන්නන් සමඟ බ්ලැක්ෆයිර් පරපුරේ මේලිස් නම් මුණුපුරෙක් වෙස්ටරොස් ආක්‍රමණය සඳහා පැමිණෙනවා. ඒත් සර් බැරිස්ටන් සෙල්මි විසින් මේලිස්ව ද්වන්ධ සටනකදි මරලා දාලා බ්ලැක්ෆයිර් පරපුර සම්පූර්ණයෙන්ම අවසාන කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. බැරිස්ටන් සෙල්මි කියන්නෙ, හාෆි පුත්‍රයන් සමඟ සටනෙදි ඩැනීට පක්ෂව මිය ගිය නයිට්වරයා. ඔබට මතක ඇති කියලා සිතනවා.
AL 259
මෙම වර්ෂය ඉතා වැදගත් වර්ෂයක් ලෙස වෙස්ටරෝස් ඉතිහාසය විසින් සඳහන් කරනවා. ඒ තමයි සමර් හෝල් හී ඇතුවූ මහා ගින්නෙන් රජු මෙන්ම රාජ්‍යත්වයේ පළමු උරුමකරු මිය යනවා. මේ ගින්න ඇති වෙන්නෙ, අවසාන මකර බිත්තර මතින් මකරෙක් උපද්දන්න කරපු වෑයමේ දි. එයින් බිත්තර පවා ගිනි ගෙන දැවෙනවා. ගිනි ගන්නා සමර්හෝල් එකේ පිටත රේහ්ලා කුමරිය විසින් දෙවැනි එරිස් ට දාව පිරිමි දරුවකු උපද්දවනවා. ඔහු උපන් දවසෙම, හිස් වූ ටාගේරියන් යකඩ සිහසුනට පත්වන්නට ඔහුගේ පියා වෙන දෙවැනි ඒරිස් වරම් ලබනවා. ඒ උරුම කරුවන් සියල්ල මිය ගිය නිසා. කෙසේ හෝ මේ එළිමහනේ ඉපදෙන කුඩා දරුවා..
රේගාර් ටාගේරියන් ලෙසින් නම් ලබනවා. ඉන්පසු වෙස්ටරෝස් ඉතිහාසයේ මහා නිර්මාණකරුවා ලෙස අපි ඔහුව හැඳින්වීමේ වරදක් නෑ.
දෙවන ඒරිස් ටාගේරියන් හෙවත් Mad king ගේ පාලන සමය.
AL 259 ට පසු යුගය
පස්වෙනි ඒගොන් රජුගේ බාල පුතු වන දෙවෙනි ඒරිස් ටාගේරියන් රජකමට පත් වීමත් සමඟ ඔහුගෙන් පසු රාජ්‍ය හිමි වන්නා ලෙස රේගාර් ටාගේරියන් නම් ලබනවා. බොහොම සුභවාදි ලෙස රාජ්‍ය පාලනය කිරීමට මුල සිටම සිතා ගත් මේ දෙවැනි ඒරිස් රජු පරම්පරා ගණනක් පුරා ඔහුගේ පියාගේ මෙන්ම සීයාගේ කාලේ සිටම රාජ සභාවේ හිටි ඉතා මහලු අයව සේවයෙන් විශ්‍රාම යවනවා. ඉන්පස්සෙ ඉතා තරුණ ශක්තිමත් අයව ඒ වෙනුවට ආදේශ කරනවා. ඉතින් ඔහුගේ රාජ්‍ය සමය මුලින් හොඳ විදියට ආරම්භ වුණ නමුත් ඔහුට පසුව එතරම් හොඳ මානසික තත්වයකින් ඉන්න ලැබෙන්නෙ නෑ..
මොහුගේ රාජ්‍ය සමය අතරතුර 270 AL දී පමණ ලැනිස්ටර් වරුන්ට විරුද්ධව රෙයින් වරු කැරැල්ලක් ඇතිකරනවා. ලැනිස්ටර් පාලන ප්‍රදේශ වලම ඇතිවෙන මේ කැරැල්ල නිසා එවකට තරුණ ටයිවින් ලැනිස්ටර් විසින් බොහොම දරුණු ආකාරයට එය මර්දනය කළ බවත් ඉතිරි වූ සියලුම රෙයින් ළමයින් මරා දැමූ බවත් කියවෙනවා. ඉතින් මේ අනුකම්පා විරහිත ස්වභාවයට ඉතාම කැමති වෙන දෙවන ඒරිස් තමාගේ ප්‍රධාන සහයක තනතුරට ඔහුව පත් කරගන්නවා. දෙවන ඒරිස් මෙය සිදු කරන්නෙ, දෙවැනි සිතිවිල්ලක් තියාගෙන බව පස්සෙ ටයිවින්ට දැනෙනවා. දෙවනි ඒරිස් රේහ්ලා විවාහ කරගැනීමට පෙර ටයිවින් දැන් විවාහ වී සිටින ජොවැන්නා ලැනිස්ටර් ට ප්‍රේම කරමින් සිටිනවා. කෙසේ හෝ රේහ්ලා ගේ විවාහයෙන් එය මඟ හැරුණත්, ටයිවින් සමඟ ජොවැන්නා කින්ග්ස්ලෑන්ඩිං වලට ගෙන්වා ගත හැකි බව දන්න ඒරිස් ඉතා කැමැත්තෙන් ටයිවින්ට මේ තනතුර දුන්නු බවට කතන්දර තියෙනවා. කොහොම වුණත් ප්‍රේම පළහිලව් වලට වැඩි කාලයක් නොතබා ටිරියන් ලැනිස්ටර් නම් වෙනස් අඟුටුමිටි දරුවාගේ ඉපදීමත් එක්ක ජොවැන්නා ලැනිස්ටර් සදහටම දෑස පියා ගන්නවා. (සොඳුරිය මට නොකියාම ගියා!!)
ඉතින් යම් කලක් ඇවෑමෙන් ටයිවින් ලැනිස්ටර් තම දියණිය වන සර්සි ලැනිස්ටර් රේගාර් ටාගේරියන් හා විවාහ කරවන්න සැලැස්මක් ගෙනෙනවා. හැබැයි එවන් ඥාති සබඳතාවයකට අකමැති වෙන දෙවන ඒරිස් රජු ඩොර්න් කලාපයේ ඒලියා මාටෙල් කුමරියව රේගාර් ටාගේරියන් කුමරුට විවාහ කරවලා දෙනවා.
ටයිවින් ලැනිස්ටර් මේ සිදුවීම සම්බන්ධව දෙවැනි ඒරිස් හා කලකිරීම නිසා ඔහු දෙවැනි ඒරිස් රජුව පිස්සු වැටෙන ආකාරෙ විහිලු මාලිගාව පුරා පතුරනවා. ටයිවින් රජය හැබෑවටම පාලනය කරන බවත් දෙවැනි ඒරිස් පඹයෙක් වැනි බවත් ඇහෙන නිසා ඔහුටගෙ පිස්සුව තද වුණා කියලයි කියන්නෙ.
මේ අතර ඩාක්ලින් කියන වංශවතා රජයට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවූ ප්‍රශ්නයට ටයිවින් ලැනිස්ටර්ගේ උදව් රහිතව විසඳීමට ගිය දෙවැනි ඒරිස් ටාගේරියන්ව ඩාක්ලින් විසින් හිර අඩස්සියට යටත්කරනවා. ඉතින් නැවත වතාවක් ඔහුව බේරා ගැනීමට පැමිණෙන්නෙ ටයිවින් ලැනිස්ටර් හා බැරිස්ටන් සෙල්මි දෙදෙනා.
ඔය සිදුවීමෙන් පස්සෙ යම් ආතති සහිත තත්වයක තිබූ දෙවැනි ඒරිස් ගෙ මානසික තත්වය සම්පූර්ණයෙන් නරක අතට හැරෙනවා. ඔහු රෝගියෙක් බවට පත්වෙනවා.
රේගාර් ටාගේරියන් නිසා වෙස්ටරෝස් වෙනස ඇරඹීම
AL 279
දෙවන ඒරිස් රජු හා කිරුළ හිමි ඔහුගේ පුතා වුණු රේගාර් ටාගේරියන් විසින් සටන් තරඟාවලියකට සහභාගි වෙනවා. හැරෙන්හෙල් හී පැවති මේ තරඟය ඉතා සුවිශේෂි එකක්. දවස් කිහිපයක් පැවැත්වෙන මෙම තරඟයේ හොලන් රීඩ් ට සිදුවන අසාධාරණ පරාජය උදෙසා එයට සාධාරණයක් කරන්න නිර්නාමික නයිට්වරයෙක් සහභාගි වූ බව කියවෙනවා. ඔහුට ඉතා සුකුමාල ශරීරයක් තිබූ නිසාත්, ඉතා අසාමාන්‍ය ශක්තිමත් සටන් ශක්තියක් තිබූ නිසාත් ඒ කවුද කියලා හොයන්න හැමෝම වෙහෙසනවා. ඒ නයිට් වරයාට නිර්නාමිකව පලා යන්නට ඉඩ හදලා දෙන්නෙ රේගාර් ටාගේරියන් හා ඔහුගෙ හොඳම මිත්‍රයා වුණ ආතර් ඩේන්. මේ යකඩ සන්නාහයෙන් වැසී හිටියෙ, කාන්තාවක් බව රේගාර් දැන ගන්නවා. ඒ තමයි ලියානා ස්ටාර්ක්. ඉතිං රේගාර් එතැන් සිට ඇයට ප්‍රේම කරනවා. මේ කරුණ රේගාර් සඟවා තබා ගන්නවා.
අවසාන දින විජයග්‍රහණ තරඟයේ බැරිස්ටන් සෙල්මි හා රේගාර් අතර ද්වන්ධ සටින්න් ජයග්‍රහණය කරන රේගාර් ටාගේරියන් තමන්ගෙ බිරිඳ වෙනුවට ස්ටාර්ක් පවුලේ එකම දියණිය වූ තමා ප්‍රේම කරන ලියානා ස්ටාර්ක්ව ආදරයේ හා ලස්සනේ රැජින විදියට නම් කරනවා. එනිසා සියලු දේවල් වෙනස් වුණ බව දැන් වෙස්ටරෝස් ගැන කියවන අපි දන්නවා.
ඒ වගේම මේ තරඟයෙන් පස්සෙ ජේමි ලැනිස්ටර් ගේ දස්කම් දකින පිස්සු රජතුමා විසින් ඔහුව රාජ්‍ය ආරක්ෂක අංශයට බඳවගන්නවා. මේකට ජේමි ඉතාම ආඩම්බර වුණත් ටයිවින් ලැනිස්ටර් හොඳටම උරණ වෙනවා. ඒකට හේතුව තමා කිංග්ස්ගාඩ් ආරක්ෂකයෙක්ට පවුලක් නඩත්තු කරන්න බැරි වීම. ටයිවින්ට තම නාමය ගෙනියන්න දරුවෙක් විදිහට ඉතුරුවෙන්නෙ ටිරියන් ලැනිස්ටර් පමණක් වීම නිසා ටයිවින් ඉතාම තරහ ගන්නවා. දෙවැනි ඒරිස් මෙය කළේ එක්තරා සිතිවිල්ලක් තියාගෙනයි. ඔහු නිතරම ටයිවින්ට බයෙන් හිටියෙ.
යම් දවසක ටයිවින් කැරැල්ලක් ඇරඹුවොත් තමන් ළඟ ප්‍රාණ ඇපකාරයෙක් ලෙස ජේමි සිටීම ගැන ඔහු සතුටු වුණා. මෙයින් ඉතාම තරහට පත් ටයිවින් දෙවැනි ඒරිස්ගෙ තනතුරට පයින් ගහලා කාසලි රොක් වෙත නැවත පැමිණියා.
AL 280
මේ කාලයෙ එක් වරම රේගාර් ටාගේරියන් විසින් ලියානා ස්ටාර්ක් පැහැරගෙන ගිය බවට ආරංචි වෙනවා. මේ අවස්ථාව වන විට කැටලින් ටලි ව විවාහ කරගන්න බ්‍රැන්ඩන් ස්ටාර්ක් සහ ස්ටාර්ක් පවුල රිවරන් කලාපයට යමින් සිටින වෙලාවක්. මේ සිද්ධිය හිතා ගන්න බැරි වෙන නිසා බ්‍රැන්ඩන් ස්ටාර්ක් හා රිකාර්ඩ් ස්ටාර්ක් තීරණය කරනවා මේ පිළිබඳ සාධාරණයක් ඉල්ලා සිටින්නට දෙවනි ඒරිස්ව හමුවෙන්න. මේ කාලය වන විටත් රොබට් බ්‍රැතියන්ට ලියානා ස්ටාර්ක් විවාහ පොරොන්දු ලබා දීලායි තියෙන්නෙ. සාදාරණය ඉල්ලන්න ගිය බ්‍රැන්ඩන් සහ රිකාඩ් ව දෙවන ඒරිස් රජු මරා දමනවා. ඉතාම තිරිසන් විදිහට.
ටාගේරියන් රාජ්‍යත්වයට එරෙහිව ගිය රොබට් බ්‍රැතියන්
AL 280 -281
අසාධාරණය මෙන්ම තම පෙම්වතියගේ ගෞරවය ගැන සිතූ රොබට් බ්‍රැතියන් ටාගේරියන් රාජ්‍යයට එරෙහිව කැරැල්ලක් දියත් කරනවා. මේ සඳහා තම නැගණිය වෙනුවෙන් නෙඩ් ස්ටාර්ක් ද පෙරමුණ ගන්නවා. බ්‍රැන්ඩන් ස්ටාර්ක් ගේ මරණයෙන් හිස් වූ කැටලින් ටලී ගේ විවාහය නෙඩ් තමා වෙනුවෙන් කරගන්නවා. ඒ වගේම ලයිසා ටලී නම් කැටලින් ගේ සොයුරිය ජෝන් ඇරන් විසින් විවාහ කරගෙන ඒ මහා සංග්‍රාමය සඳහා කලාප තුනක් එකතු කරනවා.
ඉතින් රජුට පක්ෂපාත වංශ සමඟ සටන් කරමින් ඉදිරියට එමින් සිටින රොබට් ගේ පාර්ශවයට හෝ තමන් මෙතෙක් උදව් කළ දෙවැනි ඒරිස් රජුට හෝ සහය නොදෙන ලැනිස්ටර් වංශය මේ සටනේ කිසිඳු පාර්ශවයක් නොගෙන කාස්ලිරොක් වලටම වී බලා සිටිනවා.
මේ අතර රේගාර් ටාගේරියන් කුමාරයා තමන් විසින්ම සටනට අවතීර්ණ වෙනවා. මේ වන විට දරුණුවට මානසිකව ව්‍යාධියට පත් වූ දෙවන ඒරිස්, තම පාලනයට තමන්ගෙ පුතත් විරුද්ධයි කියලා සිතාගෙන ඉතා මෝඩ ක්‍රියා කරමින් සිටින්නෙ.
එහෙත් රේගාර් සහ රොබට් අතර සටනේදි රේගාර් පරාජයට පත් වෙනවා. එය වුණ ආකාරය ගැන නිවැරදි චිත්‍රයක් සටනේදි කිසිවෙක් දන්නෙ නැතත්, රේගාර් ටාගේරියන් යනු ඉතාම දක්ෂයෙක් බවයි හැමෝම කියන්නෙ. ඔහුගෙ සන්නාහයේ තිබූ සියලු පද්මරාග මැණික් විසිරී ඉවුරේ වැටුණු බවත් කියවෙනවාත එනිසා අද එම ස්ථානය Ruby fort ලෙස හඳුන්වනවා. ඔහු මිය යන මොහොතෙ කාන්තාවකගෙ නම මිමිණු බවත් සඳහන් වෙනවා. ඒ ලියානා ගෙ නම කියලා විශ්වාස කෙරෙනවා.
රේගාර්ව මරා දමන්න තවත් උදව්වක් වෙන්නෙ, ඔහුගෙ කින්ග්ස් ගාර්ඩ් එකේ ඉතාම සමීප අති දක්ෂම සගයා වන ආතර් ඩේන් සහ තවත් දෙදෙනෙක් ඔහු සමඟ නොසිටීම කියලා කියවෙනවා. කොහොම හරි රේගාර්ගෙ මරණයෙන් අනතුරුව ළඟ එන රොබට්ගේ හමුදාවලින් පරාජය නියත බව දැනගන්න දෙවන ඒරිස් ටාගේරියන් තමන්ගෙ බිරිඳ රේහ්ලා සහ රාජ්‍ය යේ ඊළඟ උරුම කරු බව ඔහු විසින් විශ්වාස කළ දෙවන පුතා වන විසේරිස් ව නගරයෙන් පිටතට යවනවා
දෙවනි ඒරිස් ටාගේරියන් විසින් රොබට් කිංග්ස් ලෑන්ඩින් වලට ඇතුළු වූ විට නගරය පටින්ම පුළුස්සා විනාශ කර දැමීමට නගරයේ තැන් තැන් වල වයිල්ඩ්ෆයර් නම් තෙල් ද්‍රව්‍යක් සඟවා තියන්නෙ මේ අවස්ථාවෙ. මෙන්න මේ මොහොතේ මෙච්චර කල් රජුගේ උදව්වට නොපැමිණි ටයිවින් ලැනිස්ටර් නගරය ආසන්නයට පැමිණිලා නගරයේ ද්වාර විවෘත කරලා ඔවුන්ව ඇතුළට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
නමුත් ඇතුළට ගත්ත තැන සිට ඔහු රජුගේ ආරක්ෂකයන්ට පහර දෙන්න ගන්නවා. ඉන්පස්සෙ අවසානෙ ජය රොබට් බ්‍රැතියන්ට බව පවතින දෙයින් තහවුරු කරගත් ලැන්ස්ටර් වරු රොබට් ගෙ හිත ගන්න රේගාර් ටාගේරියන්ගෙ විවාහක බිරිඳ ලෙස රටම දැන සිටි, ඩොර්න් කුමරියක් වන ඒලියා මාටෙල් ව දූෂණය කරලා රේගාර්ගෙ දරුවො දෙන්නත් එක්කම පුළුස්සා මරා දමනවා. ඒක කළේ මවුන්ට් කියලා හැමෝම දන්නවා.
මේ සියල්ල දැනගන්න දෙවනි ඒරිස් ජේමිට තමන්ගෙ පියාවූ ටයිවින් ලැන්ස්ටර්ගේ හිස රැගෙන එන ලෙස නියෝග කරනවා. මේ නියෝගයට වගේම දෙවනි ඒරිස් විසින් මුළු නගරය විනාශ කරන්න යන බව දැනගෙන්න ඉන්න ජේමි ලැනිස්ටර් දෙවැනි ඒරිස් ව පිටුපසින් පැන කොටා මරා දමනවා.. එතැන් පටන් ඔහුට රජුන් නසන්නා යන නාමය ජේමි ලැනිස්ටර්ට පට බැඳෙනවා.
ඒ වගේම ජේමි දෙවන ඒරිස්ව මරලා සිංහාසනය මත ඉඳගෙන උන්න කියලත් ඒ කාලෙ සිටම කතාවක කියවෙනවා. කෙසේ වෙවත්, ටාගේරියන් ලේ උරුමය තියෙන දරුවන් දෙදෙනෙක් බේරෙනවා. ඒ දෙවැනි ඒරිස් ගෙ දෙවැනි පුතා සහ දියණිය වන විසේරිස් ටාගේරියන් සහ ඩැනේරිස් ටාගේරියන්. ඩැනේරිස්ගෙ උපතින් රේහ්ලා මිය යන නිසා කුඩා දරුවන් දෙදෙනා ටාගේරියන් අනුගාමිකයන් විසින් ඒසෝස් මහද්වීපයට රැගෙන යනවා.
මේ අතර රේගාර් මරා දැමීමෙන් පස්සෙ රොබට් බ්‍රැතියන් විසින් ලියානා ස්ටාර්ක් සිටි තැන සොයා ගැනීමෙන් පසු, ඈ රැගෙන එන්නට නෙඩ් ස්ටාර්ක් හා හොලන් රීඩ් ඇතුළු කණ්ඩායමක් යවනවා. එහිදි ආතර් ඩේන් හා කින්ග්ස් ගාර්ඩ් එකේ අනෙක් සෙබලු පරාද කරන නෙඩ් ජයග්‍රහණය කළත්, සොයුරියව ජීවමානව ගේන්න ලැබෙන්නෙ නෑ. ඒ ගැන රොබට් ඉතාම වේදනාවට පත් වෙනවා. අවසානයේ නැඟණියගෙ මෘත දේහයත් සමඟ, යුද්ධ කාලයේ වූ සම්බන්ධයකින් තමන්ට ලැබුණු අවජාතක දරුවෙකුත් සමඟ ඔහු වින්ටර්ෆෙල් බලා යනවා. තම සැමියා වෙනත් කාන්තාවකගේ දරුවෙකුත් සමඟ වින්ටර්ෆෙල් බලා පැමිණි බව ආරංචි වන කැටලින් ටලී, ටික කලක් එහි යාම ප්‍රතික්ෂේප කළත් අවසානයේ තමාට ලැබී සිටි සුජාත පුතා වන රොබ් ස්ටාර්ක් සමඟින් රිවරන් කලාපයේ සිට වින්ටර්ෆෙල් දක්වා පිටත් වෙනවා. පස්සෙ සිදු වූ වරදට සමාව දීලා නෙඩ් සමඟ සමඟි වෙනවා. එහෙත් අවජාතක දරුවා තම දරුවෙක් ලෙස පිළිගන්න ඇය ඉඩ ලබාදෙන්නෙ නෑ.
මේ අතර ලියානා ස්ටාර්ක් නැති කමින් වේදනාවට පත් රොබට් බ්‍රැතියන් ට සර්සි ලැනිස්ටර් විවාහ කරගන්නා ලෙස ටයිවින් ලැනිස්ටර් විසින් බලපෑම් කෙරෙනවා. ඔහුගේ මුදල් රාජ්‍යත්වයට වටිනා නිසා රොබට් විසින් එයට එකඟ වෙනවා. ඒ අතරෙ තමන්ගේ හා නෙඩ්ගේ ගුරුවරයා ලෙස සිටි, දැනට සිය පරම්පරාවෙ ඉතිරි වූ එකම විශ්වාසවන්ත වැඩිහිටියා වන ජොන් ඇරන් ව ඔහු තම රාජ්‍ය සහයක තනතුරේ පිහිටුවනවා.
කොහොම වුණත් පළමුවැනි එගොන්ගෙන් බිඳී නව වංශයක් ලෙස ස්ට්‍රෝම්ලෑන්ඩ් හී පදිංචි වූ මුල් යුගයේ ටාගේරියන් වරුන්ගේම අවජාතකයන් වී සිට පසුව තමන්ගේම වංශයක් නිර්මාණය කළ බ්‍රැතියන් වංශය මේ විදිහට සත් රාජධානියේ රාජ්‍ය තමන් අතට ගන්නවා.
ඉන් වසර දහ හතකට පසු යුගය
රොබට් රජු සර්සි ලැනිස්ටර් විවාහ කරගෙන දරුවන් තිදෙනෙක් ලබනවා. එහෙත් සල්ලාලයෙක් වූ ඔහු දරුවන් හැබෑවටම තමන්ගේ නොවන බව දැන සිටින්නේ නෑ. ඒ දරුවන්ගේ සැබෑ පියා වන්නේ සර්සි ලැනිස්ටර්ගෙ සොයුරු ජේමි ලැනිස්ටර්.
AL 289-
අයන් දූපත් වල එවක නායකත්වය දැරූ බේලන් ග්‍රේජෝයි විසින් කැරැල්ලක් ආරම්භ කරනවා. මේ කැරැල්ල රොබට් බ්‍රැතියන් හා නෙඩ් ස්ටාර්ක් විසින් මර්දනය කරනවා. එහිදී බේලන් ග්‍රේජෝයිගේ වැඩිමහල් පුතුන් දෙදෙනා මිය යනවා. කුඩා පුතා වුණු තියෝන් ග්‍රේජෝයි නෙඩ් ස්ටාර්ක් ළඟ ප්‍රාණ ඇපකරුවෙක් වෙන පොරොන්දුව පිට ආපහු බේලන් හට අයන් දූපත් පාලනය භාර දෙනවා.
AL 297-
එසොස් වල පෙන්ටොස් වල ප්‍රභූවරයෙක් වූ ඉලීරියෝ මොපාටිස් විසින් පිස්සු රජු ගේ ඉතුරු වෙච්ච ළමයි දෙන්න වෙන ඩැනේරිස් හා විසේරිස්ට තම මන්දිරයට ආරාධනා කරනවා නැවතත් කිරුළ දිනාගැනීමට උදව් දෙන්න.
මේ අතරෙ අද්භූත ලෙස හදිසි උණක් සෑදිම නිසා රජුගෙ ප්‍රධාන සහයක වූ ජෝන් ඇරන් මිය ගිය බව ආරංචි වෙනවා. එතැන් සිට අපි දකිනා වෙස්ටරෝස් හී මහා බල අරගලයක කතාව දිගහැරෙන්න පටන් ගන්නවා. එතනින් එහා වුණු හැම දෙයක්ම ටෙලි කතාව බලපු හැම කෙනෙක්ම වගේම, පොත කියවපු හැම කෙනෙක් මත් දන්නවා.
මේ ලිපිය ලියන්න ගොඩක් උපකාර ලැබුණා රොයිලි අයියාගෙ ඉතිහාස පරිවර්තන . ඒ වගේම World of Ice and Fire කෘතිය. ඒ වගේම නැවතත් සියලු මූලාශ්‍ර පරීක්ෂා කරලා අලුතින් ලියලා තහවුරු කරලා තියෙන නිසා මේ ඉතිහාස තොරතුරු වල නිරවද්‍යතාව තහවුරුයි කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒ වගේම හැම තොරතුරක්ම ටිකක් වැඩියෙන් පැහැදිළිව ලියන්න උත්සාහ කරලා තියෙනවා. දවස් දෙකක් ගියෙත් වැඩේ ටිකක් බැරෑරුම් නිසයි . තිසර වගේම චාමර සම්පත්දෙන්නා මේ සඳහා පින්තූර හදන්න වගේම මේ ලිපිය ඔයාලාට ගේන්න මහන්සි වෙනවා. තරිඳු අයියාගෙ අලුත් වීඩියෝ එක පිට වෙලා තියෙන නිසා ඒක බලලා සබ්ස්ක්‍රියිබ් කරන්න කියලාත් මතක් කරනවා. අර බෙල් එක වදින්න දා ගත්කා නං අපිට වගේ වීඩියෝ එක ආපු ගමං බලන්න පුළුවන් වෙයි. ඔය විස්තර තමයි දැනට තියෙන්නෙ.. තවත් ගැටලු තියේ නම් අපෙන් අහන්න. වැරදි තැනක් දැක්කොත් කියන්න.
හැමෝටම ස්තූතියි.
many thanks… now the story makes much sense.
පිස්සු කොරයි නොවැ මේ ලිපිය… පිං දීල මදි මේ වගේ විස්තර සහිත ලිපි දාන එකට… දිගටම කරමු…
ලොකු මහන්සියක් අරන් ලස්සන,වටින ලිපියක් අපිට දුන්නට ගොඩක් ස්තූතියි…ගොඩක් ආසාවෙන් කියෙව්වා..ගොඩක් නොදන්න දේවල් දැනගත්තා..තව අලුත් ලිපි එනකම් බලන් ඉන්නවා
නියමයි
Elama.
supiri post ekak….
thawa liyamu…………….
thank you so much…………..
නියමයි.ගොඩක් ස්තූතියි.. godaaaaaaaaaaaaaak thanks
elama
Aththatama meka kiyewwata passe thama game of thrones wala godaak nodanna dewal danagatte.akkata godaak thanx ekata.anith eka mata welawakata hithenawa akkata george r.r.martin ta wada me westeros gana dannawada kiyala.aththatama maara mahansiyak wela thiyenawa meka liyanna.mama nm kiyanne me wage ewwa hamoma share karanna ona.meka kiyawana ona kenek ta game of thrones gana maara knowledge 1k enawa.akka mekata kapa karana kaalaya apathe giye na kiyanna ona.mokada me article eka thama mechchara kaalekata mama dakala thiyena hodama article eka.maarai…superb.thawa danna dewal thiyenawa nm kiyanna hode.thank you akke me wage dewal apita kiyala denawata.
නියමයි.ගොඩක් ස්තූතියි
thank you. nodanna dewal godak dana gaththaa..prashna gadakata uththara hambuna..thankss
Thanx
Mama hitana vidiyata game of thrones saha lord of the rings samanai. E gana obe adahasa kumakda?
Super…. Thanks..
කතාවේ ගොඩාක් නොදන්න දේවල් මේකෙන් දැනගත්තා . බොහෝම ස්තූතියි.නියමයි
budu ammo kohomada me okkoma mathaka thiyan inne.
okkoma dewal dana gaththa
wow ‘ thanks dear
සුපිරියි
woooow. me article eka kiyewwata passe thamai GOT kathawa therenna gaththe . thanks neranji, mechchara watina deyak publish kalata.
Godak mahansi wenna athi..godak thankss..superb article..
lipiyata thanks akki
army eka gana vistharayak
නියමයි සිස්…. පිස්සු වැටිලා ඉන්න කතාවේ නොදන්න දේවල් ගොඩාක් මේකෙන් දැනගත්තා… අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වගේ ගොඩක් වටින ලිපියක් ලියුවට බොහෝම ස්තූතියි…
සුපිරි ලිපියක්… කියල වැඩක් නෑ….. බොහෝම ස්තූතියි…
As dekath ridenawa kiyolama ❤️
Supiriiiiiiii ❤️
mama dakapu supirima lipiyak thama meka.teledrama eka baluwata sahamahara place gana hari idea ekak thibune na.eth me article eka read karala iwara unama e okkoma dewal clear una..Thanks a lot sis..Jayen Jayama…!!!!!!!!!!!!
Thanks
Niyamay akke. Godak watinawa. Jayawewa!
wow 1st class……..
Ammooo mekanam niyamai man hithanne paya 2k wage kiyewwa himita naththan moleta yanna ne . danne nathi godak dewaL danagaththa . Me wage liypiyad dunna eka gana got team ekatai akkatai thanxx. aye parak kiyawanna one niyama lipiyak . Dnnam meka manakkalpitha lokayak kiyala viswala karanna amarui
හම්මේ හෙන දිග පෝස්ට් එකක්නෙ නියම වැඩක් අක්කෙ අවුල් කිහිපයක් තිබ්බ දැන් ඒවත් විසඳුනා තැන්ක්ස් පෝස්ට් එකට පොස්ට් එකනම් මල් හතයි
පට්ටයි අක්කි .අකුරක් නැර කියෙව්වා හොදේ. නියමයි තවත් එකකින් හමු වෙමු.
Supiri