සිනමාවේ මුල් ලකුණක් සිනමාවට…
“The Horse in Motion (1878)” by Eadward Muybridge
සිනමාවෙ’හි ක්‍රියාකාරීත්වය ඇති වන්නේ මිනිස් ඇසේ ආවේණික ලක්ෂණයක් පදනම් කරගනිමින්. ඒ ලක්ෂණය තමයි ඇසට පෙනෙන යම් දසුනක්, තවත් එක් ක්ෂණයක කාලයක් ඇස හා සම්බන්ධ මතකයේ රැඳී පවතින බව. එනිසාවෙන් තමයි අධිවේගීව ධාවනය වන, නිශ්චල රූප පෙළක් එකම චංචල රූපාවලියක් ලෙසින් අපට දිස්වන්නේ. එම රූප අතර පවතින තත්පරයෙන් පංගුවක් වන පරතරය අපේ ඇසට වටහා ගැනීමේ නොහැකියාවක් නොතිබෙන්නට; සිනමාව යනු සැබෑ නොවන සිහිනයක්.
සිනමාවට පදනම සපයන අනික් කාරණේ තමයි අසුරු සැණින් රූපයක් ග්‍රහණය කරගැනීමේ හැකියාව. මෙලෙස ග්‍රහණය කරගන්නා රූප නිශ්චල රූප වුවත්, යම් නිශ්චිත ප්‍රමිතිගත වේගයකින් එය ප්‍රක්ෂේපණය කරනා විට අපට දිස්වනුයේ සජීවී සිදුවීමක් වශයෙනුයි. සත්‍ය වශයෙන්ම බැලුවහොත් සිනමාවෙහි’දී ප්‍රයෝජනයට ගනු ලබන්නේ මිනිස් ඇසෙහි පවත්නා ගුණයක් වුවත් සිනමාව නමැති තාක්ෂණික ක්‍රියාවලිය සඳහා එකම පදනම වන්නේ, මෙන්න මේ අධිවේගී රූපග්‍රහණ හැකියාවයි.
Eadweard Muybridge
ලෝකයේ මුල්ම වතාවට මේ කටයුත්ත ප්‍රායෝගිකව කළ හැක්කක් බව ඔප්පු කර පෙන්වන්නේ Eadweard Muybridge නමැති, තුරුණු වියේදී ඇමෙරිකාවට සංක්‍රමණය වූ බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූපශිල්පියා විසින්. 1872 වසරේදී කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාරවරයා සහ රේස් අශ්වයින් හිමිකරුවෙකු වූ; ලේලන්ඩ් ස්ටැන්ෆෝඩ් අශ්වයෙකුගේ ධාවනය හා සම්බන්ධ දැඩි වාදයක පැටළුණා. ඒ තාක්කල් චලනයේ සියුම් අවස්ථා ග්‍රහණය කර ගැනීමේ ක්‍රමවේදයක් පැවතුණේ නැති නිසා, අශ්වයෙකු දිව යන විට සතර පයම පොළවේ නොගැටෙන කිසිදු අවස්ථාවක් එළඹෙන බව කිසිවෙකුත් පිළිගත්තේ නෑ. ලේලන්ඩ් ගත්තේ මීට ප්‍රතිවිරුද්ධ පක්ෂය. එනිසා ඔහුට අවැසි වුණා මේ බව විද්‍යානුකූලව සනාථ කර පෙන්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ මේබ්‍රිජ්ව. අශ්වයෙකු දිව යන විට එම දිවුමේ විවිධ අවස්ථාවන් ග්‍රහණය කර ගත හැකිවෙන අයුරින් මේබ්‍රිජ් නිශ්චල කැමරා 24ක් අඟල් 27ක පරතරයක් සහිතව ඇටවූවා. අශ්වයා දිවෙන පථයට සමාන්තර ලෙස ස්ථාපිත කළ මෙම කැමරාවන් ක්‍රියාත්මක වන්නට සැලැස්වුවේ දිව යන අශ්වයාගේ පාදයට හසුවන පරිදි අදින ලද නූලක් ආධාරයෙන්. එලෙස සෙව්රූ ග්‍රහණය කර ගනිමින් අශ්වයාගේ සතර පයම යම් මොහොතක ගුවනේ රැඳෙන බව ඔහු සනාථ කර පෙන්වූවා. පසුකාලීනව මෙය චිත්‍රපටයක් ලෙසින් එළිදුටුවා. පිටුවේ ඉහළින්ම දක්වා තිබෙන්නේ 1878 දී එළි දැක්වූ ඒ හා සම්බන්ධ රූපයකුයි.
චලන රූප ග්‍රහනය කර ගැනීම ගැන සිදුවූ ප්‍රථම සාර්ථක පර්යේෂණය වශයෙන් හැඳින්විය හැකි මෙය තත්පරයෙන් 1/ 1000 ක් තුළ සිදු වන චලනයක් ග්‍රහණය කරගත් ප්‍රථම අවස්ථාව ලෙස සනිටුහන් වෙනවා. මේ පර්යේෂණය හෝ එහි සාර්ථක බව නොවන්නට අද අප දකින සිනමාව හුදු හිතළුවක් පමණයි. ඔය ඉහතින් දැක්වෙන්නේ මේබ්‍රිජ් එදා ගත් ඡායාරූප යොදාගෙන 2006 වසරේදී සජීවීකරණය කළ රූපයක්. සිනමාවේ මූලික සුදුසුකමක් සපුරාලීම සම්බන්ධයෙන් නිසැක පෙරනිමිත්තක් සැපයූ මෙය, සිනමාවේ ආරම්බයට මග හෙළි කළ එක් සුවිශේෂී සන්ධිස්ථානයක් බව ඔබටත් දැන් වැටහෙන්නට ඇති.
හරි මම මේ මේබ්‍රිජ් ගැන මෙතරම් විස්තර කිව්වේ ඇයි කියන එක ඔබට ඇහැදිලි ඇති මේ වන විට. ඔහුගේ ජීවන කතාව සිනමාවට නගන්නට සූදානමක් පවහ්ටින බව ඔන්න හෙළි වෙලා. ඉහත විස්තරයත් මෙහි මාතෘකාවත් මම එලෙස අඩංගු කළේ ඇයිදැයි දැන් වැටහෙන්නට ඇති.
Gary Oldman
මේ කාර්යය සඳහා මුලපුරන්නේ අති දක්ෂ චරිතාංග නළුවෙකු වන Gary Oldman. පුදුමාකාර එකිනෙකට වෙනස් චරිත මැවීමේ හැකියාවෙන් පිරිපුන් ඔහු, සිය දෙවන අධ්‍යක්ෂණ කර්තව්‍යය වශයෙන් මේ කෙරෙහි සිත යොදවා ඇති බව දැනගන්නට ලැබෙනවා. 1997 වසරේදී Nil By Mouth නමින් බ්‍රිතාන්‍ය සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ ඔහු මෙවර සැරසෙන්නේ තම සිනමා දිවියේ තවත් ඉදිරි පියවරක් තබන්නටයි.
Flying Horse යනුවෙන් නම් කර ඇති මේ චිත්‍රපටිය අයත් වන්නේ චරිත කතා ඛාණ්ඩයට. මේ සඳහා සිය නිර්මාණ සගයන් දෙදෙනෙකු දැනටමත් ඔහු තෝරාගෙන අවසන්. ඒ Harry Potter‘හි එක්ව රඟ පෑ Ralph Fiennes (Lord Voldermote) කථානායකයා වන Eadweard Muybridge වශයෙනුත්; TInker Tailor Soldier Spy‘හි එක්ව රඟ පෑ Benedict Cumberbatch ඔහු අතින් මැරුම් කෑ, බිරිඳගේ සොර සැමියා වන Harry Larkyns නම් නාට්‍ය විචාරකයා වශයෙනුත් ලෙසයි සදහන් වන්නේ.
Ralph Fiennes
ගැරී ඕල්ඩ්මන් විසින්ම තිරපිටපත ලියා ඇති මෙම චිත්‍රපටය ගැන තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. තිබෙන ආරංචි වලට අනුව ඉහත කී නළු දෙපළම මේ සඳහ එක්වනු ඇතැයි සඳහන්. ඒ අනුව 2014 වසරේ මුල් කාර්තුව තුළ මෙහි රූගත කිරීම් ඇරඹෙනු ඇති බවයි දැනගන්නට ඇත්තේ.
Benedict Cumberbatch
ගැරී ඕල්ඩ්මන් එතරම් කැමරාව පසුපස හිඳ මෙහෙයවීම් ගැන අත්දැකීම් නොමැත්තෙකු වුවත්, මෙම කතාව ගොඩනැංවීමට අවශ්‍ය තරම් රසාලිප්ත විස්තර ඇති බවයි කියැවෙන්නේ. මේබ්‍රිජ් නමැති පර්යේෂකයාගේ ජීවිතයේ අපවාදයන්ට සහ අපකීර්තීන්ට මුහුණ දුන් සමයක් මේ හරහා තිරයට නැගෙනු ඇතැයි සඳහන්.
මෙහිදී ගැරී ඕල්ඩ්මන් මේබ්‍රිජ් හට චෝදනා ගොනු කළ දිස්ත්‍රික් චෝදකවරයා වන Dennis Spencer ලෙසින් රංගනයෙන් එක් වන්නට ඉඩ ඇති බවත් සඳහන්.ඒ හැරුණුකොට, ඉදිරියේදී Robocop සිනමා ප්‍රතිනිර්මාණයෙනුත් Dawn of thePlanet of the Apes චිත්‍රපටයෙනුත් ගැරී ඕල්ඩ්මන් දැකගත හැකි වේවි.
patta uda
ගොඩාක් වැදගත් කරුණු ටිකක් දැනගත්තා..ස්තූතියි post එකට!!