ටීවී කතා මාලාදැනුමටපුවත්වගතුගවිචාරසියල්ල

Season 08 Episode 06 Hard Review

අවසානය නැරඹීමට, හැකියාව නොලැබුණි නම් මෙය නොකියවා සිටින්න.


වසර නවයක් පුරා රසවිඳි, කතා මාලාවක් නිමා වෙනවා. අධිකව සංක්ෂිප්ත කිරීමට යාමෙන් හා පරිමාවල් නිවැරදිව පෙන්වීමට අසමත් වීමෙන් වූ දෝෂ කිහිපයක් හැරෙන්නට, මේ නිර්මාණය එතෙක් මෙතෙක් ලොව දැනට බිහි වී ඇති, හොඳ ම ටෙලි කතා මාලා දහය තුළ අසුනක තැබිය හැකියි. එවැනි නිර්මාණයක අවසානය ප්‍රථම වරට ගුවනට මුදා හැරෙන මොහොතේ එය නරඹමින් සාක්ෂි දැරූ ඔබ සියලු දෙනා, ලෝක ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ ඉතිහාසයේ වටිනා ප්‍රාණීන් වී අවසන්. නිර්මාණයකට ඉන්න වැදගත්ම පිරිස, නිර්මාණයක රසිකයන්. ඔවුන් විසිනුයි නිර්මාණය ඉහළට ඔසවා තබන්නේ.. පහතට දමන්නේ.. පාගා දමන්නේ.. තව දුරටත් ඒ වෘතාන්තය D&D හෝ HBO හෝ සතු නැත. නිර්මාණය ඔබෙයි. සුවහසක් ඔබ එම නිර්මාණය ඔබේ හදවතේ තබන තැන ඒ නිර්මාණය සතු එකම වටිනාකමයි.

අද කතාව, රූප රාමුවක් රූප රාමුවක් ගානෙ, පහදන්න ඕනෙ නෑ. මේ කතාවෙ කවුරුවත්ම නිවැරදි නෑ. හැබැයි වැරදිත් නෑ. වැරැද්ද නිවැරැද්ද මිනිස්සු බලන්නෙ තමන්ගෙ ඇහෙන්. ටිරියන්ට තමන්ගේ සොයුරා ඇතුළු මිනිස්සු මිය යාම වැරදියි. ඒත්, ලැනිස්ටර් වරුන්ට ජය පතපු එකෙක් වත් ජීවත් වෙන්න ඩැනේරිස් ට ඕනෙ නෑ. ජොන් ට ජන සංහාරය වේදනාවක්. ඒත් තමන්ගෙ පෙම්වතියගෙ මරණයට මුළු මහත් නුවරම වග කිව යුතු බව ග්‍රේ වෝර්ම් හිතනවා. එහෙම එක එක පුද්ගලයාට එකම සිදුවීම එක එක විදිහට බලපානවා. දැනෙනවා.

මේ කතාවේ ප්‍රබලම සන්ධිස්ථානය ජොන් හා ආර්‍යා මුණ ගැසීම. ජොන්ට වටිනාම දේ තමන්ගෙ සොයුරියන්. ඔවුන් තමන්ගෙ නෑනලා බව ඔහුට දැනෙන්නෙ නෑ. තමන්ගෙ සොයුරියන්ගෙ අනාරක්ෂිත බව තමයි, ජොන් විසින් ඩැනී ව මරා දමන තැනට අරන් යන්න ටිරියන්ට පහසු කළේ. වෙස්ටරෝස් ජන සංහාරය ජොන් ට විශාල කලකිරීමක් වුවත්, එය ඩැනීව නසන්නට ජොන්ට හේතුවක් වුණේ නෑ. ඒත් සන්සාගෙ ආරක්ෂාව ගැන ජොන් ට ගැටළුවක් මතු වෙනවා. ආර්‍යා කෙසේ හෝ ආරක්ෂා වේවි. එහෙත් පිහියෙ අනින කෙළවරවත් නොදන්න සන්සා , ඩැනී හමුවේ කෙසේ රැකෙන්නද? ඩැනීගෙ බල වියරුවත් එක්ක ඇගේ ගමන බොහොම දුරයි. ඒත් ඒ දුරේ තරමටම ඒ ගමන අවිනිශ්චිතයි. ජොන් ඩැනී ව මරණ තැනට එය නිතැතින්ම පත් කරනවා.

ඩැනීගෙ මරණය වේදනාබරයි. ඈ ගෙ මුළු ජීවිතයම ඈ එකම අරමුණකින් වෙහෙස වුණේ යකඩ සිහසුන දිනන්න. එක් වරක් එහි ඉඳගන්නත් ප්‍රථම ඇයට එය අහිමි වුණා. හවුස් ඔෆ් අන්ඩයිං හී දුටු දර්ශනය ඔබට මතක නම්, අලු වැටුණු සිහසුනට ඈ අත තබද්දී.. මකරෙකුගේ කෑ ගැසීමෙන්, ඈ නොදන්නා උතුරුට ඇතුළු වෙනවා. එහිදී ඈට කාල් ඩ්‍රෝගෝ මුණ ගැසෙනවා. ටෙලි නාට්‍යයේ පෙන්නුවේ එපමණයි. ඉතින් කෑ ගැසු මකර හඬ ජොන් ගෙ. ජොන් ගෙ හඬින් ඈ වැළඳ ගත්තෙ මරණය. අඳුරු බිමේ දී ඈ කාල් ඩ්‍රෝගෝ හා නූපන් පුතු සොයා ගනීවි.

ඇගේ මිනිය ඉව කළ ඩ්‍රොගෝන් එය සිදු වූ හැටි දැනගන්නවා. ටාගේරියන් වරයෙක් මරන්න ඩ්‍රොගොන් ට හයියක් නෑ. සිද්ධ වුණ දේ නිවැරදි බව හෝ වැරදි බව පිළිගන්න තරම් දැනුමක් ඔහුට නෑ.. තමන්ගේ මව මිය ගිය වේදනාව දරන්නට ඔහු ගින්දර පිට කළා.. ඒ ගින්දර විසින් යකඩ සිහසුන දිය කළා. බිහිසුණු බැලේරියන් පළමු එගොන් ටාගේරියන් ඉදිරිපිට හැදූ යකඩ සිහසුන , ලොව අවසාන බිහිසුණු මකරා වූ ඩ්‍රොගොන් විසින් , අවසන් ටාගෙරියන් වරයා ඉදිරියේ, අවසන් එගොන් ටාගේරියන් ඉදිරියේ දිය කර හැරියා..

කවුන්සලය ඉදිරියේ ටිරියන් විසින් බ්‍රැන් ව රජු ලෙස තෝරා ගැනීම, අනෙක් ඉතාම වැදගත් සිදු වීමයි. බ්‍රැන් තමා රජ වන බව පෙර සිටම දැන සිටියා. එය බ්‍රැන් ගෙ වචන වලින් හොඳින් දැනෙනවා. සන්සා උතුර වෙනම පාලනයක් ඉල්ලා සිටියා. ඈ බලාපොරොත්තු වුණේ, සැම විටම නිවහල් උතුරක්. ඈට එය ලැබුණා..

ජොන් කාසල් බ්ලැක් යැවීම නරක දෙයක් වුණත්, ඉන් එහා විසඳුමක් ඔවුන්ට තිබිලා නෑ.. සන්සා නෙඩ් වෙනුවෙන් බැරි වුණු ඉල්ලීම ජොන් වෙනුවෙන් දිනා ගෙන තිබ්බා.. හොඳම දේ අන්සලීඩ් භටයන් පිටව යාම. වෙස්ටරෝස් වේදනා බර වුණත්, අලුවැ ගියත් මහා යුද්ධයක් ඇති නොවෙන තරමට සාමකාමි වුණා. වෙස්ටරෝස් යළි ගොඩ නැගේවී..බ්‍රැන් නරක පාලකයෙක් වෙන එකක් නෑ.

සන්සා ට උතුර ලැබීමත් සමඟ ආර්‍යා යන්නෙ වෙස්ටරෝස් හී බටහිරට. වෙස්ටරෝස් හී නැගෙනහිර කොටස පමණයි දැනට සිතියම් ගතව තිබෙන්නෙ. බටහිර කොටසේ මොනවා ඇත්දැයි කිසිවෙක් දන්නෙ නෑ..ඉතින් ආර්‍යා යන්නේ නොදුටු දිසාවක් හොයන්.

සියලු නීති වලංගු වන්නේ මහා පවුරෙන් දකුණු පසටයි. පවුරෙන් එහා උතුර කාගෙවත් නීති නෑ. ජොන් නිදහසේ හිටියෙ, ආදරණීයව හිටියෙ ඒ උතුරෙ. ඉතින් ගෝෂ්ට් සහ ටෝමුන්ඩ් ප්‍රමුඛ තමන් දකුණට ගෙනා සියලු දෙනා එක්කම ජොන් නියම උතුර බලා යනවා. තව දුරටත් සදාකාලික ශීතය නෑ. දැන් ශාප නොලත් හරිත තුරු ඒ පොළවේ පැළවීම ඇරඹිලා. ක්‍රමයෙන් සදාකාලික ශිශිරය නිමාවී, ඒ පැති හරිත පැහැ වේවි. නියම පළමු මිනිසුන් සමඟ ජොන් ස්නොව් ගේ නායකත්වයෙන් දණ නොනමන රාජ්‍යක් බිහි වේවී. ජොන් පොරොන්දු දේශය හොයාගෙන යාවි, හරියට ඒබ්‍රහම් වගේ, මෝසෙස් වගේ..

බ්‍රැන් මේ සියල්ල වෙන තැනටයි , මුල සිට පාර හැදුවෙ.අන්තිමේ දකුණත් ස්ටාර්ක්, උතුරත් ස්ටාර්ක්, පවුරෙන් එහාත් ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් ( එගොන් ටාගේරියන් කියන නම, ඒ ආරංචිය රටේ කවුරුත්ම එහෙමට දැන ගත්තෙ නෑ.. ඒ මව් පිය උරුමය නිකන්ම පිහාටුවක් වෙලා පාවෙලා ගියා.) ආර්‍යා සොයාගන්නා බිම් ජනා වාස කළොත්, මුළු වෙස්ටරෝස් මහද්වීපයම ස්ටාර්ක් වරු.

ඇත්තටම ත්‍රී අයි රේවන් ට ඕනෙ කළේ, ඒකම වෙන්න ඕනෙ. වසර 8000කට කලින්, අලුතෙන් මිනිස්සු ඇවිත් පදිංචි වුණ, ආක්‍රමණය කළ, යුද්ධ කළ, බලයට පොර කෑ භූමිය නැවතත්, මුල් අයිතිකරු ගේ මතකයට භාර කරන්න. පැරණි දෙවියන් විශ්වාස කරන, මිනිසුන්ට භාර කරන්න.. ඉතින් එය අවසානයේ සිදු වුණා.. ස්ටාර්ක් වරු කියන්නෙ, පළමු මිනිස්සුන්ගෙ මෙන්ම චිල්ඩ්‍රන් ලා ගෙත් ලේ සංකලනය වුණු පරම්පරාවක්. ඉතිං ඔවුන් තමයි දැනට සිටින හොඳම මුල් උරුමක්කාරයන්..

ජේමි ලැනිස්ටර් ගෙ පිටු ගණන, ආතර් ඩේන්ගෙ පිටු ගණනට වඩා වැඩි වුණා. ඒ බ්‍රියැන් අතින්..ජේමි සටනකින් මිය නොගියත්, රැජිණක් රකිමින් මිය ගියා. ඒ ගෞරවය ලබන්න ලේසියෙන් කෙනෙක්ට බෑ.

ඒ වගේම හිතපු විදිහට ම ආයෙත් ගෝෂ්ට් සහ ජොන් එකතු වුණා. වැඩිම කල් ජීවත් වෙන්නෙ මගේ ඩයර් වුල්ෆ් කියලා, තියොන් ට අල්ලපු ඔට්ටුවක් ගැන පොතේ තියෙනවා.. ඒකෙ දිනුම පෙන්වන්න තියොන් දැන් නැතත්, ජොන් ට සතුටු ඇති. ඔහුට දුකක් තියෙනවා නම් ඒ, තමන් කරපු ආදර කතා දෙකම තමන්ගෙ දෑත් උඩ , තමන් නිසා පණ යන්න තරම් අවාසනාවන්ත වීමයි..ඒත් යීග්‍රට් තරම් ඩැනීට ජොන් ආදරේ කළේ නෑ කියලා හිතෙනවා …

සෑම් කොහොම හරි අවසානෙ, අනුන්ගෙ වීර කතාවක් නැතිව තමන් ඉන්න වීර කතාවක් ලියන්න හොයාගන්නවා. ඒ තමා The Song of Ice and Fire.

සිනමාව පැත්තෙන් ගත්තාම, බොහොම ලස්සන තැන් කිහිපයක් ම දැක්කා. ඩැනී මකරා පිටින් බැහැලා එන හැටි, ටිරියන් තමන්ගෙ සොයුරා සහ සොයුරිය ළඟ වැළපෙන හැටි, පිළිස්සී උමතුව ඉදිරියට එන මිනිසා, ජොන් ඩැනීද මරපු හැටි, ඩ්‍රෝගොන් සිංහාසනය දිය කළ හැටි, මේ සියල්ල සිනමාත්මකයි…කෙනෙක්ට ඇත්තටම හිතෙන්න පුළුවන් ඩැනීගෙ මරණය නිකං බොලිවුඩ් ෆිල්ම් එකක් වගේ බව. එච්චර හිතන්නෙපා ප්‍රේමණීය මරණ කොතනත් එක වගෙයි.

Game of Throne අපට කියන්න උත්සාහ කරන්නෙ, ලෝක යථාර්ථය ..ඒකයි අපිට ඒක බුදු දහම වගේ දැනෙන්නෙ. කර්මයේ රෝදය, වෛරය වෛරය තුළින් සංහිඳිය නොහෙන බව, ඥාණය ශක්තිමත්ම බලය බව මේ කතාව අපට නිහඬව කියාපානවා..

එහෙනම් මගේ විචාරත් මේ සමඟම නිමා වෙනවා. හුඟාක් අය ඒවා ඇගයුවා. ඒ වගේම අඩු පාඩු පෙන්නුවා. ඒ අයට බොහොම ස්තූතියි. සමහරු මගෙ විචාර හරි බරට උස්සන් ඉඳලා තියෙනවා කියලත් අද දැනගත්තා. ඉතින්, දැන් ඒක බිමින් තියන්න. මං මගේ තෘප්තිය ලබාගෙන ඉවරයි. ඔබත් ඔබේ තෘප්තිය සොයා ගන්න. තව ටීවී සීරිස් ආවොත්, ඒව ගැන හිතක් ඇති වුණොත්, ලියන්න උත්සාහ කරන්නම්.

Royly Fernando ස්තූතියි අයියෙ, ඔබගෙ උපසිරසි වලට, Tharindu Vishwanath ස්තූතියි ඔබගෙ ලස්සන වීඩියෝ කුප්පි වලට, Thisara Neo සහ බයිස්කෝප් මංසල ස්තූතියි..මේ ලිපියක් ගානෙ හැදුවාට. Pavithra Weerapperuma ස්තූතියි මට game of throne නම් කතා පුවතක් ඇති බව කිව්වාට. ඒක මගෙ හාර්ඩ් ඩිස්ක් එකට ගබඩා කළාට.

ස්තූතියි ඔබගෙ හැම spoiler එකකටම..Sha ඇතුළු ඇඩ්මින් මඬුල්ල හැමදාම කළ දිරි ගැන්වීම් වලට තුති. මා කියවූ ඔබ හැමට ස්තුතියි.

ඉතින් Akhila, අද හවස ඇවිත් මචං. උඹයි මායි මුණ ගැහුණු හැම වෙලේම රණ්ඩු වුණා. Game of Throne මත වලට. GOT ඉවර වෙන දවසෙ හවස, මගෙ ලිපි ඔක්කොම එක් කරලා කියවන්න උඹ පොරොන්දු වුණා. එතකල්, උඹ හිතන විදිහට බලපෑම් වෙනවට උඹ අකමැති වුණා. මචං, අද Game of Throne ඉවරයි. පුළුවන් නම් ඇවිත් Reviews ටික කියවලා පලයං..ලොකු අවුලක් නෑ. බැරි නම්.. අපි ආයෙ හම්බුණාම ඒක ගැන රණ්ඩු වෙමු. සමා වෙයං අන්තිම චැට් එක නොදැක රිප්ලයි නොකළාට.. Good Bye, Old Friend.

මං
නිනූ

මෙතෙක් මා සමඟ සිටි ඔබ සැමට ස්තූතියි.

Author

16 thoughts on “Season 08 Episode 06 Hard Review

  • Thanx…
    Denige deth eka thama GOT ratings adu kale… den IMDB vala 3 idala 6 pahu bahinna vela…
    seoson 8.. lost..

    Reply
  • බොහොම ස්තූතියි…
    සුපිරි රීවිව් ටික හැම එකක්ම කියෙව්ව❤

    Reply
  • Thanks good bye..
    ඩැනීරිස් මරනය තමයි කතාවෙ quality එක විනාශ කලේ.
    අනාගතයේ ඩැනීරිස්ට පන ඒවි කියල හිතෙනවා. ..

    Reply
  • බොහොම ස්තූති තුන්දෙනාටම

    Reply
  • patta akke maara asawen man oyage article kiyewwe.thanks.the long night kiyala spin off ekak enawalu neda

    Reply
  • attha habai… sansala branla ikkoma podi badan westeros bedagaththa.. methuwak wechcha hama satanakma harima de karapu sarwa sadarana una manussayata melo deyak na.. jon ta.. aduma tharame nama wath na.. e athin sansa bran ehema hari kuhakai

    Reply
  • Super sis.. thank you sooomuch…

    Reply
  • sthuthiyi akki me karapu uthum sewaya wenuwen

    Reply
  • thank you very much….
    read all your reviews over the years..
    so sad about jon at the end…

    Reply
  • Thank u very much
    great job.bye

    Reply
  • බොහොම ස්තූතියි අක්කේ මෙච්චර දවස් අපිට නොපෙනුන තැන් ආදිය වගේම ලස්සනට එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට රිවිව් කලාට. ඉතින් ඉස්සරහටත් අක්කගේ සියළු කටයුතු සර්වප්‍රාකාරෙන් සාර්ථක වෙන්න කියලා පතනව. ඒ වගේම ඉස්සරහට හොද කතාවක් ආවොත් ඒකටත් රිවිව් ලියන්න කියල ඉල්ලනවා. එහෙනම් ජය වේවා….!!!
    #Game_of_Throne
    #One_Last_Time
    #We_never_meet_Again
    #Thank_You_D&D
    #Thank_You_GRRM
    #Thank_You_HBO

    Reply
  • එක එක්කෙනාට අනුව තමන් හරි කියන මතය මම කොහොමත් බාර ගන්න එකක්…

    ඔයාට හිතෙන්නේ නැද්ද ජොන් ඩැනේරිස් ට අන්තිම අවස්ථාවක් දෙනවා කියලා???
    ඒක ගන්නේ නෑ ඩැනී…

    ඩැනී ලෝකයම ඇල්ලුවා නම් සමහර විට ඩාරියෝ නහාරිස් ගැනත් අහන්ට තිබුණා…

    ඔව්…
    ඩැනීගේ මරණය නම් වේදනාකාරියි තමයි…
    අඩු තරමේ ආසන්නයටම ගිය එකේ නිකමට හරි වාඩි වෙන්ට තිබ්බේ අප්පා…
    අපරාදේ…

    මකරා ඔක්කෝටම වඩා නුවණක්කාරයා…

    කාල පරිමා වල ගැටලුවක් ආපු තැනක් තමයි ඩැනීව මැරුවාට පස්සේ ජොන් ගැන කිසිම වගතුගක් නැතුව තිබිලා සති ගාණකට පස්සේ දර්ශනයක් වෙතට ගියපු තැන…
    මම හිතුවේ කලින් කතා කර ගෙන තිබුණු විදිහට වැඩක් වෙනවා ඒත් රැජිණ නැති බව එයාලා තවම දන්නේ නෑ වගේ දෙයක්…

    බ්‍රැන්ඩන් ගේ වචන වල වෙනස නම් අපිත් කතා වුණා…
    අනික් අවුල් තැන තමයි සන්සාට වෙනම පාලනයක් ඕනෑ කියන වෙලාවේ ඒකට ඉඩ ලැබුණු ගමන් අනික් අය වෙනම පාලනයකට ඉව අල්ලපු නැති එක…
    අඩු තරමේ ඩෝන් අයවත් ඉල්ලන්ට තිබුණා…

    ජොන් තියා ගන්න එකේ අවුල තිබුණේ වෝම් හිටිය එකයි…
    ඉතින් වෝම් එහෙම මිසැන්ඩේ ගේ දූපත් වලට ගිය නිසා ජොන් ව තියා ගන්ට වුණත් තිබුණා නේද???

    ආර්යා බටහිරිනුත් බටහිරට ගියපු නිසා සහ ජොන් උතුරෙනුත් උතුරට ගියපු නිසා මම හිතුවේ ආර්යා කැරකිලා නැගෙනහිරින් සහ ජොන් කැරකිලා දකුණෙන් මතු වෙලා ලෝකය ගෝලාකාර බව ඔප්පු වෙයි කියලා…

    ඒබ්‍රහම් මෝසස් ගැන දන්නේ නෑ අනේ…

    කොහොම හරි කමක් නෑ මුලු ලෝකයම ස්ටාර්ක් වුණානේ…
    අවංකවම බැලුවොත් එයාලා තමයි හොඳම කට්ටිය…
    සාධාරණම කට්ටිය…
    උරුමය වැඩිම කට්ටිය…

    ඒත් ජොන් තමයි අසාධාරණයටම ලක් වෙච්ච පොර…
    අඩු තරමේ අනික් කට්ටියට තිබුණා ජොන්ගේ උරුමය වත් ලෝකයට පෙන්වන්ට…
    අනික පිරිසිදු ස්ටාර්ක් කොටසක් තියෙන එකේ අවුලකුත් නෑනේ…

    ජේමි මැරුණ විදිහ අපරාදේ…
    ආර්යා සර්සිව මැරුවා නම් ජේමි ඉතුරු වෙන්ට තිබුණා…
    ආආආ…
    ජේමිගේ මරණය ගැන ලියපු එකේ තිබුණේ ජොෆ්‍රි මැරුවේ ටිරියන් කියලා…

    නයිමේරියා ගැන කිසිම දෙයක් සඳහන් නැති වුණා නෙව…

    ඩැනී මකරා පිටින් බැහැපු එක නම් පට්ටම තමයි…
    අනික් ඒවාගේත් අමුතු ආතල් එකක් තිබුණා…

    නිමා වෙනවා කියන්නේ ආයේ නෙරංජි කියන නම උඩ ඔබන එක මම නතර කරන්ට වෙනවා කියන එක වෙන්ට ඕනේ…

    එහෙම නම් ජය වේවා…

    Reply
  • රිවීව් එකට ස්තූතියි අක්කෙ…. ගොට් ඉවර උනාට දිගටම මොන මොනව හරි මේ වගේ වැදගත් රසවත් දේවල් ලියන්න කියල ආරාධනා කරනව 🙂
    ගොට් ගැන නොතේරුණ, නොදන්න ගොඩක් දේවල් පැහැදිලි උනේ අක්කගෙ ලිපි වලින්. අපි හිතුවෙවත් නැති, කතාව ඇතුලෙ හැංගිච්ච දේවල් දැනගත්තෙ අක්කගෙ ලිපි වලින්. පැටලුම් ලිහාගත්තෙ, ඉස්සරහට වෙන්න තියෙන දේවල් අනුමාන කරන්න පටන් ගත්තෙ මේ ලිපි වලින්. සබ් දෙන රොයිලි අයියයි, වීඩියෝ රිවීව් දෙන තරිඳු අයියයි, දිග ලිපි ලියල කතාව ලස්සනට පැහැදිලි කරන අක්කයි නැත්නම් මේ කතාව මෙච්චර රසවිඳින්න ලැබෙන් නෑ අපිට 😐 ඉතින් මෙච්චර කාලයක් දුන්න දැනුමට රසවින්දනයට බොහොම ස්තූතියි අක්කෙ… ආයෙමත් කියනව, නවත්තන්න එපා දිගටම මොන මොනව හරි ලියන්න… අපි බලන් ඉන්නෝ කියවන්න 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *