ඉංග්‍රීසිකොමික්දැනුමටපුවත්භාෂාවවගතුගවිවිධසියල්ල

Secret Invasion කොමික් පසුබිම හැඳින්වීම

Disney/Marvel එකමුතුවෙන් ගහන 9 වෙනි සීරීස් එක වන Secret Invasion කතාමාලාවේ පළවෙනි එපිසෝඩ් එක පෙරේදා (21) රිලීස් වුණා. ඉතින් ඒකට උපසිරැසි දැනටම පළ වෙලා තියෙනවා. ඒ ලිපියෙදී මම කිව්වනේ කොමික්වල කතාව බයිස්කෝප් මංසලේ පළ කරන්නම් කියලා. ඉතින් මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුවයි.

කොමික් පසුබිම

අපි හැමෝම දන්න විදියට Secret Invasion කතා පෙළ පළ කළේ Marvel Comics විසින්. Brian Michael Bendis විසින් රචිත කතාව 2008 ජුනි මාසයේ ඉඳන් 2009 ජනවාරි මාසය දක්වා issues 8ක් යටතේ පළ කරලා තියෙනවා. මේක crossover event එකක් නිසා අපි දන්න අඳුනන චරිත බොහොමයක් දකින්න ලැබෙනවා. ඒක ඉස්සරහට බලන්න පුළුවන් වේවි.

Secret Invasion කියන්නේ මාවල් එකේ Civil War කතා මාලාවට පස්සේ ආව කතා මාලාව. මේ කතාව ලියන්න ප්‍රධානතම හේතුව වුණෙත් Civil War එකම තමයි. ඒ කොහොමද කියනවා නම්, Civil War එකේදී හඳුන්වලා දුන්නා මෙහෙම දෙයක්; සුපිරි වීරයන් තමන්ගේ අනන්‍යතාවය රජයට හෙළි කරලා රජය කියන විදියට වැඩ කරන්න ඕන කියන එක. ඒක සිද්ධ වුණේ “Superhero Registration Act” හෙවත් “සුපිරිවීරයන් ලියාපදිංචි කිරීමා පනත” යටතේයි. Captain America: Civil War චිත්‍රපටියට පදනම වුණෙත් මේ කතා මාලාවයි. කොහොම හරි, ව්‍යාපාරමය කෝණයකින් ගත්තාම මේ පනත මාවල්ලට එච්චර හිතකර නෑ. තමන්ගේ අනන්‍යතාව ලියාපදිංචි නොකරපු වීරයින් නීතිවිරෝධි අපරාධකරුවන් විදියට සලකන නිසා මාවල් රචකයින්ට ලියන්න පුළුවන් කතා ප්‍රමාණය අඩු වුණා. ඒක නිසා මාවල් එකට ඕන වුණා මේ පනත අයින් කරලා දාන්න. ඉතින්, එයාලා කොමික්වලදී එකපාරටම ‘අපි සුපිරිවීරයන් ලියාපදිංචි කිරීමේ පනත අවලංගු කරනවා’ කියලා කිව්වා නම් කොමික් කියවන අය ‘මේ මොන විකාරයක්ද?’ වගේ කතා කියන්න තිබුණා. ඉතින් මාවල් එකට සිද්ධ වුණා ඒකට හොඳ හේතුවක් හදන්න. Secret Invasion කියන්නේ අන්න ඒකේ පළවෙනි පියවර.

ඉතින් කතාවේ ප්‍රධානම සංකල්පය තමයි ස්‍ක්‍රල්වරුන් මිනිස්සු විදියට වෙස් අරගෙන මිනිස්සු අතරේම මුහු වෙලා කරන රහසිගත ආක්‍රමණය හෙවත් secret invasion එක. මෙයාලට මිනිස්සුන්ගේ ස්වරූපය විතරක් නෙමෙයි, එයාලගේ මනසත් සහ මතකයනුත් අරගන්න පුළුවන්. ඒක නිසා එයාලව කොහොමවත් අඳුරගන්න බෑ. ඉතින් මේ තත්වය නිසා ඇති වුණ අර්බුදය තමයි කොමික්වල විස්තර වෙන්නේ. එහෙනම් අපි කතාව ගැන බලමු.

SECRET INVASION

මුලින්ම කියලා ඉන්න ඕන දෙයක් තමයි; මේ Secret Invasion නමින් තියෙන කතා මාලාව කලාප 8 කින් සමන්විත වුණාට මේකට තවත් කතා සම්බන්ධ වෙනවා. මං ඒවගෙත් අවශ්‍ය කොටස් පැහැදිලි කරන්නම්. මෙන්න මේවා තමයි කතාව කියවන්න කලින් දැනගෙන ඉන්න ඕන කරුණු:

· Secret Invasion සිද්ධ වෙන්නේ හරියටම Civil War ඉවර වුණු ගමන්ම වගේ. ඒක නිසා Avengers ලා කොටස් දෙකකට බෙදිලයි ඉන්නේ. තමන්ගේ අනන්‍යතාවය හෙළි කරපු අය The Mighty Avengers ලා විදියටත්, එහෙම නොකරපු අය The Secret Avengers ලා විදියටත් ඉන්නවා.

o   The Mighty Avengers – Iron-Man, Spider-Woman (Jessica Drew), Ms. Marvel (Carol Danvers), Ares, Black Widow ඇතුළු කණ්ඩායම

o   The Secret Avengers – Luke Cage, Spider-Man, Wolverine, Iron Fist, Echo, Ronin ඇතුළු කණ්ඩායම

·       ස්‍ටීව් රොජර්ස් Civil War කතා මාලාව අවසානයේදී මැරුණා. ඒක නිසා දැන් කැප්ටන් ඇමෙරිකා විදියට මනජනයා ඉදිරියේ පෙනී ඉන්නේ Bucky Barnes.

·       ඒවගේම Tony Stark හෙවත් Iron-Man තමයි දැන් S.H.I.E.L.D. එකේ ප්‍රධානියා විදියට ඉන්නේ. ඒ කියන්නේ එක්සත් ජනපදයේ ආරක්ෂාව තියෙන්නේ එයාගේ යටතේ කියන එකයි.

Secret Invasion එකට පෙරාතුව…

Secret Invasion #1 – #8 දක්වා ප්‍රධාන කතාව පළ වුණාට කතාව හරියටම පටන් ගන්නේ වෙනත්ම කොමික් එකකයි.

New Avengers #31

මෙන්න මේ කලාපයේදී තමයි ‘රහස් ආක්‍රමණය’ට පදනම වැටෙන්නේ. ඒ ඔක්කොම පටන් ගන්නේ Elektra ජපානයේ සිද්ධ වෙන සටනකදී මැරෙන එකත් එක්කයි. එයා මැරුණාම, කවුරුත් නොහිතූ විදියට එයාගේ රූපය වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්තිමට එළිවෙන්නේ මෙච්චර කල් Avengers ලත් එක්ක හිටපු Elektra ස්ක්‍රල් කෙනෙක් බවයි.

මේක වහාම Tony Starkට දැනුම් දෙනවා. ටෝනිට තේරුම් යනවා මෙච්චර කල් කාටවත් අහු නොවී එයාලා අතරේම ස්ක්‍රල් කෙනෙක් හිටියා නම් අනිවාරෙන්ම තව ස්ක්‍රල්වරු සිය ගාණක් වුණත් ඉන්න පුළුවන් බව, ඇවෙන්ජර්ස්ලා අතරේම වුණත්…

Illuminati #5

අයන්-මෑන් මේ වෙච්ච සිද්ධිය දන්වලා Elektra ගේ මෘතදේහය Illuminati එකට අරගෙන යනවා. මේ කාලේ වෙනකොට ඒකෙ සාමාජිකයන් වෙන්නේ Iron-Man, Namor, Black Colt, Professor X, Doctor Strange සහ Reed Richards (Mr. Fantastic). අයන්-මෑන් මෙයාලත් එක්ක සාකච්ඡා කරනවා තව ස්ක්‍රල්වරු එයාල අතරේම ඉන්න පුළුවන් විදියත්, මේකට එයාලාට ඉක්මනට විසඳුමක් හොයාගන්න වෙන බවත්. මොකද ටෝනි විශ්වාස කරන විදියට, මේක පටන්ගැන්ම විතරයි.

Secret Invasion එක…

මෙන්න මෙතනින් තමයි Secret Invasion පළවෙනි කලාපය පටන් ගන්නේ. මං කලාපයෙන් කලාපයට පැහැදිලි කරන්නම්. එතකොට කතාව තේරුම් ගන්න පහසු වෙයි.

Secret Invasion #1

කතාව ආරම්භයේදීම අපි දකිනවා මාවල් විශ්වයේ ඉන්න හොඳම මොළකාරයෝ ටික, ඒ කියන්නේ Reed Richards, Tony Stark සහ Hank Pym ඉලෙක්ට්‍රාගේ මෘතදේහය පරීක්ෂා කරනවා. එයාලා හොඳටම පුදුම වෙලා ඉන්නේ, මොකද ඉලෙක්ට්‍රා ස්ක්‍රල් කෙනෙක් කියලා අඳුරගන්න එයාලා මෙච්චර කල් හදපු මොන තාක්ෂණයකටවත් බැරි නිසා. ටෙලිපතිවලින්වත්, වෙන එකක් තියා Doctor Strange ගේ මායාවන්වලින්වත් ඒක හොයාගන්න බෑ. හරියට නිකන් ස්ක්‍රල්වරු කියන්නේ පරිපූර්ණ පිටපත් වගේ. ඒවගේම මේ විද්‍යාඥයින්ට කිසිම අදහසක් නෑ ඔරිජිනල් අයට වුණේ මොකක්ද කියන එක ගැන.

ඒ අතරේ The Peak කියලා හඳුන්වන S.W.O.R.D. එකේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට Dum Dum Dugan ඇතුළු වෙනවා. Dum Dum Dugan කියන්නේ නික් ෆියුරිගේ කණ්ඩායමේ ඉන්න පළපුරුද්දෙන් වැඩිම, රයිෆල් ගැන විශේෂඥ දැනුමක් තියෙන නියෝජිතයෙක්. එයා එන්නේ Peak එකේ වැඩකටයුතු අධ්‍යනය කරන්න ආවා කියාගෙනයි. ඒ වෙලාවෙදී Peak එකේ ප්‍රධාන නිලධාරියා වන Abigail Brand ට අහු වෙනවා හඳුනා නොගත් ස්ක්‍රල් අභ්‍යවකාශ යාත්‍රාවක් Savage Land එකට කඩන් වැටෙනවා. Brand මේක ගැන ටෝනි ස්ටාක්ට දැනුම් දුන්නට පස්සේ එයා ඒක ගැන බලන්න The Mighty Avengers ලත් එක්ක යනවා.

Sidenote: Savage Land කියන්නේ Marvel Comics වල තියෙන, ඇන්ටාක්ටිකාව අසල පිහිටලා තියෙන ප්‍රාග් ඓතිහාසික භූමියක්. ඒ කියන්නේ මේකෙ තියෙන්නේ පෘථිවියේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණු පසුබිම කියන එකයි. උදාහරණයක් විදියට, ඩයිනසෝර්ලා Savage Land එකේ ජීවත් වෙනවා.

මේ අතරේ Mighty Avengers ලගේම සාමාජිකයෙක් වෙච්ච Spider-Woman කෝල් එක්ක දීලා Luke Cage ඇතුළු Secret Avengers ලට මේක දන්වනවා. එයා කියන්නේ එයාට ටෝනිට වඩා ලූක්ව විශ්වාසයි කියලා. කොහොමහරි ඉතින් Secret Avengersලා හැංගිලා හිටියට එයාලා වීරයෝ නිසා එයාලත් මේ කඩන් වැටුණු යානාව මොකක්ද කියලා බලන්න යනවා. දෙගොල්ලෝම කඩන් වැටුණු යානාව ළඟදී හම්බවුණාම ආපහු Civil War එකක් වගේ වාද කරන්න ගන්නවා.

මේ ඔක්කොම Peak එකේ ඉන්න නිලධාරීන් බලාගෙනයි ඉන්නේ. හදිසියේම Dum Dum Dugan එයා ස්ක්‍රල් කෙනෙක් බව එළිකරලා Peak එක පුපුරවා අරිනවා. කොහොමහරි Abigail Brand ට සහ එයාගේ තව නිලධාරීන් කීප දෙනෙක්ට ඔක්සිජන් බුබුළුවල හිරවෙලා යානයෙන් එළියට පැනගන්න ලැබෙනවා.

ඒත් මේ රැවටිලි මෙතනින් ඉවර වෙන්නේ නෑ. ජාවිස් හෙවත් අයන්-මෑන්ගෙ විශ්වාසවන්ත සේවකයා එක පාරටම එයා ස්ක්‍රල් කෙනෙක් බව හෙළි කරලා අයන්-මෑන්ගේ ඇඳුමට වෛරස් එකක් ඇතුළ් කරනවා. ඒක නිසා අයන්-මෑන්ගේ ඇඳුම එක්ක සම්බන්ධ වෙලා තිබුණු ඔක්කොම දේවල්, ඒ කියන්නේ හමුදා සැටලයිට් ඔක්කොම, U.S. ආයුධ ආදී ඔක්කොම ටික ස්ටාක්ගේ පාලනයෙන් ගිලිහිලා ස්ක්‍රල්වරුන්ගේ පාලනයට නතු වෙනවා. U.S. වල තියෙන හිරගෙවල් ඇරිලා සුපර්විලන්ලාව නිදහස් වෙනවා. සරලවම කියනවා නම්, මුළු රටම ස්ක්‍රල්වරු අල්ලගත්තා.

ඒ අතරේ Savage Land එකට කඩා වැටුණු යානාව ඇරෙනවා. ඒකේ ඉන්නවා පරණ වීරයෝ, එයාලගේ පරණ ඇඳුම් ඇඳගෙන. කැප්ටන් ඇමරිකා හෙවත් ස්වීව් රොජර්ස් ත් එතන ඉන්නවා! දෙගොල්ලන්ට දෙගොල්ලෝ මූණ බලාගෙන එයාලා සටනකට ලෑස්ති වෙනවා, කවුද ස්ක්‍රොල්වරු, කවුද ඇත්ත මිනිස්සු කියන එක දන්නේ නැතුව.

මේ අතරේ ඔක්සිජන් බුබුළක් ඇතුළේ ඉඳන් අභ්‍යවකාශේ පාවෙවී ඉන්න Abigail Brand දකිනවා ස්ක්‍රල් ප්‍රහාරක යානා ගොඩක් එයාව පහු කරගෙන පෘථිවිය පැත්තට යනවා.

ඒ අතරේ පෘථිවියේ ඉන්න රීඩ් රිචර්ඩ්ස් අවසානයේදී හොයා ගන්නවා ස්ක්‍රල්වරුන්ව මිනිස්සුන්ගෙන් වෙන් කරලා අඳුරගන්න පුළුවන් ක්‍රමයක්. එයා සතුටින් හෑන්ක් පිම් දිහා බලනකොට එයා දකිනවා හෑන්ක් තමන් දිහාට තුවක්කුවක් මානාගෙන ඉන්න විදිය. හෑන්ක් තමන් ස්ක්‍රල් කෙනෙක් බව එළි කරලා පරමාණු අස්ථාවර කරන තුවක්කුවකින් රීඩ්ට වෙඩි තියනවා. අන්න එතනින්, පළවෙනි කලාපය අවසන් වෙනවා.

Secret Invasion #2

දෙවෙනි කලාපය පටන් ගන්නේ Savage Land හි දී. ස්ක්‍රල් අභ්‍යවකාශ යානයේ හිටපු සුපිරි වීරයන් සහ පෘථිවියේ ඉඳන් Savage Land එකට ගියපු සුපිරි වීරයන් අතර සටනක් ඇති වෙනවා. කවුද ස්ක්‍රල් කවුද මිනිස් කියලා අපට හොයාගන්න බෑ. ඒවගේම සුපිරිවීරයන්ටත් ඒක හොයාගන්න බෑ. සටන මේ විදියට දිගටම සිද්ධ වෙනවා.

මේ අතරේ වෛරස් එක නිසා දුර්වල වෙලා ඉන්න ටෝනිව මිස් මාවල් හෙවත් කැරොල් ඩැන්වර්ස් විසින් සටනෙන් ඈත තියෙන, අතහැරලා දාපු පරීක්ෂණාගාරයකට ගෙනියනවා. ටෝනි මිස් මාවල්ට නිව්යෝක්වලට යන්න කියලා එයාගේ ඇඳුම ආපහු හදන්න පටන් ගන්නවා.

Savage Land සටනේ එක්තරා අවස්ථාවක, රෝනින් එයාගේ බිරිඳ වන Mocking Bird වෙත ඊතලයක් මානගෙන කෑගහනවා ඔක්තෝබර් 12 වෙනිදා ගැන විශේෂ දෙයක් කියන්න කියලා. එතකොට Mocking Bird කියනවා එයාල දෙන්නගේ දූ උපදින්නත් කලින් නැතිවුණු බවත්, එයා ඔක්තෝබර් 12 වෙනිදා උපදින්න හිටිය බවත්. මේක ඒ දෙන්නා විතරක් දැනගෙන හිටපු දෙයක් නිසා රෝනින් සහතික කරනවා ඒ ඉන්නේ ඇත්ත Mocking Bird ම බව.

කලාපය අවසානයේදී අපි ට නිව්යෝක් නගරය පෙන්නනවා. එතනදී අපි දකිනවා නිව්යෝක් නගරය ස්ක්‍රල්වරු විසින් ආක්‍රමණය කරලා තියෙන බව. ඒවගේම සුපිරි ස්ක්‍රල්වරු, ඒ කියන්නේ සුපිරිවීරයන්ගේ බලයන් පවා අනුකරණය කරන්න පුළුවන් ස්ක්‍රල්වරු නිව්යෝක් නගරයට පහර දෙන්න පටන් ගන්නවා.

Secret Invasion #3

ඉතින් දෙවෙනි කලාපය අවසානයේදී දැක්කා වගේ මේ වෙනකොට නිව්යෝක් නගරය සුපිරි ස්ක්‍රල්වරුන්ගේ ආක්‍රමණයකට යටත් වෙලා තියෙන්නේ. ප්‍රධාන ඇවෙන්ජර්ස් කණ්ඩායම් දෙකම මේ වෙනකොට Savage Land එකේ සටනක පැටලිලා. ඒක නිසා Young Avengers ලා ස්ක්‍රල්වරුන් එක්ක සටනට යනවා.

Sidenote: Young Avengers ලා කියන්නේ තරුණ ඇවෙන්ජර්ස්ලා කණ්ඩායමක්. ප්‍රධාන ඇවෙන්ජර්ස්ලගේ ගෝලයන් කිව්වත් හරි. මෙයාලට අයිති වෙන්නේ Patriot, Hulkling, Kate Bishop Hawkeye, Cassie Lang, Vision ඇතුළු පිරිසක්. නිව්යෝක් නගරයේදී ස්ක්‍රල්වරු එක්ක සටන් කට්‍රන්න හිටියේ මෙයාලා විතරයි.

මේ අතරේ Savage Land එකේ ඉන්න ටෝනි වෛරස් එකත් එක්ක සටන් කරන ගමන් එයාගේ ඇඳුම අලුත්වැඩියා කරගන්න දඟලනවා. මේ අතරේ තමයි Spider-Woman හෙවත් Jessica Drew එයාව බලන්න එන්නේ. එයා ඇවිල්ලා හෙළි කරනවා එයා තමයි ස්ක්‍රල්වරුන්ගේ රැජින කියලා. ඒවගේම එයා ටෝනිට කියනවා එයත් ස්ක්‍රල් කෙනෙක් බව. ඒත් ටෝනි ඒක පිළිගන්නේ නෑ. එතකොට ස්ක්‍රල් රැජින හෙළි කරනවා ටෝනිට තමන් මනුස්සයෙක් කියලා හිතන්න හුරු කරපු බව, සහ මෙච්චර කාලයක් ටෝනි කරපු හැම දෙයක්ම එයා නොදැනුවත්ව වුණත් කළේ ස්ක්‍රල්වරු වෙනුවෙන් බව.

නිව්යෝක්වක්වල ස්ක්‍රල්වරු එක්ක සටන් කරන Young Avengers ලා හතර වටෙන්ම පැරදීගෙන එනවා. ස්ක්‍රල්වරු විසින් Visionව මැරුවට පස්සේ Young Avengers ලාගේ සියලු බලාපොරොත්තු අවසන් බවක් තමයි පේන්නේ. ඒත් ඔන්න එතකොටම, නික් ෆියුරි එයාගේ කමාන්ඩෝස් කණ්ඩායමත් එක්ක සටන යන අත වෙනස් කරගෙන සටනට අවතීර්ණ වෙනවා.

Secret Invasion #4

කොමික් එක පටන් ගන්නකොට අපි දකිනවා ස්ක්‍රල්වරුන් රීඩ් රිචර්ඩ්ස්ව අල්ලගෙන එයාව පරීක්ෂණවලට ලක් කරනවා. එයාලා හදන්නේ එයාගේ දිග ඇදීමේ හැකියාව වැඩ කරන විදිය හොයාගෙන එයාව ඉවරයක් කරලා දාන්නයි. මොකද එයා ස්ක්‍රල්වරුන්ව වෙන් කරලා අඳුරගන්න විදියක් හොයාගෙන තියෙන නිසා.

මේ අතරේ Black Widow Savage Landවල ටෝනි ඉන්න තැන එළියේ ඉඳන් එයා සහ ස්ක්‍රල් රැජින/Spider-Woman අතර වෙන කතාබහ අහගෙනයි ඉන්නේ. නටාෂා ස්ක්‍රල් රැජිනට වෙඩි තියන්න හදනකොටම ඒ ළඟ තියෙන කැලෑවෙන් Beast සහ Jean Gray මතු වෙලා නටාෂාට පහර දෙන්න ගන්නවා. නටාෂා ඒ දෙන්නව පරාද කරලා ඉවර වෙනකොට ස්ක්‍රල් රැජින අතුරුදහන් වෙලා, ටෝනි විතරක් තනියම ඉන්නවා. ටෝනිට මේ වෙනකොට විශ්වාස නෑ එයා මනුස්සයෙක්ද නැත්නම් ස්ක්‍රල් කෙනෙක්ද කියලා. එතකොට නටාෂා අහනවා එයාට ඕනේ ස්ක්‍රල්වරුන්ව දිනවන්නද, නැත්නම් මිනිස්සුන්ව බේරගන්නද කියලා. ස්ටාක් මිනිස්සුන්ගේ පැත්ත තෝරගත්තාම නටාෂා එයාට ඇඩ්‍රිනලින් වගයක් විදිනවා එයාට ශක්තිය දෙන්න.

ඒ අතරේ Abigail Brand එයාගේ ඔක්සිජන් ඉවර වෙන්න කලින් Reed Richards ව රඳවගෙන ඉන්න යානයට ගොඩවෙනවා. එතකොට එයා දකිනවා Reedව ස්ක්‍රල්වරුන් අල්ලගෙන ඉන්න විදිය.

මේ අතරේ නිව්යෝක්වල සටන දිගටම සිද්ධ වෙනවා. නික් ෆියුරි, එයාගේ කමාන්ඩෝස්ලා සහ Young Avengers ලා දිගටම සුපිරි ස්ක්‍රල්වරුත් එක්ක සටන් කරනවා. සටන නවතින පාටක් පේන්න නෑ. එතකොටම විශාල අකුණු වරුසාවක් එක්ක තෝර් අහසින් බිමට බැහැලා සටනට එළඹෙනවා. ඒ, කැප්ටන් ඇමරිකාත් එක්කයි. අන්න එතනින් හතරවෙනි කලාපය ඉවර වෙනවා.

Secret Invasion #5

5 වෙනි කලාපය පටන් ගනිද්දි අපි දකිනවා තෝර් ස්ක්‍රල්වරුන්ව පරද්දලා සටන අවසන් කරලා කියලා. සුපිරි වීරයෝ හැමෝම බලාගෙන ඉන්නේ ටීවී තිර දිහා. ඒ සුපිරි තරු, දේශපාලඥයන් සහ මිනිස්සු විශ්වාස කරන අය විදියට වෙස් වළාගත්ත ස්ක්‍රල්වරු තමන්ගේ පණිවිඩය පතුරුවන හැටි. එයාලා කියන්නේ එයාලට පෘථිවියේ මිනිස්සු එක්ක සටන් කරන්න වුවමනාවක් නැති බවයි. එයාලා ඇවිල්ලා ඉන්නේ පෘථිවිය එයාලගේ අධිරාජ්‍යයට එකතු කරගෙන, පෘථිවියට සාමය උදා කරලා එයාලව වසංගත වගේ අනතුරුවලින් ගළවා ගන්න බවයි. මිනිස්සුන්ට යටත් වුණොත් ඒ ප්‍රතිලාභ ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්, නැත්නම් සටන් කළොත් මැරෙන්න පුළුවන්.

මේ අතරේ Abigail Brand යානයේ ඉන්න ස්ක්‍රල්වරුන්ව අභ්‍යවකාශයට විසි කරලා දාලා Reed Richards ව බේරගන්නවා. Reed මුලින්ම මෙයා ස්ක්‍රල් කෙනෙක් කියලා හිතලා මරන්න හැදුවත් පස්සේ එයා එහෙම නෑ කියලා තේරුම් ගන්නවා. ඊටපස්සේ එයා ස්ක්‍රල්වරුන් වෙන් කරලා අඳුරගන්න පුළුවන් උපකරණයක් හදන්න පටන් ගන්නවා.

ඊටපස්සේ රීඩ් කරන්නේ ඒ උපකරණය Savage Land එකට ගෙනැල්ලා ක්‍රියාත්මක කරන එකයි. එතකොට ඒකෙන් එළි කරනවා කවුද ඇත්තටම ස්ක්‍රල්වරු, කවුද ඇත්තටම මිනිස්සු කියලා. රෝනින්ගේ පුදුමයට, එයා හොයා ගන්නවා Mocking Bird ඇත්තටම ස්ක්‍රල් කෙනෙක් කියලා. ඒ කියන්නේ ස්ක්‍රල්වරුන්ට ස්වරූපය විතරක් නෙමෙයි, මතකයන් පවා අනුකරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. රෝනින්ට අන්තිමේදී එයාව මරන්න සිද්ධ වෙනවා.

ඊටපස්සේ ඔක්කොම වීරයෝ ටික, අයන්-මෑන් ද ඇතුළුව, රීඩ්ගේ යානයට ගොඩවැදිලා සටන ඉවරයක් කරන්න නිව්යෝක්වලට යනවා.

Secret Invasion #6 and #7

මේ කලාප දෙකේදී අපි දකිනවා ලෝකෙ වටේම ස්ක්‍රල්වරු බලය අල්ලගෙන තියෙන හැටි. සුපිරි වීරයෝ තාමත් එයාලත් එක්ක සටන් කරනවා, ඒත් ස්ක්‍රල්වරු තමයි දිනන්නේ. Camp Hammond වල ඉන්න ස්ක්‍රල්වරුන් ස්ක්‍රල් හෑන්ක් පිම් ට දැනට ඉතිරි වෙලා ඉන්න සුපිරි වීරයන් ගැන වාර්තා කරනවා. ස්ක්‍රල්වරු අතර නොසන්සුන්තාවක් පැතිර යන්න පටන් අරගෙන. ඒත් හෑන්ක් කියනවා ජැනට් වෑන් ඩයින් සුපිරි වීරයන් අතර ඉන්න තාක්කල්, එයාලා දිනාවි කියලා.

ඒ අතරේ රීඩ් ඇතුළු කණ්ඩායම නිව්යෝක්වලට ළඟා වෙනවා. එච්චර පොඩි කාලයක් ඇතුළත ස්ක්‍රල්වරු කරපු විනාසය දැකලා හැමෝම පුදුම වෙනවා. තාමත් ස්ක්‍රල් යානා නගරයට උඩින් නවත්තලා තියෙන්නේ. පහළ, පොලීසිය අවුල්ජාලා මර්දනය කරන්න පුළුවන් උපරිමයෙන් උත්සහ කරනවා.

අන්තිමේදී සුපිරි වීරයන් සහ ස්ක්‍රල් හමුදාව මුහුණට මුහුණ හමුවෙනවා. රීඩ් එයාගේ උපකරණය ක්‍රියාත්මක කරලා ස්ක්‍රල්වරුන්ව එළි කරනවා.

ඊටපස්සේ ඉතින් හැමතැනම පැතිරුණ දරුණු සටනක් පටන් ගන්නවා. Watcher පවා මේ සටන බලන්න එනවා, ඒත් එයා එයාගේ ප්‍රතිපත්තිය රකිමින් සටනට බාධා කරන්නේවත්, උදව් කරන්නේවත් නෑ.

වීරයන් දිනාගෙන එන බවක් තමයි පේන්නේ. ඒක නිසා, ස්ක්‍රල්වරුන් එයාලගේ failsafe plan එක ක්‍රියාත්මක කරනවා.

එක පාරට ජැනට් වෑන් ඩයින් එයාගේ giant form එකට ලොකු වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට මතක් වෙනවා හෑන්ක් පිම් එයාට giant form එකට විශාල වෙන්න ඕන වුණොත් කියලා එන්නත් කරපු බෙහෙතක් ගැන. දැන් ජැනට් දන්නවා හෑන්ක් කියන්නේ ස්ක්‍රල් කෙනෙක් කියලා. ඒවගේම ඒක විශාල වෙන්න දුන්නු බෙහෙතක් නෙමෙයි… ඒක ජැනට්ව මිනිස් බෝම්බයක් බවට හරවන්න දුන්නු බෙහෙතක්. ඒවගේම දැන් ඒක පිපිරිලා හැමෝවම මරන්නයි යන්නේ.

Secret Invasion #8 – Finale

තෝර් ඉදිරිපත් වෙනවා එයාගේ දිව්‍යමය බලයන් සහ මායාවන් පාවිච්චි කරලා ජැනට් වටා කුණාටුවක් ඇති කරලා එයාගේ පිපිරුම පාලනය කරන්න. මේ අතරේ අනිත් වීරයෝ ස්ක්‍රල්වරු එක්ක සටන් කරනවා. අවසානයේදී වීරයෝ ටික ස්ක්‍රල් රැජිනව මරන්න හදනකොටම එයාගේ පිටිපස්සෙන් ආව නෝර්මන් ඔස්බෝන් විශේෂ තුවක්කුවකින් වෙඩි තියලා රැජිනව ඉවරයක් කරනවා… ප්‍රවෘත්ති කැමරා ඉදිරියේදී. වීරයෝ ටික අභ්‍යවකාශයට ගිහිල්ලා ස්ක්‍රල් යානා විනාශ කිරීමත් එක්ක සටන අවසන් වෙනවා.

තවත් අභ්‍යවකාශ යානාවක් පොළවට කඩාගෙන වැටෙනවා. වීරයෝ ටික තවත් දරුණු සටනකට ලෑස්ති වෙනවා. ඒත් ඒකේ දොරවල් අතරින් එළියට එන්නේ ස්ක්‍රල්වරු වෙස් වළාගත්ත අය; ඒ කියන්නේ ඔරිජිනල් මනුස්සයෝ ටික.

ස්ක්‍රල්වරුන්ට මුළු රටම අල්ලගන්න පුළුවන් වුණු එකේ ප්‍රධාන වැරදිකාරයා වෙන්නේ Tony Stark හෙවත් Iron-Man. මොකද එයාගේ පද්ධතියට රටේ හැම ආරක්ෂක උපාංගයක්ම සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම්, ස්ක්‍රල්වරුන්ට ඒවා අල්ලගන්න බැරි වෙන නිසා. මේක නිසා ටෝනිව S.H.I.E.L.D. එකේ ප්‍රධානියා කියන තනතුරෙන් අයින් කරලා එතනට පත් කරනවා අවසාන මොහොතෙදී ඇවිල්ලා ස්ක්‍රල් රැජිනව මරලා මිනිස්සු ඉදිරියේ වීරයෙක් වෙච්ච නෝර්මන් ඔස්බෝර්න්ව.

ඕන්න ඔය විදියට, Secret Invasion හෙවත් ‘රහස් ආක්‍රමණය’ කතා මාලාව සමාප්ත වෙනවා. මම මේක පුරුදු විදියට උපසිරසියට ලියන ලිපියේම නොලියා බයිස්කොප් මංසලේ ලිපියක් විදියට පළ කරන්න හිතුවේ මේකේ තියෙන දිග නිසාමයි. ඉතින්, දිග කොහොම වුණත්, මේක කියවලා සතුටක් සහ තෘප්තියක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. TV show එක නම් කොහෙත්ම කොමික් එක වගේ වෙන එකක් නෑ, මොකද කොමික් එකේ ඉන්න Reed Richards වගේ ප්‍රධාන චරිත හුඟක් තාම හඳුන්වලා දීලා නැති නිසා. කොහොම නමුත්; මේ කොමික් එක මාවල් කොමික්ස්වල අනාගතය වෙනස් කළා වගේම, Secret Invasion TV show එකෙනුත් අනාගත MCU එකට ප්‍රබල බලපෑමක් තියෙයිද? ඒ ගැන බලන්නනම් ඉතින් ඒක බලන්නම වෙනවා.

එහෙම නම්, මම ලිපිය මෙතනින් අවසාන කරන්නම්. මේ වෙද්දි අපේ මව් අඩවියේ උපසිරැසි ලබා දීලා තියෙන Secret Invasion සම්පූර්ණ කතා මාලාව කොහොම ගලාගෙන යාවිද කියලා බලන්න කියලා ආරධනා කරනවා. පීස් ✌️.

Spider-Woman: He loves you.
Spider-Man: He who?
Spider-Woman: God.
Nick Fury: Yeah? Well, my god has a hammer. AVENGERS ASSEMBLE!

– Secret Invasion #8

Author

2 thoughts on “Secret Invasion කොමික් පසුබිම හැඳින්වීම

  • බයිස්කෝප් මංසලට සාද‍රයෙන් පිළිගන්නවා!
    සෑහෙන මහන්සි වෙලා තොරතුරු හොයලා ලියපු ලිපියක්.
    ගොඩක් ස්තුතියි සනුප මල්ලි.
    දිගටම මේ වගේ වටිනා ලිපි ලියමු.
    ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *