Diamonds Are Forever (1971) චිත්‍රපටයේ විශේෂතා
ඔන්න අර කිව්ව ඊගාව ලිපිය පටන් ගන්නයි යන්නේ දැන්… මේ ලිපිය මේ චිත්‍රපටයේ විශේෂතා වෙනුවෙන් වෙන් කරන්නයි අපේ සූදානම.
James Bond චිත්‍රපට නිල වශයෙන් නිර්මාණය කෙරුණේ EON Productions ආයතනය මගින්. ඒ අනුව 960 දශකයේ EON ලේබලයෙන් යුතුව පැමිණි චිත්‍රපට සංඛ්‍යාව 6ක් බව පෙර ලිපියෙන් අපි සිහිකළා. 970 දශකයට Bond පිවිසෙන්නේ 71 තැනුණු 7 වැනි චිත්‍රපටයත් සමගයි. Goldfinger (1964) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්, දෙවැනි Bond චිත්‍රපට අධ්‍යක්ෂකවරයා බවට පත් වුණ, Guy Hamilton මෙවර නැවතත් අධ්‍යක්ෂණයෙන් එක්වෙනවා. මේ ඔහුගේ දෙවැනි Bond චිත්‍රපට අධ්‍යක්ෂණය. මෙතැන් පටන් Bond චිත්‍රපට මාලාවේ නිල අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වෙනවා. නමුත් ඔහුගේ මුල්ම Bond අධ්‍යක්ෂණයට තරම් මේ දෙවැන්නට IMDb අගයක් හිමිවෙලා නෑ. මීට හිමි IMDb අගය 6.7 ක්.
මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Bond නිර්මාතෲ Ian Fleming විසින් 1956 වසරේදී මෙනමින්ම යුතුව ලියැවුණු කෘතිය. (මෙහි අඩංගු වන කතාව ගැන විස්තරයක් දැනකියාගෙනම, සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයත් බාගත කරගන්න දැන් ඔබට ඉඩ තිබෙනවා.)
1967 දී සිදු වූ, Sean Connery‘ගේ සමුගැනීමත් සමග නව Bond ලෙස 1969 වසරේ තැනුණු චිත්‍රපටයට එක්වුණේ George Lazenby. නමුත් ඔහු සහ නිෂ්පාදකයන් අතර ඇති වූ මතභේද හේතුවෙන් චිත්‍රපට 7ක් වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම ඉවත ලා Bond හට සමුදෙන්නට ඔහු කිසිවෙකු නොඅදහන ආකාරයේ දැඩි තීරණයක් ගත්තා. (කෙසේ වෙතත් අද වනවිට ඉතාමත් හොඳින්ම Bond නිරූපණය සිදු කළ නළුවෙකු සහ චිත්‍රපටයක් ලෙස එම චිත්‍රපටය සැලකෙනවා.) ඉන් අනතුරුව, නිෂ්පාදකවරුන් නළුවන් රෑසක් මීළඟ Bond ලෙස තෝරාගන්නා අදහසින්, පරීක්ෂාවන්ට භාජනය කළත්, එය සාර්ථක වුණේ නෑ. United Artists චිත්‍රාගාරය යළිවරක් Sean Connery මේ චරිතය සදහා ඉල්ලා සිටීම නිසා වාර්තාගත $ 1.25m ක මුදලක් ගෙවීමෙන් පසුව ඔහු මේ සඳහා එකඟ කරගත හැකි වුණා. අද මුදලින් සැලකුවොත් ඒ ගණන මිලියන 23ක් ලෙසයි සටහන් වන්නේ.
ඒ වගේම මේ චිත්‍රපටයේ ලෝක රූප රාජිණියක් දැකගන්නට ලැබනවා ඔබට. Denise Perrier. ප්‍රංශය නිජබිම කරගත් ඇය, 1953 වසරේ Miss World(ලෝක රූ රැජින) ලෙසින් කිරුළු පළන්, රූ වරුණින් අගතැන් පත් කෙනෙක්. ඇය කිරුළ දිනාගන්නා විට වයස අවුරුදු 18ක් වුණත්, මේ චිත්‍රපටයට එක්වද්දීනම්, ඇයට අවුරුදු 36ක් වයස වුණා.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේ Sean Connery නිසා වතාවක් රූගතකිරීම් පමා කරන්නටත් සිදු වුණා. ඒ ඔහු විනෝදයට කළ ක්‍රීඩාවකින් ලද ජයසංඛේත එක්කාසු කරන්නට වෙලාව ගතවීම නිසා. ඒ වගේම මෙහි Bond‘ගේ පෙම්වතිය වූ Tiffany Case ලෙස රඟපෑමෙන් එක් වූ Lana Wood තඩාගයක සිදු කළ දියයට රූගත කිරීම් අතරවාරයේ දියෙහි ගිළීමට ගොස් යන්තම් දිවි ගළවා ගෙන තිබෙනවා. ඒ රූගත කිරීමේදී ඇගේ දෙපා තඩාගය පත්ළේ තැන්පත් කළ සිමෙන්ති කුට්ටියකට ලිහිල්ව ගැටගසා, හුස්මගැන්මේ පහසුව තකා ඇයට අල්ලා ගැනීමට කඹයක් තඩාගය හරහා යොදාගත් බව සඳහන්. එහිදී තඩාගයේ පැවති ආනතිය නිසා පෙර කී බර ඒ ඔස්සේ පතුළට ඇදීගොස් ඇය දියෙහි ගිළී තිබෙනවා. ඒ බව පිරිස දැකීමෙන් ඇය බේරාගන්නා විටත් ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී සිටි බව සඳහන්.
මෙහිදී අපට දැකගන්නට ලැබෙන Bond Gadget අතරින් ‘1971 Mustang Mach 1’ නමැති Ford සමාගෙමෙන් නිපදවන ලද කාරය සහ Moon Buggy නම් අමුතු වාහනය හැඳින්විය හැකියි. මේ චිත්‍රපටයේ රූගත කිරීම් වලදී Bond‘ගේ තරගකරුවා ලෙසින් Tiffany Case චරිතය නිරූපණය කළ Jill St. John ගේ රිය ලෙස භාවිත වුණේ මේ මොඩලයේ කාරයක් තමයි. චිත්‍රපටයේ අඩංගු “Las Vegas ලුහුබැදීම” නම් දර්ශනයේදී කාර් බොහොමයක් එකිනෙක ගැටෙන දසුන් අඩංගු වීම නිසා, ඒ සඳහා Ford කාර් භාවිත කරන්නට එම සමාගම සමග ගිවිසුමක් ඇති කරගන්නට නිෂ්පාදකවරුන් කටයුතු කළා. ඊට දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ඔවුනගේ එකම ඉල්ලීම වුණේ, Bond විසින් 1971 Mustang Mach 1 කාරයක් පදවන දර්ශනයක් චිත්‍රපටයේ අඩංගු විය යුතු බව පමණක් යැයි සඳහන්.
එමෙන්ම මෙහි දැක්වෙන Moon Buggy නම් යානය NASA ඒ වන විටත් ග්‍රහලෝක ගවේෂණයට භාවිත කළ එවන් යානාවන් ඇසුරින් සැලසුම් කරගත්තක්. නමුත් සුනම්‍ය හැඬලය වැනි විවිධ අංගෝපාංග එකතු කර එය නිර්මාණය කොටගෙන ඇත්තේ, චිත්‍රපටයට අවශ්‍යය වන පරිද්දෙනුයි. එය සැබැවින්ම භාවිත කළ හැකි මට්ටමේ තිබුණා. සාමාන්‍ය මාර්ගයක රියක් ධාවනය කෙරෙන වේගයෙන්ම ක්‍රියාකරවිය හැකි වූ එයට යොදා තිබුණ, Fiberglass ටයර, ලුහුබැඳීමේ දර්ශනය අතරවාරයේ යළි යොදන්නට සිදු වුණේ; කාන්තාරයේ අධික රත්වීමත් අමුතු දුහුවිල්ලත් නිසා ඒවා විනාශ වී ගිය නිසයි. චිත්‍රපටයේ අඩංගු, විදුලි සෝපානයක් තුළ දබරය සැබෑවටම සෝපානයක් තුළ රූගත කෙරුණක්. එය Connery සහ උපක්‍රමශිල්පියෙකුගේ මෙහයවීමෙන් සිදුකරන ලද්දක්.
වැඩිම Bond චිත්‍රපට ගණනක් වෙනුවෙන් සංගීතය මුසුකළ John Barry සිය 6 වැනි සංයෝජනයෙන් එක්වෙනවා මේ වෙනුවෙන්; Goldfinger චිත්‍රපටයෙන් පසු, Shirley Bassey ගායිකාව; සිය දෙවන Bond ගීතය ලෙස Diamonds Are Forever තේමා ගීතය ගයමින් මීට එක්වුණා. ඒ Lazenby‘ගෙන් පසු යළි Connery මේ චරිතයට එක්වීම සමරා කෙරෙන උපහාරයක් වශයෙන්. නමුත් නිෂ්පාදක දෙපළගෙන් Harry Saltzman මේ ගීතයේ අඩංගු වූ ලිංගික ඇනුම්පද ගතියට අකමැත්ත පළ කොට තිබෙනවා. සම-නිෂ්පාදක Cubby Brocolli ගේ මැදිහත්වීම මතයි ගීතය චිත්‍රපටයට ඇතුළත් කෙරුණේ. Barry පසුව හෙළි කොට තිබෙන්නේ මේ ගීය ගයනා විට තමන් “පුරුෂ ලිංගයක් ගැන ගායනා කරන බව” සිතාගෙන එය ගායනා කරන ලෙස Bassey‘ට උපදෙස් දුන් බව.
Bond මාලාවේ නරකම තෙවැනි චිත්‍රපටය ලෙස මෙය හඳුන්වා තිබෙනවා. එසේ නමුත් මෙය “හොඳම ශබ්ද සංකලනය” සඳහා වන ඔස්කා සම්මානය සඳහා නාම යෝජනා හිමිකරගන්නට සමත් වුණා. වසර හතරකින් පසුව යළි පැමිණි Connery’ට පැවති ඉල්ලුම යළි සනාථ කරමින් ඇමෙරිකාව තුළ $ 43.8m ද, ලොවපුරා $ 116m ද උපයනු ලැබුවේ. Lazenby’ගේ දායකත්වය සහිත On Her Majesty’s Secret Service (1969) චිත්‍රපටය ඇමෙරිකාව තුළ ඉපයූ $ 22.8m සහ ලොවපුරා ඉපයූ $ 64.6m ට වඩා ඉතා ඉහළ සහ පැහැදිලි පරතරයක් පෙන්නුම්කරමිනුයි.
වසර 4ක නිහැඬියාවකින් පසුව යළි සුපුරුදු චරිතයට එක් වූ Sean Connery යළිවරක් මේ චිත්‍රපටයෙන් පසු එම චරිතයට සමු දුන්නා. එනිසා 970 දශකයේ Bond යුගයේ ආරම්භය සනිටුහන් කළ මේ චිත්‍රපටය 970 දශකයේ Connery එක් වූ එකම චිත්‍රපටය බවටත් පත් වුණා.
සුප්පා පොස්ට් 1ක් mcn