දමිළදැනුමටවගතුගසියල්ල

The Great Story Tellers | 01 | Sukumar : Genius Of Screen Writing

The Great Story Tellers – 01
Sukumar : Genius Of Screen Writing

 

ඉතින් ළමයි ටික දවසකට පස්සේ ආයෙත් Analyze පොස්ට් එකක් ලියන්න හිතුනා. කලින් අරගෙන ආපු ශංකර්ගේ ලිපි පෙළ මතක කියවන්න ඇතිනේ(https://info.baiscopelk.com/?p=30204). ඉතිං මේ සැරේ මම කතා කරන්නේ චිත්‍රපටයක පිටපත් රචනය පසුබිම් කරගෙන. පිටපත් රචනය කරන හැටි කතා කරන්න තරම් නම් මම ජීනියස් කෙනෙක් නෙමේ. අතිදක්ෂ පිටපත් රචකයකුගේ පිටපත් රචනයන් කීපයක් සසදීමකට සහ විශ්ලේෂණයකට ලක් කරන්නයි මේ වෑයම. අන්තර්ජාල තොරතුරු ටිකකුත් වැඩේට උදව් උනා කියලත් සඳහන් කල යුතුයි. චිත්‍රපටි බලන පුරුද්ද නම් අපිට ඉහේ ඉඳන් කකුලේ නියපොත්ත දක්වා තියෙනවනේ. හැබැයි ඔය වැඩේ අපේ මූණ ඉස්සරහට එනකල් විවිධ අවධි පහුකරගෙන තමයි අපි ගාවට එන්නේ. එයින් පළවෙනිම දේ තමයි පිටපත නිර්මාණය. ලෝකේ මොනම චිත්‍රපටියක් උනත් කොලේක පෑනකින් අකුරක් නොලියා ඇරඹෙන්නේ නැහැ. වර්තමානයේ ගත්තොත් Document file එකක අකුරක් ටයිප් නොකර චිත්‍රපටයක් ඉපදෙන්නෙ නැහැ. පිටපත තමයි චිත්‍රපටයක සැබෑම ඇරඹුම කියල හඳුන්වන්න පුළුවන්. මෙතනින් පස්සේ මං අධ්‍යක්ෂකවරයා/අධ්‍යක්ෂකවරු ලෙසින් තනි වචනයෙන් හඳුන්වන්නේ ඔවුන්ගේ Director/Writer(අධ්‍යක්ෂණ/පිටපත් රචනය) යන කාර්යයන් දෙකම බව සලකන්න.

 

තෙලුගු සිනමාව ගත්තම හිට් අධ්‍යක්ෂකවරු කියල කට්ටියක් ඉන්නවා, බ්ලොක්බස්ටර් අධ්‍යක්ෂකවරු කියල තව කට්ටියක් ඉන්නවා. මේ හැමෝම සිනමා ශාලාවට එන හැම ප්‍රේක්ෂකයෙකු තුලම ඇති බලාපොරොත්තු කොහොම ඉටු කරාවිද කියල කුතුහලයකින් යුතුව අපි සිතුවත්, ආශ්චර්යයක් මෙන් ඒ අයුරින්ම ඒවා ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වනවා. එමෙන්ම ප්‍රේක්ෂක ජනතාවත් ඒවා ඒ අයුරින් ඉහලින්ම පිලිගන්නවා. උදාහරණ විදිහට SSRajamouli, Kortala Siva, Atlee(Tamil)  වැනි අය. ඒ අතරේ තවත් අධ්‍යක්ෂකවරු ඉන්නවා චිත්‍රපටයක් නැරඹු විට “මෙහෙමත් වෙන්න පුලුවන්ද?” කියල සිතුවිල්ලක් එන සහ චිත්‍රපටය බලන අතරතුර පුදුම හිතෙන/විමතියට පත් කරන කාරණා රැසක් සිදුවීම සහ චිත්‍රපටය අවසන් වූවාට පසුත් “අතන මෙහෙම වෙන්න තිබුනා” “අතන මෙහෙම වෙන්න ඇත්තේ මේක හින්දා” පසුව දැනෙන්න සලස්වන. ඒ කිව්වෙ චිත්‍රපටියේ තියෙන Plot Points සහ Twists ගැන විචාරාත්මක සිතුවිල්ලෙන් හිතන්නට සලස්වන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්. මේ කතා කරන්න යන්නේ එහෙම චිත්‍රපට සංස්කෘතියක් වර්තමාන පරම්පරාව තුලට අරගෙන ආපු “සුකුමාර්” ගැන. මේක ගෙනාවේ සුකුමාර් කියල කියනව නෙමෙයි. මේ කලාව වර්තමානයේ රන් කරන කෙනෙක් විදිහටයි මං සුකුමාර් හඳුන්වන්නේ. පරණ පරම්පරාවල් වල මෙන්ම හොලිවුඩ්, බොලිවුඩ් වල මෙවන් අධ්‍යක්ෂකවරුන් ඕනෑතරම් ඉන්නවා. මං කතා කරන්නේ තෙලුඟු සිනමාව සහ වර්තමාන පරම්පරාව යන රාමුවේ ඉඳගෙන.

 

 

සුකුමාර් චිත්‍රපට ක්ෂේත්‍රයේ වසර 16කට අධික කාලයක් තුල දායාද කල චිත්‍රපට සියල්ල ෆ්ලොප්, හිට්, සුපර්හිට්, බ්ලොක්බස්ටර් අතර වරින් වර දෝලනය වුවද සෑම චිත්‍රපටයක්ම නිකුත් වෙද්දී ඔහුට ඇති උන්මාද එක දිගට බ්ලොක්බස්ටර් දෙන ජාතියේ අධ්‍යක්ෂකවරයෙක් තරම්මම අති මහත්ය. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරයෙකු අතින් චිත්‍රපටියක් අසාර්ථක (ෆ්ලොප්) වුවහොත් ඔහුට තිබෙන ගෞරවය බොහෝ වෙලාවට ටිකක් අඩුවෙනවා. විවේචන, සමච්චලයට ලක්වෙනවා. Trivikram Sirinavas මොනතරම් දක්ෂක අධ්‍යක්ෂකවරයෙකු වුවත් Agnyaathavaasi චිත්‍රපටයේ අසාර්ථකත්වය ඔහුව මානසික පීඩාවට පවා පත්කොට තිබෙනවා. ඒ ප්‍රේක්ෂකයින්ගේද දෝෂාරෝපණය ලක්වීම නිසාවෙන්. නමුත් සුකුමාර් ගැන කතා කළහොත් ඔහුගේ අසාර්ථක චිත්‍රපට වලටත් සිනමාව තුල සහ ප්‍රේක්ෂකයින් අතර ලොකු ගෞරවයක් හිමිවනවා. සාමාන්‍යයෙන් ආදායම් වශයෙන් ෆ්ලොප් චිත්‍රපටයක් ප්‍රේක්ෂකයින්ගේ ගෞරවයට පාත්‍ර වන්නේ බොහොම කලාතුරකින්. ඔහුගේ සමහර චිත්‍රපටි තිරගතවන සමයේ බොක්ස් ඔෆිස්හි යම් මන්දගාමී බවක් පෙන්වූවත් ඉන් කලකට පසු එම චිත්‍රපටි බොහෝ කතා බහට ලක්වෙනවා සහ බොහෝ පැසසුමට ලක් වෙනවා. සාමාන්‍යයෙන් තෙලඟු චිත්‍රපටියක ප්‍රධාන නළුවා/වීරයා කියන්නේ කරුණාවන්ත ගුණ ඇති කෙනෙක් විදිහටයි පෙන්වන්නේ. පූරී ජගන්නාද්ගේ චිත්‍රපටි ගත්තත් ප්‍රධාන නළුවා Aggrasive Attitude, තද මාස් පෙනුමක් සහිත චරිතයක් සහිතව සිටිය වුවද සමාජය ගැන යම් වගකීමෙන් සිටින බවක් පෙන්නුම් කරනවා. නමුත් ප්‍රධාන නළුවා/වීරයා හොඳ Prefet කෙනෙක් නොවුනත්, ඔහු යම් අඩුපාඩු සහිත කෙනෙක් උනත් ප්‍රේක්ෂකයා තදින් වැලඳගන්නා බව සුකුමාර් ඔප්පු කර තිබෙනවා. ඒ ගැනත් උදාහරණ සහිතව මං සඳහන් කරන්නම්. අපි කතාවට යමු. මං කතා කරන්නට යන්නේ සුකුමාර්ගේ අධ්‍යක්ෂණයේ/පිටපත් රචනයේ තිබෙන පොදු කාරණා සහ චිත්‍රපට අතර එකිනෙක සම්බන්ධ විශේෂ කරුණු (Pin Points) කිහිපයක් ගැන.

 

සාමාන්‍යයෙන් ගොඩක් අය චිත්‍රපටිය බලද්දී මුලින්ම නම්-ගම් විස්තර යන කොටස Skip කරනවා/යවනවා (Titles/නාමාවලිය). තියෙටර් අද්දැකීම ගත්තම “ටයිටල් එක යද්දී ගියත් ඇති බං” කියන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. නමුත් සුකුමාර්ගේ චිත්‍රපටියක නාමාවලිය යන ටයිම් එක මග ඇරගන්නවා කියන්නේ අපරාදයක්. ඔහුගේ චිත්‍රපටිවල Detaling පටන්ගන්නෙ එතන ඉඳන්මයි. ඒ වගේම සුකුමාර්ගේ ටයිටල් ටයිම් එක අතිශය නිර්මාණාත්මකයි. එමෙන්ම ඒ හැම එකක්ම චිත්‍රපටයේ කතාවට සම්බන්ධවන විදිහට සූක්ෂම විදිහට නිර්මාණය කරල තියෙනවා. උදාහරණ විදිහට.

 

ආර්යා2 : පොතක/ඩයරියේ “මට අජේ එක්ක ඉන්න ඕන” කියල පොතක/ඩයරියක එක දිගට ලියන සීන් එක. මුළු චිතරපටයම ආර්යා-අජේ යාළුකමේ හැඟීම පදනම් කරගෙන ගලායාම.

 

 

Nannaku Prematho :  Butterfly Effect එක ගැනයි ඒ නාමාවලිය පුරාම යන්නේ.

 

 

1: Nenokkadine : ගෞතම්ගේ කුඩා කාලයට සම්බන්ධ සංගීත භාණ්ඩය පදනම් කරගෙන යන නාමාවලිය. 

 

උදාහරණ ලෙසින් ඒ තුන පමණක් පෙන්නුවත් ඔහුගේ හැම චිත්රපටියකම මෙය පොදු කාරණයක්(Kumari 21F ද ඇතුලත්ව). සුකුමාර්ගේ චිත්‍රපටිවල එවන් නිර්මාණාත්මක නාමාවලියක් ගලායාමක් නැත්තේ Rangastalam චිත්‍රපටියේ විතරයි. ඒකටත් එහෙම දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒත් එහෙම කලොත් චිත්‍රපටියේ Length එක පැය 3ක් වන නිසා ඒක අයින් කරලා තියෙනවා. (Final Running Time 2h 56m)

 

ඔයාල දන්නවා ඇති රාජමෞලීගේ හැම චිත්‍රපටියකම සංගීත අධ්‍යක්ෂණයට යොදාගන්නේ M. M. Keeravani බව. එලෙසින්ම සුකුමාර්ද තමන්ගේ හැම චිත්රපටියකටම දේවි ශ්‍රී ප්‍රසාද්ව(DSP) තමයි යොදාගන්නේ. ඒ කොම්බෝ එක අද වෙනකල් කවදාවත් කැඩිලා නැහැ. ඒ වගේම මේ දෙන්නගේ කොම්බෝ එකෙන් ආපු හැම ඇල්බම් එකක්ම චාර්ට්බස්ටර් වුනා මතක ඇති. එමෙන්ම DSPට අමතරව සුකුමාර් එක්ක වැඩියෙන්ම වැඩ කරපු තාක්ෂණික ශිල්පියා තමයි සිනමාකරණ/කැමරා අධ්‍යක්ෂක(Cinematographer) ශිල්පී රත්නවේලු මහතා. රත්නවෙලු-සුකුමාර් කොම්බෝ එකෙන් ආපු Iconic දර්ශන කීපයක්ද තියෙනවා. උදාහරණයක් : 1: Nenokkadine හි මහේෂ්බාබු නළලට ඇඟිල්ල තියාගෙන ඉද්දි පිටිපස්සෙන් රූගත කරගෙන එන දර්ශනය, රංගස්තලම්හි චිට්ටිබාබු කැත්ත අරගෙන වංගුව කපල එන ෂොට් එක.

 

මීළඟ පොදු කාරණය තමයි සුකුමාර්ගේ හැම චිත්‍රපටියකම Love At First Sight විදිහේ ආදර කතාවක් තමයි යන්නේ. සුකුමාර්ගේ පෞද්ගලික ජීවිතෙත් එහෙම කතාවක් කියලයි සඳහන් වෙන්නේ. සුකුමාර් එයාගේ බිරිඳ මුලින්ම සුදර්ශන් තියෙටර් එකේදී දැකපු පළමු වතාවෙම ආස හිතිලා කියලයි සඳහන් වෙන්නේ. සමහරවිට ඔහුගේ පිටපත් රචනයන් වලට එහි සම්බන්ධයක් තිබෙනවද දන්නෙත් නැහැ.

 

මං මුලින්ම සඳහන් කරානේ සුකුමාර්ගේ චිත්‍රපටිවල නළුවා/වීරයා හොඳ Prefet කෙනෙක් නොවුනත්, ඔහු යම් අඩුපාඩු සහිත කෙනෙක් උනත් ප්‍රේක්ෂකයා තදින් වැලඳගන්නා බව සුකුමාර්ගේ චිත්‍රපටි වලින් ඔහු ඔප්පු කර බව. පැහැදිලි කරෝතින්, එයාගේ හැම චිත්‍රපටියකම ප්‍රධාන චරිතයට කුමක්හෝ විශේෂ ආබාධයක් තිබෙනවා. චරිතයේ ඇතුලාන්තය සහ එම චරිතය එලියට පෙන්නගෙන ඉන්න චරිත ලක්ෂණ වල වෙනසක් තිබෙන බවක් ඔහු පෙන්නුම් කරනවා. නමුත් චිත්‍රපටයේ මගදී හෝ අවසානයේ එම අඩුපාඩුවම ඔහුගේ ජීවිතයේ පියවරක් ඉහලට උස්සනවා. උදාහරණ විදිහට ගත්තොත්,
රංගස්ථලම් ච්ට්ටිබාබු : කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නය. ඒ වගේම ටිකක් පණ්ඩිතබව (වැඩි Ego). තමන් බීරි බව අනිත් අය දැනගන්නවට ඔහු කැමති නැහැ. නමුත් ඔහුට දෙයක් තේරුම් ගන්න කවුරුහරි ඇසිස්ටන් කෙනෙක් ඕන. නමුත් Climax එකට පෙර කතාව ගලායාම නතර වෙන මොහොතක ඔහු කෙනෙක්ගේ තොල් මිමිණීම දිහා බලල අවශ්‍යම හෝඩුවාවක් හොයාගන්නවා.

 

ආර්යා2 : හැමෝම ආර්යා Mr. Perfect කියලා හිතාගෙන හිටියට ඇතුලේ ඉන්නෙ වෙනම චරිතයක්. අජේ-ගීතා දෙන්නා හැර වෙන කිසිවෙක් ඒ ගැන දන්නෙ නැහැ. නමුත් කවුරුවත් නොදන්නා කාරණය ඔහු ගීතා වෙනුවෙන් එලි කරනවා.
1: Nenokkadine : මෙහිදීත් මහේෂ්බාබු මොකද්ද අසනීපයකින් පෙලෙන කෙනෙක් කියල ඔබට මතක ඇති. නමුත් ඔහු අතිශය බුද්ධිමතෙක්.
Nannaku Prematho : අභිරාම්ට තමන්ගේ හැඟීම් හිතේ තියාගෙන ඉන්න බැරි අවුලක් තියෙනවා. තරහක් ආවම පාරේ ඉන්න එකෙකුට ගහල හරි ඒ තරහ නිවාගන්න ඕන. නමුත් අන්තිමේ තාත්ත නැති දුක ඔහු පිට නොකර ඔහු තුලම තියාගන්න තීරණය කරනවා.
100% Love : චයිතන්‍යා – තමන්නා කතා කරන්නේ නැති තරමට තත්වය බරපතල වෙනවා මතක ඇති. චයිතන්‍යාට Ego Problem එකක් එහෙමත් නැත්නම් ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා එම චිත්‍රපටයේදී.

 

ඒ වගේම සුකුමාර්ගේ චිත්‍රපටිවල ප්‍රධාන චරිතය කුමක්හෝ වැරද්දක් කරලා චිත්‍රපටිය පුරාවටම ඒ වෙනුවෙන් විඳවනවා දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට ආර්යා2 : ආර්යා දුරදිග බලන්නෙ නැතුව ගීතව ලිෆ්ට් එකේදී කිස් කරනවා. චිත්‍රපටිය අවසන් වෙනකල් ඔහු ඒ වෙනුවෙන් විඳවනවා. වරදකාරී බවින් යුතු ප්‍රධානනළුවන්/වීරයන් වුවද ප්‍රේක්ෂකයින් වැලඳගන්නා අයුරින් නිර්මාණය කිරීමට තරම් සුකුමාර් අති දක්ෂයෙක්. හැම චිත්‍රපටියකම පසුතැවීම මගින් චරිතය මද වෙලාවක් හෝ ඉදිරියට ගලායාම කඩාවැටීම ඔහුගේ චිත්‍රපටිවල පොදු කරණයක්. ඒ වගේම සුකුමාර්ගේ චිත්‍රපටිවල ප්‍රධාන නළුවා අතිශය බුද්ධිමත් පුද්ගලයෙක් වනවා. ආර්යා ඉඳන් රංගස්තලම් වෙනකල් ගත්තම එම ප්‍රධාන චරිත බුද්ධිමත් බවින් ඉහලම මට්ටමක ඉන්න අය විදිහට හැඳින්විය හැකියි. වැඩියෙන්ම නානකු ප්‍රේමතෝ එකේ අභිරාම්.

 

හැම චිත්‍රපටියකම නෑදෑ කමක් හෝ හැඟීමක් හෝ පින් පොයින්ට් එකක් ලොකුවටම සුකුමාර් විසින් හයිලයිට් කරනවා. ආර්යා : අනාථ කොල්ලෙක් සහ ඒකපාර්ශවීය ආදර හැඟීම. ජගඩම් : මල්ලි එක්ක තියෙන බැඳීම සහ ප්‍රචණ්ඩත්වය යන පොයින්ට් එක මත දුවන කතාව. 100% Love :  නෑනා මස්සිනා බැඳීම සහ අහංකාරකම කියන හැඟීම කැපී පෙන්වනවා. ආර්යා2 : යාළුකම සහ ආදරය, මෙන්ම එහි කැපී පෙනෙන පොයින්ට් එක පරිත්‍යාගය. 1: Nenokkadine : අනාථ කොල්ලෙක්, දෙමවුපියන්ගේ මිනීමැරුම, හරිත විප්ලවය. නානකු ප්‍රේමතෝ : පියාට ඇති සෙනෙහස සහ දේපල වංචාව. රංගස්තලම් : සහෝදර බැඳීම සහ වහල්බව.

 

එමෙන්ම සුකුමාර්ගේ පලවෙනි චිත්‍රපටියේ ඉඳන් තවත් වැදගත්ම පොදු කාරණයක් තමයි ඩයරිය. ආර්යා සිට නානකු ප්‍රේමතෝ වනතුරු සුකුමාර්ගේ චිත්‍රපටිවල ඩයරියට ලබාදී තිබු වටිනාකම විශේෂයි. නමුත් රංගස්තලම්හි එහෙම Reference එකක් නැහැ මට මතක විදිහට. ආර්යා චිත්‍රපට දෙකේම ගීතා සහ අජේ කෙරෙහි තියෙන බැඳීම ඔහු ඩයරියක ලියනවා. එමෙන්ම නානකු ප්‍රේමතෝහි පියා ලියා තිබු ඩයරිය කියවා පලිගැනීම සඳහා අභී පෙළඹෙනවා. එමෙන්ම කුමාරි21F හිදීද ඩයරිය විශේෂ තැනක් ගන්නවා.

 

 

අපි සාමාන්‍යයෙන් දකින නළුවන් වෙනස් අයුරකින් පෙන්වන්න සුකුමාර් නිතරම උත්සහ කරනවා. උදාහරණයක් ජගඩම් : රඝුබාබු මැරයෙක් හෝ විකට නළුවෙක් විදිහටයි අපිට දැකල පුරුදු. නමුත් ජගඩම්හි ඔහු හැඟීම්බර චරිතයක් නිරුපනය කරනවා. ආර්යා2 : සුබ්බි චරිතය නිරුපණය කල අජේ අපි නිතර දැක තිබෙන්නේ දුෂ්ඨ චරිත හෝ ටිකක් තද චරිත වලට. නමුත් ආර්යා2 හිදී ඔහු තමා කුඩා කල සිට ආදරය කල ගීතා උවද කැප කරන තරමේ ප්‍රේමවන්තයෙක් වුවා. එමෙන්ම යාළුකම වෙනුවෙන් පණ උනත් දෙන තරමේ චරිතයක් ඔහු නිරුපනය කළා. නානකු ප්‍රේමතෝ : රාජේන්ද්‍ර ප්‍රසාද්ගෙන් එතරම් හැඟීම්බර පියෙකුගේ චරිතයක්.

 

 

එමෙන්ම සුකුමාර්ගේ චිත්‍රපටි වල ගණිත සහ භෞතික විද්‍යාව ගැන References රැසක්ම තියෙනවා. ඔහුගේ පළමු චිත්‍රපටයේ පළමු දර්ශයම පටන් ගන්නෙ ගණිත සමීකරණයක දර්ශනයකින්. ගීතා කළු ලෑල්ලේ තියෙන සමීකරණය පොතේ ලියාගන්නේ වැරදියට. නමුත් පස්සේ ඒක හරිගස්සගන්නවා. ඒ වගේම ගීතා මුලින් අජේව තෝරගත්තත් පස්සේ ආර්යා තමයි තමන්ට ගැලපෙන්නේ කියල තීරණය කරනවා. 100%Love චිත්‍රපටියේ පාඩම් කරන සීන්මනේ තියෙන්නේ. නානකු ප්‍රේමතෝ චිත්‍රපටිය ගත්තම භෞතික විද්‍යාව/ ගණිතය ඒකෙ පිරිලා. රංගස්තලම් චිත්‍රපටියේ ලොකුවට ගණිත කර්ම නැතත් ගමේ මිනිස්සු ගත්තු ණය වැඩි මුදලකින් සටහන් කර තිබීම ගැන නිවැරදිව ගණන් හිලව් බලලා චිට්ටිබාබුගේ අයියා ප්‍රශ්න කරන සීන් එකක් තිබ්බ ඔබට මතක ඇති.

 

– Sukumar’s First movie First shot –

 

සුකුමාර්ගේ චිත්‍රපටි වල මීළඟ පොදු කාරණය තමයි වරදවා වටහා ගැනීම්. ආදරය ප්‍රකාශ කල සැනින් අනිත් එක්කෙනා කැමති වෙන් නැහැ. වරදවා වටහා ගැනීමක් තියෙනවාමයි. ආර්යා : වතුරේ ගිලුණු කෙනා ආර්යා කියල ගීතා දන්නෙ නැහැ. ආදරේ ප්‍රකාශ කරත් ගීතා ආර්යාව වරදවා වටහාගන්නවා. රංගස්තලම් : රාමලක්ෂ්මි චිට්ටිබාබුට ආදරේ කිව්වත් බීරි නිසා පොර ඒක වැරදියට තේරුම් ගන්නෙ. කුමාරි21F : සිද්දු මීනාව වැරදි විදිහටයි වටහා ගන්නෙ. ලියුම කියවල තමයි ඇත්ත තේරුම් ගන්නෙ. නානකු ප්‍රේමතෝ : අභිරාම් දිව්‍යාගේ තාත්තගේ ගිණුම හැක් කරන්න හදපු බව දැනගෙන දිව්‍යා තරහ වෙනවා. අනිත් ඒවයිත් පොඩි පොඩි සීන් තිබ්බට හැම චිත්‍රපටියකම ඉතිං අවසානයේ ඒවා විසඳිලා ආයේ සෙට් වෙනවා (ඒක ඉතිං කෝකෙත් එකයි). නමුත් සුකුමාර්ගේ චිත්‍රපටිවල ආදරය යෝජනා කරන විදිහ, ආදර කතාව ගලාගෙන යන විදිහ ඔහුටම ආවේනික විශේෂ පෙනුමක් ගන්නවා. 100%Love චිත්‍රපටයේ පලවෙනි අර්ධයේ ගලාගෙන යන ආදර කතාව ඉතාමත් ආකර්ශනීය අයුරින් නිර්මාණය කර තිබෙනවා.
සුකුමාර්ගේ චිත්‍රපටිවල තිබෙන තවත් පොදු කාරණයක් තමයි නොසිතු වේලාවන් වල සිද්ධ වන අහඹු සිදුවීම්. කතාව ගලාගෙන යාමේදී අතිශය වැදගත්ම ස්ථානයකදී මෙය භාවිතා වෙනවා. ආර්යා2 : ඇරඹුමේදී ආර්යා චුයින්ගම් එක තියලා කාවද තමන් යාළුවා කරගන්නේ කියල තීරණය කරනවා. කරුමෙට අජේ පාගනවා. එමෙන්ම අන්තිම හරියේ අජේ මැරුම් කන්න ඔන්න මෙන්න තියෙද්දී ආර්යාගේ මූණට මාළුවා පැන්නෙ නැත්නම් අජේ මැරුම් කනවා. නානකු ප්‍රේමතෝ : දිව්‍යා පැහැරගෙන ගිය අවස්ථාවේ පරිසරය අභිරාම්ට ඉඟි දෙන්න උදව් කරනවා. ඒ වගේම දිව්‍යගේ සෙරෙප්පුව අරගෙන දුවපු බල්ලා. 1: Nenokkadine : හැමදේම ඉවරයි කියල හිතෙද්දි අහම්බෙන් මහේෂ් බාබුට සිංදුවක් සිද්ධිය කණපිට පෙරළෙනවා මතක ඇති. රංගස්තලම් : කතාව ඉස්සරහට යන්න විදිහක් නැහැ කියල හිතෙද්දි ශ්‍රීමනාරායනා කියල කෑගහන එකෙක්ගේ කට චිට්ටිබාබු දකිනවා.

 

සුකුමාර්ගේ චිත්‍රපටිවල Item Song එකක් අනිවාරෙන්ම ඇතුලත් වෙනවා.( Nannaku Prematho හැර. මන්ද එය පියා වෙනුවෙන් ඇති සෙනෙහස මත කෙරුණු චිත්‍රපටයක් සහ NTR ගේ 25 වන චිත්‍රපටය වීම හේතුවෙන්.) මේ අයිටම් සෝන්ග් අදහස සුකුමාර්ට දිල්රාජු ආර්යා කාලේදී දීපු එකක්ලු. ඒක නැගල ගියපු නිසා සුකුමාර් ඒක දිගටම පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නව.  එමෙන්ම අයිටම් සෝන්ග් එක ඉවර වෙනකොටම කතාවේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. රංගස්තලම් හි චිට්ටිගේ අයියා මැරෙන සීන් එක එහෙම.

 

සැඟවුණු අදහස් පිරි දෙබස් සහ තර්ක වලින් සමන්විත වීම සුකුමාර්ගේ චිත්‍රපටිවල තවත් විශේෂම කාරණයක් . එමෙන්ම චිත්‍රපටියේ තැන් තැන් වලට සම්බන්ධ කල හැකි තනි දර්ශන. මේවට සරලව Subtext කියල කියනවා. සුකුමාර්ගේ චිත්‍රපට සියල්ලේ එවන් දේවල් ලියන්න ගියොත් ඒ වෙනුවෙන් මාගලක විතර ලිපියක් සහ දැඩි අධ්‍යනයක් අවශ්‍යයි. ඒ නිසා ඒක අත ඇරලා දානවා. එක උදාහරණයක් දෙන්නම්. නානකු ප්‍රේමතෝ චිත්‍රපටයේ දිව්‍යා මුලින්ම අභි හමුවූ වෙලාවේ පලවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉංග්‍රීසියෙන්. නමුත් අභිරාම් ඩයරියේ තෙලුඟු වලින් ලිය ලියා ඉන්නව දැකල ආයේ එතන ඉදන් තෙලුඟු වලින් කතා කරන්න ගන්නවා. එවැනි දර්ශන එකපාර කෙනෙක්ට ඇඟවෙන සම්භාවිතාව අඩුයි.

 

සටන් දර්ශන ගත්තොත් ඒවා සුකුමාර්ටම ආවේනිකයි. ආර්යා2 හි කට්ටියකට ගහලා බෙහෙතුත් දාල එන ජාතියේ පොරක් විදිහට ආර්යා පෙන්නනවා මතක ඇතිනේ. එලෙස ඔහුගේ චිත්‍රපටි කීපයකම පෙර නොදුටු දර්ශන කිහිපයක් අපට දැකගන්න පුළුවන්. එමෙන්ම අහංකාරකම (Ego) සුකුමාර්ගේ චිත්‍රපටි වල පොදු තැනක් ගන්නවා. 100%Love නෑනයි මස්සිනයි, රංගස්තලම් මුල් හරියේ අයියා-මල්ලි අතර තියෙන අමනාපෙ, ආර්යා චිත්‍රපටි දෙකේම අජේට ටිකක් අහංකාර ගතිගුණ කීපයක් තියෙනවා.

 

සුකුමාර්ගේ චිත්‍රපටි වල වැදගත්ම කාරණය තමයි Twist (කතාව කණපිට හැරෙන තැන්). හැම චිත්‍රපටියකම Twist තියෙනවා. එහෙත් පොඩි උනත් ලොකු උනත් සුකුමාර්ගේ චිත්‍රපටිවල ට්විස්ට් අනිවාර්යයි. සුකුමාර්ගේ චිත්‍රපටිවල තියෙන ඒවයි පොඩි සැසඳීමක් කරලා බැලුවොත්. රංගස්තලම් : හැමෝටම හිතෙන්නෙ චිත්‍රපටියේ දුෂ්ඨ චරිතය ජගපති බාබු කියල නමුත් ඇත්තටම දුෂ්ඨ චරිතය කරලා තියෙන්නේ ප්‍රකාශ් රාජ්. Nenokkadine චිත්‍රපටියෙත් එලෙසමයි. ඒ වගේම ගොඩක් චිත්‍රපටිවල ප්‍රධාන නළුවා ප්‍රධාන දුෂ්ඨයට ආවතේවකම් කර කර ඉන්නවා දකින්න තියෙනවා. රංගස්තලම්හි ප්‍රකාශ් රාජ් අනතුරට ලක් වෙලා සුව වෙනකල්ම ළඟ ඉඳගෙන බලාගන්නේ චිට්ටිබාබු. නමුත් අන්තිමේ ඔහුගේ සැබෑ චරිතය හෙළි කරනවා. කුමාරි21F හි සිද්දු දූෂණය කරපු අයව මරන්නේ නැතුව හිර කරලා දාලා කන්න බොන්න දීල එතනම තියල බලාගන්නවා.

 

සෑම සුකුමාර්ගේ චිත්‍රපටයක්ම පාහේ Narrate කරන්න එහෙමත් නැත්නම් කතාව ප්‍රේක්ෂකයින්ට කියාගෙන යන්න කෙනෙක් ඉන්නවා. එහිදීද පොදු කාරණය නම් චිත්‍රපටය ආරම්භ වන දර්ශනය පිහිටි ස්ථානයට චිත්‍රපටය අවසන් වෙද්දී ආයෙත් පැමිණීම. ආර්යා : වතුරට පනින සීන් එකෙන් පටන් ගෙන ඒ සිද්ධියම යලි ආර්යා ගීතව එකතු වෙන්න භාවිතා වෙනවා. ආර්යා2 : ආරම්භ වෙන්නේ ආර්යාව ඉස්පිරිතාලෙට ගෙනත් ICU ඇතුලත් කරන දර්ශනයෙන්. එතැන් පටන් අජේ කතාව කියාගෙන ඇවිත් අවසානයේ ඉස්පිරිතාලෙදි කතාව ඉවර වෙනවා. රංගස්තලම් : ප්‍රකාශ් රාජ් අනතුර, චිට්ටිබාබු ප්‍රකාශ්රාජ්ගේ ලෙඩ ඇඳ ගාව ඉන්න දර්ශනය සහ අවසාන මිනිත්තු කීපයේ Narration එක යලි ලෙඩ ඇඳට පැමිණීම. 100% Love : චයිතන්‍යා බාර් එක්ක ඉන්න දර්ශනයකින් ආරම්භ වී ආයේ එතනට සීයා පැමිණීමෙන් කතාවේ අවසානය එළඹෙනවා. අවසන් මොහොතට මදක් පෙර (Pre – Climax) අපි බලාපොරොත්තු නොවූ අලුත් පෙරලියක් (Twist එකක්) ලබාදීලා කතාව අවසානයට අරගෙන යනවා. Nenokkadine හි Pre – Climax එක වෙනකන් කතාව Golden rice එකක් පැත්තට යාවි කියල කවුද හිතන්නේ.

 

හැබැයි හැමදේම ඒ විදිහට අරගෙන ආවත් සුකුමාර් හැම චිත්රපටියකම ආවසාන මොහොතේ ප්‍රේක්ෂකයා හැඟීම්බර කර චිත්‍රපටය අවසන් කිරීමට සමත් වෙනවා. ඒ නිසයි ගොඩක් වෙලාවට සුකුමාර්ගේ චිත්‍රපටි හැමෝටම මතක හිටින්නේ. තෙලුඟු සිනමාවේ වර්තමාන පරම්පරාවේ සිටින අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සුකුමාර් හඳුන්වන්න පුළුවන් වගේම අවිවාදයෙන්ම නම් කරන්න පුළුවන්. එළඹෙන කාලයේදී ඔහුගේ නවතම චිත්‍රපටය අල්ලු අර්ජුන් සමගින් පුෂ්පා සමගින් යලි රිදී තීරයන් ආක්‍රමණය කිරීමට ඔහු සූදානම් වනවා. එය පෑන් ඉන්දියන් චිත්‍රපටයක් ලෙසින් භාෂා ගණනාවකින් නිකුත් වනු ඇති. ඉතින් එහිදීද සුකුමාර්ට ආවේණික සිනමාකරණ ශෛලීන් රැසක් අපට දැකගන්නට හැකිවේවි යැයි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ආර්යා චිත්‍රපට දෙක ඇරුනම සුකුමාර් එකම ප්‍රධාන නළුවා සහ සහය නළුවන් සමග නැවත වරක් වැඩ කරලා නැහැ මගේ ගණනයන් වලට අනුව නම්. අල්ලු තමයි සුකුමාර් එක්ක නැවත නැවත වැඩ කරන්න වාසනාවන්ත වුනු එකම නළුවා. බොහෝ විට සුකුමාර් සිනමාවට පා තබන්නේ ආර්යා නිසාවෙන් වීම එයට හේතුවක් වෙන්නට ඇති. ඉතින් කෙසේ වෙතත් අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් පිටපත් රචකයෙක් ගැන මෙසේ දිගු සටහනක් ගෙනහැර දක්වමින් මං සමුගන්නවා. මෙය මෙවන් ලිපි මාලාවක ආරම්භයක් වනු ඇති. මීළඟට Ala Vaikunthapuramlo, Aravinda Sametha, Julai, Khaleja විශිෂ්ඨ සහ ජනප්‍රිය නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල ට්‍රිවික්‍රම් සිරිනිවාස් ගැන මෙවන් සටහනක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අපි විසිඋනා. හමුවෙමු දවසක. ජය!!!

 

– Pushpa First Look –

Author

One thought on “The Great Story Tellers | 01 | Sukumar : Genius Of Screen Writing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *