ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

The Assassination of Gianni Versace කතා මාලාවට පසුබිම් වුණු ඛේදජනක සත්‍ය කතාව

අද මම ඔයාලට කියන්න යන්නේ බයිස්කෝප් අඩවියේ සිංහල උපසිරැසි සමඟින් පළ කෙරුණු American Crime Story කතා මාලාවේ දෙවැනි කතා සමය වන The Assassination of Gianni Versace ටෙලිනාට්‍යයට පසුබිම් වුණු ඇන්ඩ්රූ කුනානන් නම් දාම ඝාතකයාගේ සත්‍ය කතාව ගැනයි. ඇන්ඩ්රූ කුනානන්, 1997 ජුනි 12 වැනි දින 449 දරණ අංකය යටතේ FBI හි Top Most Wanted ලැයිස්තුවටද ඇතුළත් කෙරුණු අතර ඉන් මාසයක් ගත වන තුරු එම ලැයිස්තුවේ රඳවා ගැනුණා. ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් ඇඟළුම් නිර්මාණ ශිල්පී ජියානි වර්සාචි, චිකාගෝහි දේපළ සංවර්ධන සහ වෙළඳාම් ව්‍යාපාරිකයෙක් වුණු ලී මිග්ලින් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් ඝාතනය කරන්නට ඔහු සමත් ව තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ එතෙක් දියත් කෙරුණු විශාලතම සෙවුම් මෙහෙයුම අසාර්ථක කරමින් පොලිසියට හසු නොවී සැඟව සිටින්නට තරම් දක්ෂ වුණ කුනානන් පොලිසිය ඔහුව සොයමින් සිටි කාලය තුළ පවා සමාජශාලා වලත්, ඉහළ පෙළේ ආපනශාලා වලත් විනෝද වෙමින් කාලය ගත කරමින් සිට තිබෙනවා.

ඉහළ බුද්ධිමත් බවක් පෙන්වූ, සාර්ථකත්වය කරා ගමන් කරන බව පෙනුණු, තමා ආශ්‍රය කළ බොහෝ දෙනා අතර බෙහෙවින් ආකර්ෂණීය තරුණයෙක් ලෙස කැපී පෙනුණු ඇන්ඩ්රූ කුනානන් බිහිසුණු දාම ඝාතකයෙක් වුණේ කොහොමද? ඔහුගේ පවුල් පසුබිම සහ ළමා අවධිය කෙසේ ගතවන්නට ඇතිද? සමලිංගික රුචිකත්වයක් තිබුණු කුනානන් ඔහුගේ සමීප හිතවතුන් වුණු දෙදෙනෙකු ඇතුළුව පස් දෙනෙක්ව ඝාතනය කළේ ඇයි? ඔහු අතින් ඝාතනය වුණු පුද්ගලයන් කවුද? ඔවුන් තම ඉරණම් කරා ගමන් කළේ කෙසේද? ඒ ඝාතන ගැන විමර්ෂණ සිදු වුණේ කෙසේද? ඒ සත්‍ය කතාව සහ ටෙලිවෘතාන්තය අතර සමානකම් වෙනස්කම් මොනවාද?ටෙලිවෘතාන්තය වෙනුවෙන් මේ බොහෝ සිදුවීම් උපකල්පන ඔස්සේ ගොඩ නැංවීමට සිදුව තිබෙන්නේ මේ සිදුවීම් වලට මුහුණ දුන් අය ජීවතුන් අතර නොමැති නිසයි. මේ සියලු දේවල් ගැන තොරතුරු අද ලිපියෙන් සොයා බලමු. මේ ටෙලි වෘතාන්තයේ කතාව යළි ප්‍රකාශ කිරීමක් නෙවෙයි, සත්‍ය කථාව විවිධ මූලාශ්‍ර ආශ්‍රයෙන් නැවත ගොඩ නැංවීමක්. මේ ලිපිය ගොඩක් දිගු වෙන බවට නම් සැකයක් නැහැ.

ඇන්ඩ්රූ පිලිප් කුනානන් සොයා එක්සත් ජනපදයේ බෙදා හැරුණු අත්පත්‍රිකා

1969 අගෝස්තු 31 වැනි දින, කැලිෆෝනියාවේ නැෂනල් සිටිහි ඇන්ඩ්රූ ෆිලිප් කුනානන් උපත ලැබුවේ මොඩෙස්ටෝ පීට් කුනානන් නම් පිලිපීන ඇමරිකානු ජාතික පියෙකුගේ සහ මේරි ඈන් ස්කිලාචි නම් ඉතාලි ඇමරිකානු මවකගේ සිව්වන දරුවා ලෙසයි. ඔහුට ක්‍රිස්ටෝපර් කුනානන් නම් වැඩිමහල් සහෝදරයෙක්ද, එලීනා සහ රෙජිනා නමින් සහෝදරියන් දෙදෙනක්ද සිටියා. ඇන්ඩ්රූ ඉපදෙන කාලයේ මොඩෙස්ටෝ කුනානන් එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය කරමින් වියට්නාම යුද්ධයට දායක වෙමින් සිටියා. නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිළධාරියෙකු ලෙස කළ සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහු කොටස් වෙළඳපොළ තැරව්කරුවෙකු බවට පත් වුණා. ඇන්ඩ්රූගේ පියා දැඩි නීති රීති පැනවූ අයෙකු වුවත් ප්‍රචණ්ඩ ගති පැවතුම් ඇති අයෙකු නොවූ අතර ඇන්ඩ්රූගේ මව ජාතික දැඩි ආගම් භක්තික අහිංසක කාන්තාවක් වුණා. මේ නිසා ඇන්ඩ්රූ, අපරාධ විශේෂඥයන් විසින් මුල් ළමාවිය කම්පන (Early Childhood Traumas) ලෙස හඳුන්වන බිහිසුණු අපරාධකරුවන්ගේ ළමා කාලයේ අත්දකින පීඩාකාරී අත්දැකීම් වලට මුහුණ දුන් අයෙක් නොවෙයි. එපමණක් නෙවෙයි ඔහු පවුලේ සැමගේ සුරතලා ලෙස අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා වැඩි සැළකිල්ලක් ලැබුණු අයෙක්ද වුණා.

ඇන්ඩ්රූ කුනානන් සහ පවුලේ සාමාජිකයන්

ඇන්ඩ්රූගේ දෙමව්පියන් විශ්වාස කළේ ඔහු යම් දිනෙක සමාජයේ කැපී පෙනෙන, ජනප්‍රිය, ධනවත් ප්‍රභූ පුද්ගලයෙක් වනු ඇති බවයි. ඔවුන් එය ඇන්ඩ්රූට ඒත්තු ගන්වන්නට උත්සාහ කළා. මේ නිසා ඇන්ඩ්රූගේ පියා ඔහුව ඇමරිකාවේ ඉහළම පාසලක් ලෙස සැළකෙන බිෂොප් විද්‍යාලයට ඇතුළත් කරන්නට උත්සහ කළ අතර තෝරාගැනීමේ පරීක්ෂණයෙන් සමත්ව ඇන්ඩ්රූ 1981 දී පාසලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා. එම පාසලේ වසරකට ගාස්තුව එකල ඩොලර් 9,000ක් පමණ වුණා. පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලබද්දී ඇන්ඩ්රූගේ IQ අගය 147ක් වූ අතර ඔහුගේ වයසට එය ඉතාම ඉහළ අගයක් වුණා. කොටස් තැරව් කරුවෙකු ලෙස ඇන්ඩ්රූගේ පියා ඉපැයූ මුදල් ඇන්ඩ්රූ වෙනුවෙන් වියදම් කෙරුණේ ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට වගේම ඉහළ සමාජයේ ආචාරධර්ම, සිරිත් විරිත් සහ ආචාරශීලීව කතාබහ කරන ආකාරය ඉගැන්වීමටයි. තරුණයෙකු ලෙස උසස් පැලැන්තියේ ජීවන රටාවක් ගෙවමින් සුඛෝපභෝගී ලෙස ජීවත්වන්නට ඔහුගේ පියා විසින් ඔහුට සියලු සැප සම්පත් ලබා දෙන්නට උත්සහ කළා. බිෂොප් උසස් පාසලට ඇතුළත් කිරීමත් සමඟ කුනානන් පවුල ඒ පාසැලට ආසන්නව සැන් දියෙගෝහි නිවෙසක පදිංචියටද පැමිණි අතර, ඒ නිවසේ ප්‍රධාන නිදන කාමරයද, ඊටම යාබද නාන කාමරයද ඇන්ඩ්රූ වෙනුවෙන් ලබා දුන්නේ ඔහුට තමන් විශේෂ පුද්ගලයෙක් ලෙස සිතන්නට පුරුදු කරන්නයි. ලාබාල වියේදීම ස්පෝර්ට්ස් කාර් රථයක් ද මොඩෙස්ටෝ විසින් ඇන්ඩ්රූට අරන් දුන්නා. මේ සියල්ල එක්ක නැෂනල් සිටි වල තමන් ගෙවූ දිළිඳු ජීවිතයත්, සැන් දියෙගෝ හි සුඛෝපභෝගී ජීවිතයත් අතර වෙනස ඔහුට තදින් දැනෙන්නට පටන් ගත් අතර ඔහු තුළ පියා විසින් රෝපණය කළ ඉහළ සමාජයේ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවීමේ ආශාව වර්ධනය වීම ඇරඹුණා.

ඇන්ඩ්රූ කුනානන් කුඩා කල ඔහුගේ පියා වන මොඩෙස්ටෝ කුනානන් සමඟ (දකුණේ) සහ ටෙලිනාට්‍යයේ එම චරිත නිරූපණය කරන (පිළිවෙලින් ) Edouard Holdener සමඟ Jon Jon Briones (වමේ)

ඇන්ඩ්රූට මහා ඉහළින් සැළකුවත් ඇන්ඩ්රූගේ පියා මොඩෙස්ටෝ ඇන්ඩ්රූගේ මව වුණු මේරි ඈන් කෙරෙහි බෙහෙවින් පීඩාකාරී ලෙසයි හැසිරුණේ. මොඩෙස්ටෝගේ වාචික අපහරණයන් වලට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස ඇය නිදන්ගත විශාදය තත්වයකට ද ගොදුරු වුණා. මෙලෙස දෙදරා ගිය පවුල් පසුබිම ඇන්ඩ්රූ විසින් පාසලේ මිතුරන් ඉදිරියේ වසන් කළේ තම පවුල කෙතරම් ධනවත්ද සහ තම ජීවිතය කෙතරම් සර්වසම්පූර්ණද යන වග පෙන්වන බොරු කතන්දර ගණනාවක් ප්‍රකාශ කරමින්. ඔහු තමන් සතු වුවාට වඩා වැඩි වත්කමක් ප්‍රදර්ශනය කළා පමණක් නොවෙයි ඔහු එවැනි දේ තමා සතු වුණු බවට සිහින මවමින් මනෝ ලෝකයක ජීවත් වුණු බවයි ඔහුගේ මිතුරන් පසුව පවසා තිබුණේ. එහෙත් ඇන්ඩ්රූ කියූ බොහෝ දේ බොරු බව බොහෝ මිතුරන් වටහාගෙන සිටියා. ඔහු බොරු කීමේ රෝගයක් වැළඳුනු අයෙකු ලෙසයි ඔවුන් හැඳින්වුයේ. එපමණක් නොව තම සමලිංගික රුචිකත්වය ගැන පාසැල් ප්‍රජාව තුල විවෘත වුණු ඇන්ඩ්රූ වෝටර් පෝලෝ කණ්ඩායමේ සාමාජිකයන් පසුපස යමින් ඔවුන්ට විසිල් ගසමින් එය ප්‍රදර්ශනය කිරීමට ද ක්‍රියා කළා. මේ සියල්ලෙහි අරමුණ අන් අයගේ අවධානය තමන් වෙත දිනාගැනීම වුණා. කෙසේ වෙතත් ඔහු රහසිගතව සමලිංගික වුණු වැඩිහිටි පුරුෂයන් සමඟ සමලිංගික සබඳතා පවත්වන බවද මිතුරන් අතර නොරහසක් වුණා. කෙසේ වෙතත් 1987 දී බිෂොප් උසස් පාසලෙන් සමත්ව සැන් දියෙගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයටද ඇතුළත් වූ අතර එහිදී ඇමරිකානු ඉතිහාසය සම්බන්ධව ප්‍රථම උපාධියේ කටයුතු ආරම්භ කළා.

කැලිෆෝනියාවේ ලා යොලාහි පිහිටා ඇති බිෂොප් විද්‍යාලයේ 1987 වසරේ වාර්ෂික සමරු පුස්තකයේ ඇතුළත් කෙරුණු ඇන්ඩ්රූ කුනානන්ගේ සුප්‍රකට ඡායාරූප යුගලය සහ ඊට අනුරූපව ටෙලිනාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කෙරුණු ඩැරන් ක්‍රිස්ගේ ඡායාරූප. වම්පස ඡායාරූපයේ ශීර්ෂ පාඨය ‘Après mois le déluge’ (ප්‍රංශ බසින්: ‘ මගෙන් පසු කුණාටුවක්’ ) ලෙසින්ද, දකුණු පස ඡායාරූපයේ ශීර්ෂ පාඨය “The Most Likely to be Remembered” (“මතකයේ රැඳෙන්නට වඩා ඉඩ ඇති තැනැත්තා” ) යනුවෙන්ද සටහන් කෙරී තිබුණි. කුනානන් පසු කලෙක සිදු කළේ එකී ශීර්ෂ පාඨ වලට බෙහෙවින් ගැලපෙන ක්‍රියාවන් වීම සිත් ඇදගන්නා සුළු කරුණකි. පසු කලෙක එම කුණාටුවේ ප්‍රබලත්වය එක්සත් ජනපදයම දෙදරවන්නට සමත් විණි.

මේ සියල්ල මෙසේ ගලා යන අතරතුර ඇන්ඩ්රූගේ සිහින ජීවිතය සුනුවිසුණු වෙන්න වැඩි කලක් ගියේ නැහැ. 1988දී, ඇන්ඩ්රූට යන්තම් වයස 19ක් වෙද්දී, කොටස් වෙළඳපොල තැරැව්කරුවෙකු වුණු ඔහුගේ පියා පවුල හැරදමා පිලිපීනයට පළා ගියේ ඩොලර් 100,000ක ආයෝජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට සැකකරුවෙක් වුණු නිසයි. එසේ පළා යද්දී ඔහු පවුල සතුව පැවතුණු මුදල් සියල්ලම වාගේ රැගෙන ගිය අතර ඔවුන් සිටි නිවෙස පවා රහසින් විකුණා දමා තිබුණා. මේ කාලයේ ඇන්ඩ්රූ සමලිංගික සමාජශාලා වල සාද පැවැත්වීමට වැඩි කාලයක් ගත කළ නමුත් දැඩි කතෝලික බැතිමතියක් වුණු ඔහුගේ මව එය අනුමත කළේ නැහැ. වරක් ඔහු මව සමඟ මේ ගැන වාද කරගෙන මවව තල්ලු කර දැමු අතර බිත්තියක වැදීමෙන් ඇයගේ උරහිස බිඳී ගියා. සිය මව කෙරෙහි මෙවැනි ප්‍රචණ්ඩත්වයක් පෙන්වීමට ඔහුගේ පියාගේ හැසිරීමේ ආභාෂය හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. එමෙන්ම ඇන්ඩ්රූ කුනානන් සමාජ විරෝධී පෞරුෂ ආබාධය (Antisocial personality disorder) නැමැති තත්වයට ද ගොදුරු ව සිටින්නට ඇතැයි අනුමාන කෙරෙනවා. ඒ හේතුවෙන් සිය මව ඇතුළුව අන්‍යයන් කෙරෙහි අනුකම්පා විරහිතව ප්‍රචණ්ඩ හැසිරීමක් පෙන්නුම් කරන්නට ඔහු පෙළඹුණා. මොඩෙස්ටෝ කුනානන් විසින් පවුල අත් හැර දැමීම ඇන්ඩ්රූට මහත් කම්පනයක් වූ අතර බොරු කීමෙන් ගොඩ නංවා ගත් ලෝකය සුනුවිසුණු වන්නට එය හේතු වුණා. මේ තමන් ඇසුරු කළ සමාජයේ බබළමින් සිටි ඇන්ඩ්රූගේ ජීවිතයේ පළමු ඇදවැටීම වුණා.

ඇන්ඩ්රූ කුනානන්ගේ ළමා කාලයේ පින්තූර එකතුවක්. ඔහු පාසල් කාලයේ පවා ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක් වුණා. බොරු ධනවත්කමක් සහ වැදගත්කමක් පෙන්වමින් සිටියද, හිතවතුන්ගේ ආදරය සහ අවධානය දිනාගන්නට මහත් සේ ආශා කළ ඔහු මිනීමරුවෙකු වේ යැයි ඔහුගේ මිතුරන් කිසි දිනෙක සිතුවේ නැහැ.

1989 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අතහැර දැමු ඇන්ඩ්රූ, ඔහුගේ දිගුකාලීන පාසැල් මිතුරියක වුණු එළිසබෙත් කෝට් සහ ඇයගේ සැමියා වුණු ෆිල් මෙරිල් සමඟ, සමලිංගික සංස්කෘතියෙහි කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකුණු සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැස්ත්‍රෝ ප්‍රදේශයට සංක්‍රමණය වුණා. එළිසබෙත් කෝට් ඇන්ඩ්රූ සමඟ දැඩි හිතවත්කමක් පැවැත්වූ අතර ඇයගේ දරුවන් දෙදෙනාගේ කැපකාර පියා වුයේ ද ඇන්ඩ්රූයි. සිය පියා විසින් රෝපණය කරනු ලදුව ඇන්ඩ්රූගේ මනසේ වර්ධනය වුණු මහා ධන කුවේරයෙකු මෙන් ඉහළ සමාජයේ පිළිගැනීමට ලක්ව ජීවත් වීමේ ආශාව සහ අවශ්‍යතාවය ඇන්ඩ්රූ තුල වර්ධනය වුවද, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙහෙස වී උපයන්නට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. කැස්ත්‍රෝ හිද ඔහු සිය පැරණි පුරුද්ද යළි අරඹමින්, වයෝවෘද්ධ සමලිංගික ධනවතුන්ගේ කුලී ලිංගික සේවකයෙකු (Gigolo) ලෙස ක්‍රියාකර ඔවුන්ගෙන් අනුග්‍රාහක දීමනා ලබාගනිමින් මුදල් උපයන්නට පටන් ගත්තා. රහසිගතව සමලිංගික ජීවිත ගත කළ තනිකඩ මහලු ධනවතුන් ඇන්ඩ්රූගේ අනුග්‍රාහකයන් ලෙස ඔහුව රාත්‍රී සාද සහ ප්‍රිය සම්භාෂණ කරා රැගෙන ගිය අතර ඇන්ඩ්රූ ඔවුන් ඉදිරියේ රඟ දැක්වුයේ වෙනමම චරිත. අවස්ථාවේ හැටියට විවිධ ස්වරූපයෙන් වැඩිහිටි පුරුෂයන් ඉදිරියේ ඔහු පෙනී සිටියා. ඒ අතර සමලිංගිකයන් ගැවසෙන රාත්‍රී සමාජශාලා වල විනෝදවෙමින් ආකර්ෂණීය පෙනුමක් ඇති තරුණයන් ඇසුරු කරමින් ඔවුන් වෙනුවෙන් අනුග්‍රාහකයෙක් ලෙස පෙනී සිටිමින් නිර්ලෝභීව වියදම් කරන්නටත් ඔහු පුරුදු වී සිටියා. එමෙන්ම සමලිංගික නොවන සමාජ ශාලා තැබෑරුම් වල ගැවසෙමින් රහසිගතව මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නටද පුරුදුව සිටි බවත් එය තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවත් ඇන්ඩ්රූ විසින් Flicks සමාජශාලාවේ තැබෑරුම් පාලක තරුණයෙක් වුණු නයිජල් මේයර් හට පවසා තිබුණා. ඔහු බොහෝ දෙනෙකුට ප්‍රහේළිකාවක් වුණු අතර ඔහුගේ සත්‍ය අනන්‍යතාවය කිසිවෙක් දැන සිටියේ නැහැ. ඇන්ඩ්රූ මත්ද්‍රව්‍ය විකිණීමට මෙන්ම ඒවා පරිහරණය කරන්නට ද පුරුදුව සිටි අතර, ප්‍රචණ්ඩ අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කරන්නට ද කැමැත්තක් දැක්වුවා. එම සමාජ ශාලාවේ බොහෝ දෙනෙක් ගුප්ත ගතිගුණ තිබුණු ඇන්ඩ්රූ කෙරෙහි ලොකු හිතවත්කමක් නොදැක්වුවත් ඔහු සමඟ දැඩි ලෙස හිතවත්කමක් පැවැත්වූ කිහිපදෙනෙක් සිටියා. ජෙෆ්රි ට්‍රේල් සහ ඩේවිඩ් මැඩ්සන් ඒ අයගෙන් දෙදෙනෙක්.

ඇන්ඩ්රූ කුනානන් ඩේවිඩ් මැඩ්සන් (වමේ) සහ ජෙෆ් ට්‍රේල් (දකුණේ) සමඟ ගන්නා ලද ඡායාරූප

1995 දී නෝමන් බ්ලැච්ෆර්ඩ් නම් 60 ඉක්මවූ වයෝවෘද්ධ ධනවත් ව්‍යාපාරිකයා හමුවුණු ඇන්ඩ්රූ කුනානන්, තමන් ඇන්ඩ්රූ ද සිල්වා නමින් තමන්ව හඳුන්වා දෙමින්, නෝමන්ගේ සහකරුවා ලෙස ක්‍රියාකරමින් සුඛෝපභෝගී ජීවිතයකට මඟ පාදා ගෙන තිබුණා. ඔහු ඇන්ඩ්රූව තබාගත්තේ ඩොලර් 900,000ක නිවෙසක වන අතර මසකට ඩොලර් 2500ක ජීවන ආධාරක මුදලක් ද ලබා දුන්නා. ඊට අමතරව ඇන්ඩ්රූ වෙනුවෙන් මෝටර් රථයක් ලබාදුන් නෝමන් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ඔහුට ලබාදුන්නේ අවශ්‍ය ඕනෑම දෙයක් මිලට ගැනීමට අවස්තාව සලසමින්. මෙලෙස ලබාගත් ධනය ඇන්ඩ්රූ වැය කළේ රාත්‍රී සමාජ ශාලාවල ඔහුට අවශ්‍ය වුණු තරුණයන් සමඟ විනෝද වීමට සහ සබඳතා ගොඩ නංවා ගැනීමටයි.

ජෙෆ්රි ට්‍රේල් (වමේ) සහ ටෙලිනාට්‍යයේ ඔහුගේ චරිතයට පණපොවන ෆින් විට්ස්ටොක් (දකුණේ)

1991 දී එක්සත් ජනපද නාවික හමුදා විද්‍යාලයේ උපාධිධරයෙක් වුණු ජෙෆ්රි ට්‍රේල්, USS Gridley යුධ නෞකාවේ සේවය කරමින් සිටියා. ඔහු සමලිංගික රුචිකත්වයක් තිබුණු අයෙක් වුණු අතර එවකට යුධ හමුදාවේ පැවතුණු සමලිංගිකත්වය පිටුදැකීමේ ක්‍රියාකාරකම් නිසා තම ලිංගික රුචිකත්වය ගැන දැඩි අර්බුදකාරී වාතාවරණයකට ඔහු මුහුණ දුන්නා. ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පැනවූ “නොවිමසන්න! නොපවසන්න!” නීතිය 1994 පෙබරවාරි 28 වැනිදා වනතුරු බලාත්මක ව තිබුණා. එළෙස හමුදාවේ සමලිංගික චර්යාවන් තහනම් කෙරුණු පසුබිමක ඔහුට තමන්ගේ කුඩා කළ සිට තිබුණු නාවික හමුදා සිහින වෘත්තීය වුණු නාවික හමුදා සේවය කරගෙන යාමට බාධා එල්ල වෙනවා. එවකට පැවතුණු නීති අනුව හමුදාවේ සේවය කරන අයෙක් සමලිංගික චර්යාවකට වරදකරු වුණොත් ඔහුව අපකීර්තිමත් ලෙස හමුදා සේවයෙන් නෙරපනු ලැබුවා. ඒ එක්කම පොදුවේ හමුදා නිළධාරීන් අතර සමලිංගික භටයන් කෙරෙහි තිබුණු භීතිය සහ විරෝධය නිසා ඔවුන් හිරිහැරයට ලක් කරන පිළිවෙතක් රහසින් අනුගමනය කෙරුණා. ජෙෆ් මේවට විරුද්ධ වුණු නිසා ඔහු රහසිගතව තබාගෙන ආ කරුණ යම් ආකාරයකින් නිරාවරණය වී ඔහුද අනෙක් අයගේ සැකයට ලක් වෙන්නට හේතු වෙනවා.

ඔහු නාවික හමුදාවේ දැඩි පිළිවෙත් සහ සිය පෞද්ගලික රුචිකත්වයන් අතර ඝට්ටනය නිසා දැඩි පීඩනයෙන් පසූ වෙන නිසා, එයින් මිදෙන්නට හිතාගෙන සමලිංගික රාත්‍රී සමාජ ශාලාවකට ගොඩ වදිනවා. එම සමාජ ශාලාවේ නිර්ලෝභීව මුදල් වියදම් කරමින් විනෝද වුණු ඇන්ඩ්රූ කුනානන්ට ජෙෆ්රි ට්‍රේල් මුණගැසෙනව. මේ 1993 ආසන්න වකවානුවක්. කාලයත් සමඟ ඔවුන් දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් ඇති වුණා. ඒ මිත්‍රත්වය සහෝදරත්වයක් වැනි මිත්‍රත්වයක් වුණු අතර ජෙෆ් තමාගේ සහෝදරයා වැනි යැයි ඇන්ඩ්රූ බොහෝ දෙනෙකුට ප්‍රකාශ කර තිබුණා. ට්‍රේල් සහ කුනානන් හමුවූ කාලයේදී රිචඩ් ශ්ලෙසිංගර්ගේ 48 Hours interview වැඩසටහනේ රහසිගත සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිට හමුදාවේ සමලිංගික විරෝධයට එරෙහිව අදහස් දැක්වීමට ජෙෆ් ට්‍රේල් ක්‍රියා කර තිබුණා.

“මිනිස්සු කැමති වුණත් නැතත්, හමුදා සේවයේ සමලිංගිකයන් ඉන්නවා. ඔවුන් අතර අතිදක්ෂ නිළධාරීන් සිටිනවා. තමන් කරන කියන දේ ගැන මනා අවබෝධයක් ඔවුන්ට තියෙනවා,” ඔහු පැවසුවා. “ඔවුන්ව හමුදා සේවයෙන් නෙරපීමෙන් ඔබ හමුදාවේ ශක්තිය දුර්වල කරනවා. එමෙන්ම ඔබට 100%ක් ඔවුන්ව ඉවත් කරන්නට බැහැ. ඔබ අපව දඩයම් කිරීම හෝ බියගැන්වීම කළත් නොකළත් ඒක එහෙමම තමයි.” ජෙෆ් ට්‍රේල් සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියා.

රිචඩ් ශ්ලෙසිංගර් සමඟ ජෙෆ්රි ට්‍රේල් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව (වමේ) එය ටෙලිනාට්‍යයේ ප්‍රතිනිර්මාණය කර තිබෙන අන්දම (දකුණේ)

දැඩි ලෙස පීඩාවට පත් වුණු ජෙෆ් ට්‍රේල්ගේ දුර්වලත්වය වුණු සමලිංගික රුචිකත්වය යොදාගනිමින් කුනානන් ඔහුව මෙහෙයවූවා. ඔවුන් දෙදෙනා අතර ලිංගික ආකර්ෂණයක් නොතිබුණු නමුත් ජෙෆ් වෙනුවෙන් සහකරුවන් සොයා දීමට ඇන්ඩ්රූ ක්‍රියා කර තිබුණා. ඇන්ඩ්රූ ජෙෆ්ව යොදාගෙන තම බොරු සිහින ජීවිතය සාධාරනීකරණය කිරීමට යොදාගෙන තිබුණා. තමන්ගේම 26 වැනි උපන්දින සාදයේදී ෆෙරගානෝ සපත්තු ජෝඩුවක් ඇන්ඩ්රූ විසින් ජෙෆ්ට දුන්නේ පිරිස ඉදිරියේ තමන්ට තෑගී දෙන ලෙස පවසමින්. ඔහු ජෙෆ්ටද පැළඳීමට සපත්තු ජෝඩුවක් දුන් අතර සාදයට පැමිණි පිරිසට වෛද්‍යවරයෙක් ලෙස අඟවන මෙන් ඇන්ඩ්රූ ජෙෆ්ට කියා තිබුණා. මෙළෙස ජෙෆ්ගේ හිතවතුන් සහ සහෝදරියගේ විරෝධය මාධ්‍යයේත් ජෙෆ්, ඇන්ඩ්රූ සමඟ මිත්‍රකම පවත්වාගෙන ගියේ විවිධ හේතු දක්වමින්.

“ජෙෆ් යම් විලාසිතාවකට කොණ්ඩය කැපුවොත්, ඇන්ඩ්රූටත් ඒ විධියටම කොණ්ඩය කපන්න අවශ්‍ය වුණා. ජෙෆ් සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ගිහිං එක විධියක බේස්බෝල් තොප්පියක් මිලට ගත්තම, ඇන්ඩ්රූත් සැන් ෆ්‍රැන්සිස්කෝ වලට ගිහිං ඒ බේස්බෝල් තොප්පියම ගත්තා. ජෙෆ් යටි රැවුල වවනකොට ඇන්ඩ්රූත් ඒ විලාසිතාවටම යටි රැවුල වැවුවා” ඇන්ඩ්රූ තුල ජෙෆ් කෙරෙහි පැවතුණු ආකර්ෂණය ගැන ජෙෆ්ගේ සහෝදරියක වුණු ලීසා නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත එළෙස පැවසුවා. කෙසේ වෙතත් ඔවුන් අතර පැවතුණු සමීප සබඳතාවය ද දෙදරා යන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. රහසිගතව මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරයේ යෙදුනු ඇන්ඩ්රූ, ට්‍රේල්ටද ඊට සම්බන්ධ වන ලෙස ආරාධනා කර තිබුණා. දැඩි ලෙස කිපුණු ට්‍රේල් ඊට එරෙහි වුණා. එමෙන්ම ධනවත් පුද්ගලයන් සමඟ ගැවසෙමින් ඇන්ඩ්රූ ගෙනගිය ජීවිතය ගැන ජෙෆ්රි ට්‍රේල් අප්‍රසාදයට පත් වුණා. ගුප්ත ව්‍යාභිචාරී හැසිරීම් පෙන්වූ ඇන්ඩ්රූ වෙතින් ජෙෆ් ට්‍රේල් ඈත් වීමට මේ හේතු බලපෑවා.

ඩේවිඩ් මැඩ්සන් (වමේ), ඩේවිඩ් මැඩ්සන්ගේ චරිතයට පණ පොවන කෝඩි ෆර්න් (දකුණේ)

ඇන්ඩ්රූ සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ අනෙක් පුද්ගලයා වුණේ ආකර්ශණීය පෞරුෂයක් තිබුණු ඩේවිඩ් මැඩ්සන්. තම පළමු උපාධිය සඳහා 1982දී ඩුලූත් හි මිනසෝටා විශ්ව විද්‍යාලයට ඇතුළු වීමෙන් පසු, ඩේවිඩ් සංගීතමය සහ රංගන කටයුතු ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් ගණනාවක ද නිරත වූ අතර දීප්තිමත් සිසුවෙක් වුණා. දීප්තිමත් අනාගතයක් ඇති බව පෙනෙන්නට තිබුණු, බුද්ධිමත්, කඩවසම් තරුණයෙක් ලෙස ඔහු ඇසුරු කළ අය ඔහුව හැඳින්වුවා. එමෙන්ම මිනසෝටා ඩුලූත් විශ්ව විද්‍යාලයෙන් 1982දී නිෂ්පාදනය කළ The Music Man නාට්‍යයේ ‘මාසෙලස් වොෂ්බර්න්’ චරිතයට රංගනයෙන් පවා දායක වුණු අතර, ඔහුගේ රංගනය “දඟකාර, ජවසම්පන්න සහ දීප්තිමත් රංගනයක්” ලෙස UMD Statesman පුවත්පත මඟින් පවා ප්‍රශංසාවට ලක්කර තිබුණා. සිය පළමු උපාධිය නීතිය හැදෑරු ඔහු අනතුරුව උසස් උපාධිය වෙනුවෙන් මිනසෝටා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරන්නට සුදුසුකම් ලැබුවා.

ඩේවිඩ් මැඩ්සන් (උපැස් යුවළක් සහිත) මිනසෝටා ඩුලූත් විශ්වවිද්‍යාලය විසින් කළ The Music Man නාට්‍යයේ 1982 නිෂ්පාදනයෙහි මාසෙලස් වොෂ්බර්න් ලෙස රංගනයේ යෙදෙමින්

විවෘතව සමරිසි පුද්ගලයෙක් වුණු ඩේවිඩ් සමලිංගික රාත්‍රී සමාජ ශාලා වල සැරිසරන්නට ද හුරු වී සිටියා. Vanity Fair සඟරාවට අනුව, ඇන්ඩ්රූ කුනානන් සහ ඩේවිඩ් මැඩ්සන් 1995 දෙසැම්බර් වලදී මුල් වරට හමු වුණේ සැන් ෆ්‍රැන්සිස්කෝහි සමාජ ශාලාවක කාලය ගත කරන අතරතුරදියි. ඩේවිඩ් සමඟ ඉක්මණින්ම කුනානන් දැඩි මිත්‍ර සම්බන්ධයක් ඇති කරගත්තා. ක්‍රමිකව ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වය අභිබවා ගිය සම්බන්ධයක් ගොඩ නැඟුණා. ඇන්ඩ්රූ කුනානන් ඩේවිඩ් ගැන කිව්වේ “තමන්ගේ ජිවිතයේ ඉදිරි කාලය ගත කිරීමට අවශ්‍ය සිහින මිනිසා” ලෙසයි. කාරුණික ගති තිබුණු ඩේවිඩ්, කුනානන්ට අනුකම්පා කළා. ඒ ඔහු තමන් මෙන් හිතවතුන්ගේ ආදරයට ලක් නොවී හුදෙකලාව සිටින බව දැකීමෙන්. ඩේවිඩ්ට පෙනුණු විධියට ඇන්ඩ්රූට වැඩිය යහළුවන් හිටියේ නැහැ.

ඩේවිඩ් 1996 දී මිනියාපොලිස් වල ‘ජෝන් රයන් සමාගමේ’ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස රැකියාවක් ආරම්භ කළා. ඉක්මණින් ඔහු සමාගමට නැතිවම බැරි වුණු නැගී එන තරුණ ගෘහනිර්මාණ ශිල්පියෙකු වුණා. රැකියාව කරන අතරතුරත් ඔහු මිනසෝටා විශ්ව විද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ උසස් උපාධියක් හදාරමිනුයි හිටියේ. ජෝන් රයන් සමාගමේ සේවයේ යෙදෙන අතරතුර, ඔහු තමන් ඉපැයූ මුදලින්, සමරිසි ප්‍රජාව වෙනුවෙන් කෙරුණු ඒඩ්ස් නිවාරණ සමාජ සේවා වැඩසටහන් වලටද තවත් සමාජ සේවා ව්‍යාපෘති වලටද මුල්‍ය පරිත්‍යාගයන් සිදු කළා. ඔහු දන්නා හඳුනන බොහෝ දෙනෙකුට විවිධාකාරයේ උදව් උපකාර කර කාගේත් ආදරය දිනා සිටි අයෙක්.

නිර්ලෝභීව සිය ධනය වැය කරන ඇන්ඩ්රූ කුනානන්ගේ රැකියාව සහ ඔහු ජීවත්වෙන ස්ථානය ගැන මහත් කුහුලෙන් හිටි ඩේවිඩ් ඇන්ඩ්රූ ගැන විස්තර හොයන්නට පටන් ගත්තා. මේ අතර කුනානන්ගේ මිත්‍රයෙක් වුණු, හිටපු නාවික හමුදා නිළධාරීයෙක් වුණු ජෙෆ් ට්‍රේල්ව කුනානන් විසින් ඩේවිඩ්ට හඳුන්වා දෙනවා. ජෙෆ් ට්‍රේල් සමඟ ඩේවිඩ් වඩා හිතවත් වෙනවා. ඇන්ඩ්රූ ගත කළ රහසිගත ජීවිතය ගැන ඩේවිඩ් ජෙෆ් ට්‍රේල්ගෙන් දැනගන්නවා. මේ කරුණු එක්ක ඩේවිඩ් තීරණය කරන්නේ ඇන්ඩ්රූගෙන් ඈත් වීමටයි. මේ කාලයේදී එනම්, 1996 දී හමුදා සේවයෙන් ඉවත්ව සැන් දියෙගෝ වලින් මිනියාපොලිස් වෙතට ගමන් කළේ ප්‍රොපේන් ගෑස් සමාගමක කළමනාකරුවෙකු ලෙස නව රැකියාවක් ආරම්භ කිරීම වෙනුවෙනුයි. එහෙත් ඇන්ඩ්රූ සිතුවේ ජෙෆ් තමාගෙන් ඈත්ව මිනියාපොලිස් වෙත යන්නේ එහි සේවය කරන ඩේවිඩ් මැඩ්සන් නිතර හමුවිය හැකි නිසා බවයි. ඇන්ඩ්රූ මේ ගැන ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් වියරු වුණා. ජෙෆ්ගේ මිතුරෙකු වුණු මයිකල් විලියම් CBS News වෙත කළ සඳහනකට අනුව ඔහු මිනියාපොලිස් වෙත යන්නට පෙර දින ජෙෆ්ට “කරුණාකර පරිස්සම් වෙන්න!” යනුවෙන් පවසා තිබුණේ ජෙෆ්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි යැයි හැඟුණු බැවින්. “මං ආරක්‍ෂිත වේවි. මට මේක තියෙනවා. ” ජෙෆ් කියුවේ තම පෞද්ගලික රිවෝල්වරය ගෙන මයිකල්ට පෙන්වමින්. එහෙත් ඒ රිවෝල්වරය තවත් බොහෝ දෙනෙකුට ජීවිත තර්ජනයක් විය හැකි බව ජෙෆ් ට්‍රේල් දැනගෙන සිටියේ නැහැ.ඔහුට එය දැනගන්නට ලැබෙන්නෙත් නැහැ.

ජෙෆ්රි ට්‍රේල් ඔහුගේ සුරතල් සුනඛයා සමඟ

1996 වනවිට නෝමන් බ්ලැච්ෆර්ඩ් නම් වයෝවෘද්ධ ව්‍යාපාරිකයා ඇන්ඩ්රූ සමඟ පැවැත්වූ සබඳතාවය නැවැත්වූයේ ඔහු කුනානන්ගේ පසුබිම සහ ඔහු වියදම් කරන අන්දම ගැන රහසින් සොයා බලද්දී අනාවරණය වුණු කරුණු හේතුවෙන්. තමන්ට හඳුන්වා දුන් පරිදි ඔහු ඇන්ඩ්රූ ද සිල්වා නොවන බවත්, ඔහු පැවසු පරිදි ඔහු අන්නාසි වතු යායක හිමිකරුවෙකුගේ පුතෙකු නොවන බවත් නෝමන් දැනගත් අතර, ඇන්ඩ්රූ තමන්ගෙන් කඩාවඩා ගත මුදල් සුඛෝපභෝගී හෝටල් වල තම මිතුරන් සහ වෙනත් සමලිංගික තරුණයන් සමඟ සාද පැවැත්වීමටත් විනෝද වීමටත් වැය කරන බව නෝමන්ට අනාවරණය වුණා. ඇන්ඩ්රූ තමන්ට කළ රැවටීම ගැන කිපුණු නෝමන් විසින් ඩොලර් 900,000 සුපිරි නිවෙසින් ඇන්ඩ්රූව පිටමං කෙරුණු අතර ඔහුට ලබා දී තිබුණු වාහනයත් ක්‍රෙඩිට් කාඩ් ද අවහිර කර දැමුණු අතර නැවත වරක් ඇන්ඩ්රූට මහා ධන කුවේරයෙක් මෙන් ජීවත් වීමට අවශ්‍ය මුදල් සොයාගැනීම අපහසු වුණා. මේ ඔහුගේ සිහින ජීවිතය බිඳ වැටී මහමඟට වැටුණු දෙවැනි අවස්ථාව වුණා. මේ කාලය වන විට ඇන්ඩ්රූගේ සමීප මිතුරෙක් වුණු ජෙෆ් ට්‍රේල්ද ඇන්ඩ්රූ සමඟ මිත්‍ර සබඳතා අත්හැර තිබුණු අතර ඇන්ඩ්රූ බෙහෙවින් ආදරය කළ ඩේවිඩ් මැඩ්සන් ද ඇන්ඩ්රූ සමඟ තිබුණු ආදර සබඳතාවය අත් හිටුවා තිබුණා. මේ සියලු බිඳ වැටීම් සහ ප්‍රතික්ෂේප වීම් වලින් කම්පනයට පත් වුණු ඇන්ඩ්රූ දැඩි මානසික පීඩනයට ලක් වුණු අතර ධනවත් සමලිංගික ප්‍රජාව කෙරෙහි වෛරයක්, ඊර්ෂ්‍යාවක් ගොඩනඟා ගැනීම ඔහු කළ ඝාතන සිදුකිරීම සඳහා මානසික පසුබිම සෑදීමට හේතු වූ බව විශ්වාස කෙරෙනවා.

1997දි තම මනෝ උපදේශක වරයා වුණු මයික් ඩඩ්ලිට ඇන්ඩ්රූ ප්‍රකාශ කළේ තමා HIV ඒඩ්ස් රෝගයට ගොදුරු ව ඇති බවයි. කෙසේ වෙතත් ඇන්ඩ්රූ ඒඩ්ස් රෝගයට ගොදුරු නොවුවෙකු බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වුණු නමුත් ධනවත් සමලිංගික සහකරුවන් තමාට ඒඩ්ස් වැළඳීමට හේතු වුණු බව සිතමින් ඇන්ඩ්රූ ඔවුන් කෙරෙහි අප්‍රමාණ වෛරයක් ගොඩ නංවා ගනිමින් සිටියා. “මට මේක කරපු උන් අහුවුණොත් මං ඕකුන්ව ඉවරයක් කරනවා!” යනුවෙන් ඔහු ඩඩ්ලිට පවසා තිබුණා. තමා විසින් කළ යුතු ඝාතන ගැන පෙර සැළසුමක් ඇතිව, ඇන්ඩ්රූ සැන් දියේගෝ වෙතින් මිනියාපොලිස් වලට එක් දිශා ගුවන් ටිකට් පතක් මිලට ගන්නේ එම සැළසුම ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා වත් මුදල් නොතිබුණු ඇන්ඩ්රූ බැංකුවට කතා කරමින් එම මිලදී ගැනීමට පමණක් සරිලන පරිදි ක්‍රෙඩිට් කාඩ්පතේ වැය සීමාව ඉහළ නංවා ගන්නේ යළි පැමිණි පසු ඒ සියල්ල පියවන බව පවසමින්.

මේ අනුව 1997 අප්‍රේල් 25 වැනි සිකුරාදා ඇන්ඩ්රූ සැන් දියේගෝ වෙතින් මිනියාපොලිස් වෙතට පැමිණි අතර ගුවන් තොටුපළෙන් ඔහුව කැඳවාගෙන යාමට ඩේවිඩ් පැමිණ සිටි අතර ඇන්ඩ්රූ සිකුරාදා සන්ධ්‍යාව ඩේවිඩ්ගේ මිනසෝටා හි නවාතැනේ ගත කළා. 26 වැනි සෙනසුරාදා ජෙෆ්රි ට්‍රේල්ගේ නවාතැනට ගමන් කළ ඇන්ඩ්රූ එහි රැය ගත කළා. එහෙත් ජෙෆ්රි ට්‍රේල් ඇන්ඩ්රූ මඟහැරීමට එදින නවාතැනින් බැහැරව සිය සහෝදරියගේ නිවෙස බලා යන්නේ රාජකාරි වැඩකට නගරයට යන බවට ඇන්ඩ්රූට බොරුවක් පවසමින්. 27 වන ඉරිදා ඇන්ඩ්රූ යළි ඩේවිඩ්ගේ නවාතැනට පැමිණියේ ජෙෆ්ගේ නවාතැනෙන් සොරකම් කළ ජෙෆ්ගේ පිස්තෝලය ද රැගෙනයි. ඉන්පසුව ඇන්ඩ්රූ කුනානන් විසින් ජෙෆ් ට්‍රේල් ට ඇරයුමක් කරනවා, මිනියාපොලිස් වල ඩේවිඩ් නවාතැන් ගෙන සිටි නවාතැනට පැමිණෙන ලෙස. ජෙෆ් ඇන්ඩ්රූගේ ආරාධනය පිළිගෙන පැමිණෙන්නේ, අවසන් වරට කුනානන් හමු වී ඔහුගෙන් සමු ගැනීමටත්, කුනානන් විසින් ජෙෆ්ගේ කාමරයෙන් සොරකම් කර තිබුණු පිස්තෝලය යළි ලබා ගැනීමටත් හිතාගෙනයි.

ඩේවිඩ් රැඳි සිටි නවාතැන (වමේ) සහ ටෙලිනාට්‍යය සඳහා යොදා ගැනුණු මහල් නිවාසය (දකුණේ)

නිවසේ බසරය නාද වන විට ඇන්ඩ්රූ ඩේවිඩ්ව පහළට යවන්නේ ජෙෆ්ව තම කාමරයට කැඳවාගෙන එන ලෙස කියමින්. ඔහු එළෙස පැමිණෙන අන්දම ඩේවිඩ් රැඳි සිටි තට්ටු නිවාසයේ අසල්වැසියන් දැක තිබුණා. අනතුරුව යාබද කාමර වල සිටි අසල්වැසියන්ට ඩේවිඩ්ගේ කාමරයෙන් රණ්ඩු කිරීම් සහ ඝෝෂාවන් ඇසුණු අතර යමෙක් තවත් කෙනෙකුට “මෙහෙන් පලයන් යන්න! (Get the F*CK out!)” යනුවෙන් කෑගැසූ බවත්, දොරක් තදින් වසන ශබ්දයකුත්, කිසිවෙක් බිම ඇදවැටෙන හඬකුත් අසන්නට ලැබී තිබෙනවා. කෙසේ වෙතත් පසුදින, එනම් 28 වන සඳුඳා උදෑසන ඩේවිඩ් සහ ඇන්ඩ්රූ ඩේවිඩ්ගේ ඩැල්මේෂන් සුනඛ සුරතලා වන “ප්‍රින්ට්ස්” සමඟ තට්ටු නිවාසයෙන් පහළට බැස සක්මන් කරණු අසල්වැසියන් දුටුවා. එහිදී ඔවුන් දෙදෙනා ඉතා සන්සුන්ව සිටි බවයි ඔවුන් දුටුවේ. වෙනදා ප්‍රින්ට්ස් නිදහසේ ඇවිදින්නට සැලස්සුවත් එදින ඩේව්ඩ් සුනඛයාට කරපටියක් සහ දම්වැලක් දමා තිබුණු බව ඔවුන්ට දක්නට ලැබුණා. මේ දෙදෙනා නැවත නවාතැන වෙත ගමන් කරනු දක්නට ලැබුණු අතර අනතුරුව ඔවුන් දෙදෙනාව කිසිවෙක් හෝ දැක තිබුණේ නැහැ.

දින දෙනක් තිස්සේ දුරකථන ඇමතුමක්වත් නොදී ඩේවිඩ් රැකියාවට නොපැමිණි නිසා, ඔහුගේ සේවා ස්ථානයේ මිතුරියක් වන ලෝරා බූහර්, 29 වැනිදා ඩේවිඩ්ගේ නවාතැන වෙත පැමිණෙන්නේ ඔහුට කරදරයක් වී ඇතිදැයි විමසා බැලීමට. නොදන්වා රැකියාවට වාර්තා නොකර සිටීම ඔහුගේ විධිය නොවන බව ඇය දැනගෙන සිටියා. ඩේවිඩ්ගේ කාමරයේ දොරට ගැසුවත් ඔහුට ඩේවිඩ්ගේ සුනඛයා වන ප්‍රින්ට්ස්ගේ බිරුම් හඬ මිස ඩේවිඩ්ගේ හඬ ඇසෙන්නේ නැහැ. එහෙත් දෙදෙනෙකුගේ කෙඳිරිම් වැනි හඬවල් ඔවුන්ට ඇසුණා.. ඇය බියට පත් ව, නවාතැනේ හිමිකාරිය සමඟ ඔහුගේ කාමරයේ අමතර යතුරක්ද රැගෙන ඇය නැවත පැමිණුනා. දොර විවර කර ඇතුළට පැමිණ බලන ඇය බිත්ති පුරා රුධිරය විසිර ගිය සළකුණු, බිම දිගේ ලේ තැවරුණු ඇදගෙන යාමේ සළකුණු දැක මහත් කම්පනයට පත් වුණා. ඔහුගේ නවාතැනේ කිසිවෙක් සිටියේ නැහැ, සුනඛයා වන ප්‍රින්ට්ස් හැරෙන්නට. ඩේවිඩ් අතුරුදන්! බිම මත වූ රුධිරය වැකුණු ඇදගෙන යාමේ සළකුණු දිගේ ගමන් කළ ඇයට සොපාවක් පිටුපස බුමුතුරුණක ඔතා තිබුණු යමක් දුටුවා. ඒ දැක ඇය සිතන්නේ කිසිවෙක් විසින් ඩේවිඩ්ව ඝාතනය කර ඇති බවයි. වහාම පොලිසිය කැඳවන ඇය අනතුරුව දුටු දෙය ගැන පොලිසියට කට උත්තර දුන්නා.

පොලිසිය නිවෙස සෝදිසි කළා. කිසිවක් සොරකම් කෙරී නැති නිසා එය සොරෙකුගේ වැඩක් නොවන බවත්, බලහත්කාරයෙන් ඇතුළු වීමක් දක්නට නොලැබෙන නිසා මිනීමරුවා ඩේවිඩ් හඳුනන අයෙක් විය යුතු බවටත් පොලිසිය නිගමනය කර තිබුණා. මේ අතර මිතුරිය පොලිසියට කියන්නේ කළු හිසකෙස් ඇති ඇන්ඩ්රූ කුනානන් නැමැති ඩේවිඩ්ගේ මිතුරෙක් සති අන්තයේ ඔහු සමඟ නවතින බව තමන්ට කියූ බවක්. ඔහුගේ හිසකෙස් කළු බවත්, ඩේවිඩ්ගේ හිසකෙස් තඹ බවත් පොලිසියට පැවසුවා. මේ බුමුතුරුණේ ඔතා සිටි තැනැත්තා ගේ හිසකෙස් කළු පැහැති බව දකින පොලිසිය මුලින් සිතන්නේ ඩේවිඩ් විසින් කුනානන්ව මරා දමා සුනඛයා ද අතහැර පළා යන්නට ඇති බවයි. අනතුරුව මරණ පරීක්ෂක විසින් බුමුතුරුණේ ඔතා තිබුණු මළසිරුර පරික්ෂා කළා. ඒ ඩේවිඩ් හෝ කුනානන් නොව ජෙෆ් ට්‍රේල් (28) නම් තුන්වන පාර්ශවයක් බව පොලිසියට හෙළි වන්නේ ඉන් පසුවයි. ඩේවිඩ් මැඩ්සන්ගේ රතු චෙරෝකී කැබ් රථයත් අතුරුදන් ව තිබුණා.

ජෙෆ් ට්‍රේල්ගේ ඝාතන ස්ථානයේ ඡායාරූප – (a) රුධිරය වැකුණු පා සළකුණක්, (b) රුධිරය සහිත ඇදගෙන ගිය සළකුණ, (c) මළසිරුර බුමුතුරුණෙහි ඔතා තිබුණු අන්දම, (d) ඩේවිඩ් මැඩ්සන්ගේ නවාතැන් කාමරයේ ඇතුළත, (e) මිටි පහරකින් බිඳී ගිය රුධිරය වැකුණු බෝඩ් බිත්තියක්, (f) ජෙෆ්රි ට්‍රේල්පැළඳ සිටි පාවහන්

මේ අනුව සියල්ලන්ටම පැහැදිලි වුණේ, 27 වැනි ඉරිදා රාත්‍රී 9.45 ට පමණ ඩේවිඩ්ගේ නවාතැන් කමරයට පැමිණි ජෙෆ්ට, කිසිවෙකු විසින් හිසට සහ උඩුකයට එල්ල කළ මිටි පහර 27ක් නිසා එතනදීම අවසන් හුස්ම හෙළන්නට සිදුව ඇති බවයි. ජෙෆ් ට්‍රේල්ගේ හිස් කබල සුනුවිසුණුව ගොස් තිබුණු අතර බිඳී ගිය අත් ඔරලෝසුවේ වෙලාව රාත්‍රී 9.55 සටහන්ව තිබුණා. ඇන්ඩ්රූ එල්ල කළ මිටි පහරින් ඔරලෝසුව බිඳී ගොස් නැවතී ඇති බවක් පෙනෙන්නට තිබුණා. මේ අනුව එහි සටහන් වන්නේ ඔහු මියගිය වෙලාව විය යුතු යැයි අනුමාන කෙරුණා. ඩේවිඩ්ගේ නවාතැනේ වුණු ජෙෆ් ට්‍රේල්ගේ මිනිමරුමත්, ඩේවිඩ්ගේ අතුරුදන් වීමත් ඔවුන්ගේ හිතවතුන් මහත් කම්පනයට පත් කළා. “ඩේවිඩ් ගොඩක් අයට ධනාත්මකව බලපාලා තිබුණා. අපට ඔවුන්ගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර වල හැටියට අපි ඔහු ගැන ආඩම්බර වුණා. ඩේවිඩ් මට අර දේ අරන් දුන්නා, මට ගෙදරට බඩු බාහිරාදිය අරන් දුන්නා. එයා මට අර දේ කරලා දුන්නා ආදී වශයෙන්” මෙහෙම කිව්වේ ඩේවිඩ්ගේ අයියා වුණු රැල්ෆ් මැඩ්සන්.

මේ සියලු දේවල් සමඟ ඩේවිඩ් විසින් ජෙෆ් ට්‍රේල්ගේ ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසියට තිබුණු සැකය ගැන වේදනාවක් තිබුණේ මැඩ්සන් පවුලේ අය තුල පමණක් නෙවෙයි. කුනානන් විසින් ඩේවිඩ්ව පැහැරගෙන යන්නට ඇති බවත්, අතුරුදන් වුණු ඩේවිඩ් ආයේ ඇවිත් පොලිසියට නොපැහැදිලි වුණු කරුණු කාරණා ගැන පැහැදිලි කරනු ඇති බවටත් ඔහුගේ පවුලේ අය වගේම හිතවතුන් අපේක්ෂා කළා. ජෙෆ් ඉරණම් ගමන ගිය සති අන්තයේ කුනානන් ඩේවිඩ්ගේ නවාතැනට පැමිණෙන බව ඩේවිඩ්ගේ මිතුරන් දැනගත් පසු ඔවුන් උපදෙස් දුන්නේ, “ඇයි ඒ වගේ මිනිහෙක්ට ඔයාගේ නවාතැනට එන්න ඉඩ දෙන්නේ? එහෙම කරන්න එපා!” යනුවෙනි. එහෙත් ඩේවිඩ් පිළිතුරු දුන්නේ, “ඇන්ඩ්රූ මේ දවස් වල ප්‍රශ්න ගොඩක ඉන්නේ. මට එයාට උදව් කරන්න විතරයි ඕනෙ. ඔහු මුළු සති අන්තයම මා එක්ක ඉන්නේ නැහැ.” යනුවෙනි. ට්‍රේල්ගේ මළසිරුර සමඟ ඇන්ඩ්රූ කුනානන්ගේ නම සහිත බැගයක් හමුවුණු අතර ට්‍රේල්ගේ දුරකථනයේ ඇන්ඩ්රූ විසින් ඩේවිඩ්ගේ නවාතැනේදී හමුවන ලෙසට ඇරයුම් කළ මැසේජයත් පොලිසියට හමුවුණා.

ජෙෆ් ට්‍රේල්ට අයත් වුණු කැලිබර් 40 ගිනි අවිය (වමේ); ඇන්ඩ්රූ කුනානන් විසින් මෙය ජෙෆ් ට්‍රේල්ගේ නවාතැනෙන් සොරාගනු ලදුව යළි කිසිදිනෙක ජෙෆ් ට්‍රේල්ට මෙය ආපසු ලබාගන්නට නොහැකි වුණා. මළසිරුර සමඟ හමුවුණු ඇන්ඩ්රූට අයත් ගමන් බෑගය (දකුණේ)

ඩේවිඩ් යළි එනතුරු ඩේවිඩ්ගේ හිතවතුන් දින ගණනක් බලා සිටියා. එහෙත් ඒ හැමෝගෙම අපේක්ෂා දරුණු ලෙස බිඳ දමමින්, 1997 මැයි 03 වැනිදා, එනම් ට්‍රේල්ගේ මළසිරුර සොයාගෙන පස් දිනකට පසු, මිනසෝටාහි නැගෙනහිර රශ් විලේ ඉවුරේ අකුලක තිබී, ධීවරයන් දෙදෙනෙකු විසින් ඩේවිඩ්ගේ මළ සිරුර සොයාගන්නවා. ඩේවිඩ්ගේ පිටට පිටුපසින් වෙඩි වැදී තිබුණු අතර අනතුරුව ඇද වැටී, ඔහු අනෙක් පසට හැරුණු පසු හෝ ඇන්ඩ්රූ විසින් ඔහුව හැරවීමෙන් පසු ඔහුගේ මුහුණටද වෙඩි තබා තිබුණා. ඔහුගේ අත් වල තිබුණු වෙඩි වැදුණු ආරක්ෂක තුවාල (Defensive Gunshot Wounds) වලින් කියා පෑවේ අවසන් මොහොතේ ඇන්ඩ්රූ තැබූ වෙඩි පහරින් ආරක්ෂා වීමට හිස දෑතින් ආවරණය කරගන්නට ඩේවිඩ් උත්සහ කළ බවයි. මියයන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වුණා.

නැගෙනහිර රශ් විලේ ඉවුරේ ඩේවිඩ් මැඩ්සන්ගේ ඝාතන ස්ථානයෙන් ලබා ගැනුණු ඡායාරූප.

අතුරුදන් වුණු ඩේවිඩ් යළි එනතුරු බලා සිටි ඥාතීන් සහ හිතවතුන් ඔහුගේ මරණය ගැන ආරංචියෙන් කම්පනය වුණා. ඒ කොහොම වුණත් ඩේවිඩ්ගේ මළසිරුර හමුවීම සමඟ කුනානන්ගේ අතුරුදන් වීම එක්ක ජෙෆ්රි ට්‍රේල් සහ ඩේවිඩ් දෙදෙනාගේම මිනීමැරුම් දෙකේම සැකය කුනානන් වෙත එල්ල වීමට පටන් ගත්තා. කුනානන් විසින් තම සහොදරයා ලෙස සැලකු හොඳම මිත්‍රයා වන ජෙෆ් ට්‍රේල්ව, ඩේවිඩ්ගේ නවාතැනේදීම මරා දැමුවේ ඇයි? ඒ තමන්ගෙන් වෙන්ව යන්නට උත්සහ කරන ඩේවිඩ්ට අනතුරු ඇඟවීමට ද? මිනීමැරුමට ඩේවිඩ්ව හසුකරන බව කියමින් ඔහුව බ්ලැක්මේල් කරමින් තමන් වෙත රඳවා ගැනීමටද? ඩේවිඩ්, ඇන්ඩ්රූ කුනානන් සමඟ පළා ගියාද? නැතහොත් කුනානන් ඩේවිඩ්ව පැහැරගෙන ගියාද? ඇත්තෙන්ම ඔහු ඇන්ඩ්රූ කෙරෙන් පලා යාමට උත්සහ කළේ නැද්ද? ජෙෆ්ගේ මරණය සහ ඩේවිඩ්ගේ මරණය අතර කාලය තුල කුනානන් සහ ඩේවිඩ් අතර සිදුවුණු දේ අදටත් කිසිම කෙනෙකුට පැහැදිලි නැහැ.

ටෙලිනාට්‍යයේ ඇන්ඩ්රූ කුනානන් (ඩැරන් ක්‍රිස් ) ඩේවිඩ් මැඩ්සන්ව (කෝඩි ෆර්න්) ඝාතනය ප්‍රතිනිර්මාණය කර තිබුණු අන්දම

The Assassination of Gianni Versace කතාමාලාවෙන් ඔබට දකින්න ලැබෙන්නේ මේ සිදුවීම් ගැන ලේඛිකා මොරින් ඕත් කළ තොරතුරු සෙවීම් වලින් පසුව, ඇය විසින් උපකල්පනය කරමින් ගොඩ නැංවූ කතාවක ටෙලි අනුවර්තනයක්. “ඩේවිඩ්ගේ මරණයත් එක්ක දැන් ඉතින් අපට ආයේ කවදාවත් සිදුවුණු කිසිම දෙයක් හරියට දැනගන්න නොලැබේවි.” ඩේවිඩ්ගේ අයියා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් The Assassination of Gianni Versace ටෙලි වෘතාන්තයේ එන ඉදිරිපත් කිරීම බොහෝ දුරට සත්‍ය වශයෙන් සිදු වුණු දෙය විය හැකි බව ඩේවිඩ්ගේ අයියා ද විශ්වාස කළා.

මේ ද්විත්ව ඝාතනය සමඟ පොලිසිය ඇන්ඩ්රූ කුනානන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. සැන් දියේගෝ වෙත මේ ආරංචිය ලද පසු ඇන්ඩ්රූ ද සිල්වා නමින් ඔහු ඇසුරු කළ පුද්ගලයන් විස්මයටත් භීතියටත් පත් වුණා. ඇන්ඩ්රූ කුනානන් නමින් පොලිස් සෙවුම් විමර්ෂණ දැන්වීම් වල ප්‍රදර්ශනය කෙරුණේ ඇන්ඩ්රූ ද සිල්වා නමින් ඔවුන් දැන හඳුනාගෙන සිටි පුද්ගලයාගේ ඡායාරූපයයි. මේ සමඟ රට පුරා ඇන්ඩ්රූ කුනානන්ගේ මිතුරන්ද භීතියට පත් වුණා. තමන් සමීපව ඇසුරු කළ මිතුරා වුණු ජෙෆ් වත් තමන් ආදරය කළ ඩේව්ඩ්වත් ඝාතනය කළ හැකි ඇන්ඩ්රූට වෙනත් ඔහු දන්නා ඕනෑම අයෙකු ඝාතනය කරන්නට නොහැකිද? කෙසේ වෙතත් සැන් දියෙගෝ වෙත ගමන් නොකළ ඇන්ඩ්රූ ඒ වෙනුවට නැගෙනහිරට ගමන් කළා. ඇන්ඩ්රූ කුනානන් ඩේවිඩ් ඝාතනයෙන් පසු මැයි 03 වැනි සෙනසුරාදා දින ඩේවිඩ්ගේම රථයෙන් චිකාගෝ, ඉලිනොයි බලා ගමන් කර තිබුණා. ඒ ඔහු ඇසුරු කළ බවට සැක පළ කළ සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණු ලී මිග්ලින් හමු වීමට ඔහුගේ ගෝල්ඩ් කෝස්ට් නිවෙසට යි.

ලී මිග්ලින් මහතා ජීවත් වුණු ගෝල්ඩ් කෝස්ට් නිවෙස (දකුණේ) එහි ගරාජය (වමේ)

කවුද මේ ලී මිග්ලින්? ලී ඇල්බර්ට් මිග්ලින් චිකාගෝ වල ජීවත් වුණු ප්‍රබල දේපළ වෙළඳාම් ව්‍යාපරිකයෙක් වුණු අතර ඔහු 1959 දී විවාහ වුයේ මැරිලින් ක්ලේකා නම් එවකට 20 හැවිරිදි වුණු යුවතිය සමඟයි. ගෙන් ගෙට ගොස් වෙළඳාම් කිරීමෙන් ඔහු ඇරඹු ව්‍යාපාරය ඔහු දේපළ වෙළඳාම් ජාලයක් දක්වා වර්ධනය කරගන්නට සමත් වුණු අතර සිය භාර්යාවගේ සිහිනය වුණු රූපලාවන්‍ය විලේපන සහ සුවඳ විලවුන් නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹීමටත්, එය සාර්ථකව වර්ධනය කිරීමටත් ලී මිග්ලින් නොමසුරුව උපකාර කළා. චිකාගෝ නගරය තුල ව්‍යාපාරික උද්‍යානයක් සෑදීමට මුදල් ආයෝජනය කළ ඔහු, එවකට ලොව උසම ගොඩනැඟිල්ල ලෙස අඩි 1999ක් උස මහල් 125 කින් යුතු Sky Needle ඉදිකරන්නට ද යෝජනා කර තිබුණා.

සිය හිතවතුන් අතර ආචාරශීලී, ගුණයහපත්, නිහතමානී මනුෂ්‍යයෙක් ලෙස ප්‍රසිද්ධ වුණු ඔහු අසරණ වුණු බොහෝ දෙනෙකුට නොමසුරුව උපකාර කළා. මැරිලින් නිතරම තම සැමියා ගැන මහත් වූ අභිමානයෙන් සහ ආදරයකින් වර්ණනා කරනු ඇයගේ හිතවතුන් අසා තිබුණා. ඇයගේ සාර්ථකත්වයේ රහස වුණු ස්වාමි පුරුෂයා සමඟින් ඇය මහත් ආදරයෙන් කල් ගත කළා. ඔවුන් දෙදෙනාට මාර්ලිනා මිග්ලින් නම් දියණියක් ද ඩියුක් මිග්ලින් නම් තරුණ පුතෙක් ද සිටියා. ඩියුක් පසුව අතිරේක රංගන ශිල්පියෙක් ලෙස ක්‍රියා කළා. ඔහු Air Force One (1997) සිනමා පටයේ ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස සුළු චරිතයක් නිරූපණය කළා.

ලී ඇල්බර්ට් මිග්ලින් සහ මැරිලින් මිග්ලින් යුවළ (වමේ) සහ පිළිවෙලින් ඔවුන්ගේ චරිත නිරූපණය කළ මයික් ෆෙරල් සහ ජූඩිත් ලයිට්

1997 මැයි මාසයේ දිනක විකාශය කිරීමට නියමිත වුණු කාන්තා රූපවාහිනී වැඩසටහනකට ලී මිග්ලින්ගේ භාර්යාව මෙන්ම ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක හිමිකාරිය වුණු මැරිලින් මිග්ලින්ට ඇරයුම් ලැබුණා. මැරිලින් තම නිවෙස පිහිටි චිකාගෝ වලින් කැනඩාවට පැමිණෙන්නේ ඇයට ලැබුණු ඇරයුමකට අනුව පෙර කී රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණින්. මුලදී සිය සැමියා ද රැගෙන යාමට ඇය අදහස් කළත්, ලී මිග්ලින් ව්‍යාපරික වැඩ කටයුතු ඇති බව කියමින් නිවසේ හුදෙකලාව රැඳෙන්නට තීරණය කර තිබුණා. වැඩසටහන නිමවීමෙන් පසුව ඇය කැඳවාගෙන ඒමට ගුවන් තොටුපලට පැමිණෙන බවට ඔහු පොරොන්දු වුණා. කෙසේ වෙතත් වැඩසටහන නිමවා ගුවන් තොටුපලට යන මැරිලින්ට තම සැමියා පොරොන්දු වුණු පරිදි චිකාගෝ ගුවන් තොටුපළට පැමිණ නැති බව දක්නට ලැබුණා.

නිවෙසට ඇමතුමක් ගත්තද එයට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කුහුලින් යුතුව යළි නිවෙස බලා යන ඇයට දක්නට ලැබුණේනිවසේ ප්‍රධාන දොර අගුලු දමා නොමැති බවයි. එමෙන්ම සැමියා වන ලී මිග්ලින් පෙනෙන මානයක නැති බව ඇයට වැටහුණා. අනතුරක සේයාව ඉවෙන් මෙන් වටහා ගත් ඇය ප්‍රවේශමෙන් නිවෙස තුළට යන අතර ඇය දකින්නේ මේසය මත අපිළිවෙලට තැබුණු ආහාර ටින් වගයක්. සැමියා දක්නට නොලැබීම ගැන සැක කරන ඇය අසල්වැසි යුවළකට ද මේ බව දැන්වුවා. නිවෙස සෝදිසි කරන අසල්වැසි පුරුෂයාට පුස්තකාලයේ මේසයක් මත තබා තිබෙන පෙති ගැසූ ඌරු මස් කුට්ටියක් හමුවුණා. තවත් සෝදිසි කරද්දී රුධිරය වැකුණු පිරිමි ඇඳුම් කිහිපයක් ද ඔහුට නිවෙස තුලින් හමුවුණා, එහෙත් ලී මිග්ලින්ගේ සේයාවක් වත් නැහැ.

ඔවුන් පොලිසියට දැන්වීමෙන් අනතුරුව මැයි මස 04 වැනි ඉරිදා උදෑසන පොලිසියේ සෝදිසි කිරීම් වලදී නිවසේ ගරාජයේ ඇතුළත සාහසික ලෙස මරා දමා සිටි මිග්ලින්ගේ මළ සිරුර හමුවුණා. ඔහුගේ ළය පෙදෙසට නියනකින් කිහිපවතාවක් ඇන තිබුණු අතර ගෙල අත් කියතකින් කපා විවරකර දමා තිබුණා. දෑත් දෙපා වයර් වලින් ගැටගසා තිබුණු අතර සිරුර බ්‍රවුන් පේපර්, ප්ලාස්ටික් සහ අලවන ටේප් වලින් ඔතා තිබුණා. ඔහුගේ මුහුණ නාස් කුහර හැරෙන්නට මුළුමනින්ම ටේප් වලින් ඔතා තිබුණු අතර මුව තුල අත්වැසූමක් බහා තිබුණා. ඉල ඇට බිඳී ගොස් තිබුණේ සිරුර මත අතහරින ලද සිමෙන්ති කොට්ට දෙකක් නිසාවෙන්. ඔහුගේ ඇඳුම් රුධිරයෙන් පෙඟී තිබුණද මළසිරුර හමුවුණු ස්ථානයේ එතරම් රුධිරය තිබුණේ නැහැ. ඔහු වෙනත් ස්ථානයක ඝාතනය කෙරී එතැනට රැගෙන ආ බව මෙයින් අනුමාන කළ හැකි වුණා. පොලිසිය නිර්ණය කළේ ලී මිග්ලින් මැයි 03 වැනි සෙනසුරාදා පස්වරු 2ත් 5ත් අතර ඝාතනයට ලක්වන්නට ඇති බවයි. එදිනම උදෑසන ඔහු Cote d’Or Coiffures වෙතින් කොණ්ඩය කපා තිබුණා. එහි අධිපති ඩොලරස් කිමෙල් මහත්මිය ඔහු සමඟ සාකච්ඡාවක නිරත වී තිබුණා. ඒ ඔහු දන්නා කිසිවෙකු විසින් ඔහුව ජීවමානව දුටු අවසන් වතාවයි.

ලී මිග්ලින් මහතාගේ ඝාතන ස්ථානයෙන් ලබාගත් ඡායාරූප (a) – මේසය මත තිබුණු ලුණු ඌරු මස් කුට්ටිය, (b) සහ (d) – මළසිරුර හමුවුණු ගරාජය, (c) මළසිරුර අසළ දක්නට ලැබුණු විවිධ දේ

ගරාජයේ නවතා තිබුණු මිග්ලින්ගේ කොළ පැහැති 1994 ලෙක්සස් රථයත්, ඔහුට අයත් ඩොලර් 2000ක මුදල් සහ රන් කාසි කිහිපයක් ඇතුළු භාණ්ඩ ඝාතකයා විසින් සොරා ගනු ලැබ තිබුණා. විස්මයකට හේතු වෙමින් ඔහුගේ සිරුරේ පොර බැදීමේ සළකුණු නොතිබුණු අතර නිවෙසට බලෙන් ඇතුළු වුණු බවටද සාධක තිබුණේ ද නැහැ. මේ අනුව නිගමනය කෙරුණේ මිනීමරුවා මිග්ලින් හඳුනන්නෙකු වීමට වඩා ඉඩ ඇති බවයි. මිග්ලින්ගේ නිවෙස ආසන්නයේ මාර්ගයක අයිනේ නවතා තිබුණු 1995 රතු චෙරෝකි ජීප් රථයක් පොලිසියට හමුවෙනවා. එය මීට පෙර ඇන්ඩ්රූ කුනානන් අතින් ඝාතනය වුණු ඩේව්ඩ් මැඩ්සන්ට අයත් අතුරුදන් වුණු රථය බව හඳුනා ගැනෙනවා. මිග්ලින් ඝාතනයට කුනානන්ගේ නම සම්බන්ධ වන්නේ මේ අනුවයි. පොලිසිය සිතුවේ මොවුන් දෙදෙනා නොහඳුනන්නට ඉඩ ඇති බවත්, මේ ඝාතනය අහඹු ඝාතනයක් වන්නට ඉඩ ඇති බවත්. ඔහු මුදල් සහ වාහනය පැහැර ගැනීමට මේ සිදු කළ බව ඔවුන් සිතුවා. එසේ නම් කුනානන් නිවෙසට ඇතුළු වුණේ කොහොමද? ඔහු මිග්ලින්ට එවැනි වධ දුන්නේ ඇයි? මළසිරුරෙන් ආරක්ෂක තුවාල දක්නට නොලැබුණේ මන්ද? මේවා පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න වුණා.

මොරින් ඕත් කතුවරියට අනුව බේස්බෝල් තොප්පියක් පළඳි කළු හිසකෙස් ඇති තරුණයෙක් මිග්ලින් සමඟ ගැවසෙන අන්දම අසල්වැසියන් විසින් දැක තිබෙනවා. මුලදී ඔවුන් ඒ ඔහුගේ පුතා ලෙස වරදවා වටහා ගත්තද ඔහුගේ පුතා, ආධුනික නළුවෙක් ලෙස රූගත කිරීමක් වෙනුවෙන් එකල නිවසෙන් බැහැරව සිටියා. ලේඛිකා මොරින් ඕත් මෙයට දෙන අර්ථකථනය ධනවත් ව්‍යාපාරික මිග්ලින් උභයලිංගික ආකර්ෂණයක් ඇති අයෙකු වන්නට ඇති බව සහ මහලු ධනවතුන් වෙත ගණිකා සේවයේ නිරත වුණු කුනානන් අතර රහසිගත සම්බන්ධයක් තිබෙන්නට ඇති බවයි. මොරින් ඕත්ගේ කෘතිය අනුසාරයෙන් නිර්මාණය කෙරුණු The Assassination of Gianni Versace කතා මාලාවේ පෙන්වන මිග්ලින් චරිතය, තම අභ්‍යන්තරයේ ඇති රහසිගත ආශාවන් සමඟ සටන් කරන අතිශය අවංක ගුණ යහපත් මිනිසෙක් ලෙසයි නිරූපණය වන්නේ. කෙසේ වෙතත් මිග්ලින්ගේ පුතු ඩියුක් මිග්ලින් මෙන්ම මැරිලින් මිග්ලින් ද එවැනි උභයලිංගික සම්බන්ධයක් ගැන අදහස සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. පොලිසියට හෝ FBI ආයතනයට එවැනි සබඳතාවයක් තිබුණු බට සාක්ෂි හමුව තිබුණේ නැහැ.

මාර්ලිනා මිග්ලින් (වමේ), මැරිලින් මිග්ලින් (මැද) සමඟින් ඩියුක් මිග්ලින් (දකුණේ)

“මං මොනවා කියන්නද අවුරුදු 38ක් තිස්සේ තදින්ම ආදරය කළ මිනිසෙක් ගැන – ධෛර්යය, ගෞරවය සහ උදාරත්වයට, ආචාරධාර්මිකත්වයට ජීවමාන උදාහරණයක් වුණු වෙනත් කෙනෙක් මං හිතන්නේ වෙන නැතුව ඇති. ” සංවේගයට පත්වුණු මැරිලින් මිග්ලින් මැයි 06 වැනි අඟහරුවාදා මාධ්‍යයට ප්‍රකාශ කළා.

මේ ඝාතන ත්‍රිත්වය ගැන ආරංචිය පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යය මඟින් පැතිර යද්දී මුළු ඇමරිකා එක්සත් ජනපදයම ත්‍රාසයෙන් වෙළී ගියා. එසේ වුවද මිග්ලින්ගේ ලෙක්සස් රථයෙන් සංචාරය කළ ඇන්ඩ්රූ, බෙහෙවින් සන්සුන් පුද්ගලයෙකු ලෙස The original Levi’s Store හි සාප්පු සවාරියක නිරත ව තිබුණු අතර, දෙවරක් පමණ සිනමාහලකින් චිත්‍රපට ද නරඹා තිබුණා. ඊටත් අමතරව ඔහු West Side Club සමාජ ශාලාවේද කාලය ගත කළ බවට පසුව සාක්ෂි ලැබුණා. එහෙත් කිසිවෙකුට ඔහුව හඳුනාගන්නට හැකිව තිබුණේ නැහැ. අතුරුදන් වුණු මිග්ලින්ගේ කොළ පැහැති ලෙක්සස් රථයෙහි දුරකතනයක් ද සම්බන්ධ කර තිබුණා. එය පණගැන්වෙන විට සංඥාවන් නිකුත් කරන අන්දමේ එකක්. මේ ඔස්සේ විමර්ෂණ කළ නිළධාරීන්ට ඔහුගේ දුරකථනයෙන් ලැබෙන සංඥාවන් ඔස්සේ මිනීමරුවා ගමන් කරන දිශාව හොයාගන්නට හැකි වුණා. ඒ අනුව ක්‍රියාත්මක වෙන පොලිස් නිළධාරී සහ FBI කණ්ඩායම් ඔහු කරා සමීප වුණා. අවාසනාවකට මෙන් ඔවුන් එසේ ලුහුබඳින ආරංචිය පොලිසිය විසින් මැයි 09 වැනි දින උදෑසන ජනමාධ්‍යයට නිරාවරණය කර තිබුණා. පැහැදිලිවම ගුවන් විදුලියට සවන් දෙමින් මිග්ලින් ඝාතන ස්ථානයෙන් පලා යමින් සිටි කුනානන් ගුවන් විදුලියෙන් ඒ ආරංචිය අසා තිබුණු අතර එමඟින් වාහනය මාරු කිරීමේ අවශ්‍යතාවය ඔහු වටහා ගන්නට ඇතිබව සිතිය හැකියි..

ලී මිග්ලින් සතුව පැවතුණු මාදිලියේ කොළ පැහැති 1994 ලෙක්සස් රථයක්

දකුණු නිව්ජර්සි කරා ගමන් ගන්නා කුනානන් යන අතරමඟදී අහම්බෙන් දකින රතු පැහැති 1995 ෂවලට් ට්‍රක් රථයක් හඹා ගොස් පැහැර ගැනීමට තැත් කරනවා. එහි හිමිකරු වන විලියම් රීස් කුනානන්ගේ වෙඩි පහරකින් නිවසේ බිම්මහලේදී ඝාතනය වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි. පෙර කී පණිවුඩය ජනමාධ්‍යයට නිරාවරණය නොකලා නම් කුනානන්ට වාහනය මාරු කිරීමට හෝ විලියම් ඝාතනය කිරීමට අවශ්‍යත්වයක් ඇති නොවන අතර ඉක්මණින් පොලිසියට ග්‍රහණය වීම නිසා අනෙකුත් ඝාතන කරන්නට ඉඩක්ද නො ලැබෙන්නට ඉඩ තිබුණා. මේ නිසා අහඹු ලෙස කුනනන්ගේ වාහනය අසලින් රිය පදවාගෙන ගිය අසරණ එක්දරු පියෙකු වුණු විලියම් රීස්ට සිය බිරිඳත් කුඩා පුතාත් අතහැර ජිවිතයට සමුදෙන්නට සිදු වෙනවා. ඔහු ඒ වනවිට පෙන්ස්විල් ජාතික සුසානභූමිය භාරකරු ලෙස සේවය කළා. ටෙලිනාට්‍යයේ සඳහන් ඔහුගේ අවසන් වදන් ප්‍රකාශ කළාද නැද්ද යන්න කිසිවෙක් නොදන්නේ එය පැවසු සහ ශ්‍රවනය කළ දෙදෙනාම ජිවතුන් අතර නොමැති නිසයි. නමුත් මරණය අබියසදී ඔහු එසේ පවසන්නට ඇතැයි පිටපත් රචකයන් විසින් අනුමාන කර තිබුණා. මේ ඝාතන සංඛ්‍යාව සමඟ ඇන්ඩ්රූ කුනානන් ඇමරිකාවේ Top Most Wanted ලැයිස්තුවට ඇතුළත් කෙරුණා. ඒ වනවිටත් විශේෂඥයන් දැන සිටි කරුණ ඔහුගේ ඝාතන දාමය මින් නොනවතිනු ඇති බවයි.

විලියම් රීස් (45) සහ ඔහුගේ පුතු ට්‍රෝයි රීස් (වමේ), විලියම් රීස්ගේ චරිතයට පණපොවන ග්‍රෙග් ලෝරන්ස් (මැද), සහ විලියම් රීස්ගේ මළසිරුර හමුවුණු බිම් මහල (දකුණේ)

මැයි 12 වැනිදා ෆ්ලොරීඩා වල මයාමිහි දකුණු වෙරළට ලඟා වුණු ඇන්ඩ්රූ කුනානන් එහි සැඟවී සිටින්නට අදහස් කළා. ඔහු Normandy Plaza හෝටලයට ද ඇතුළු වුණා. තමන් ගැන සොයමින් දීප ව්‍යාප්ත දඩයමක් ආරම්භ කර තිබුණත්, සති ගණනක් ඇන්ඩ්රූ සුඛෝපභෝගී ලෙස එහි කාලය ගත කළා. මාස ගණනක් තමා රැගෙන ආ මුදලින් ජිවත් වුණු ඇන්ඩ්රූ, තම සතු මුදල් අවසන් වීම හේතුවෙන් ජුලි 08 වැනි දින උකස් භාණ්ඩ වෙළඳ සැලකට ඇතුළු ලී මිග්ලින්ගේ නිවෙසින් සොරකම් කළ රන් කාසියක් උකස් කළා. පුදුමයකට මෙන් කුනානන් එහි ලියකියවිලි වලට තමන්ගේ සත්‍ය නම යොදා, සත්‍ය අත්සන යෙදූ අතර තම මහපට ඇඟිලි සළකුණ ද යොදා තිබුණා. උකස් හලේ කළමනාකාරිණිය වුණු විවියන් ඔලිවියා නෛතික අවශ්‍යතාවයක් සපුරමින් මයාමි පොලිසියට මේ ලියකියවිලි වල පිටපතක් යවනු ලැබුවා. පොලිසිය විසින් එය විමසා බැලිය යුතු වුවද, ලියකියවිලි ගොඩක් සමඟ එය පිරික්සීම පොලිසියට අතපසු වුණා.

ඇන්ඩ්රූ කුනානන් නැවතී සිටි නෝමන්ඩි ප්ලාසා හෝටලය (වමේ) සහ ඔහු සිය නම ලියා අත්සන් කළ උකස් ලියකියවිලි (දකුණේ)

ජුලි 11 වැනි දින කුනානන් නැවතත් සැන්ඩ්විච් වෙළඳ සැලකදී එහි මුදල් අයකැමිවරයෙකු වන කෙනත් බෙන්ජමින් විසින් දැක තිබුණා. America’s Most Wanted නරඹා තිබුණු ඔහු එසැණින් කුනානන්ව හඳුනා ගෙන 911 වෙත තොරතුර දුන් නමුත්, පොලිසිය පැමිණෙන්නට මොහොතකට පෙර එතැනින් අතුරුදන් වන්නට ඇන්ඩ්රූ කුනානන් සමත් වුණා. මේ අන්දමින් විවිධ ස්ථාන වල ඔහු දක්නට ලැබුණ බවට ඔත්තු ලැබුණද, පොලිසියෙන් ගැලවෙමින් ෆ්ලොරීඩාව පුරාම සැරිසරන්නට ඔහුට හැකි වුණා. පොලිසිය විශ්වාස කළේ දකුණු මයාමි වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වුණු විලාසිතා නිර්මාණ ශිල්පී ජියානි වර්සාචි ගැන තොරතුරු සොයමින් ඔහු එළෙස කල් ගත කළ බවයි.

කවුද මේ ජියානි වර්සාචි කියන්නේ? ජියානි වර්සාචි ඉතාලි ජාතික විලාසිතා සහ ඇඟලුම් නිර්මාණ ශිල්පියෙකු වුණු අතර දක්ෂ ව්‍යාපාරිකයෙකු ද වුණා. ඔහු වර්සාචි ජාත්‍යන්තර ව්‍යාපාරයේ ආරම්භකයා වුණා. ඒ ජාත්‍යන්තර සුඛෝපභෝගී විලාසිතා මන්දිරයක් වුණු අතර එහි විලාසිතා ඇඟලුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ආලේපන, ඇතුළු බොහෝ නිෂ්පාදන සිඩු කෙරුණා. ඊට අමතරව ජියානි වර්සාචි වේදිකා නාට්‍ය, සහ සිනමා නිර්මාණ වල අංග රචනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපට සහ රූපවාහිනී කතා කිහිපයක රංගන ශිල්පියෙක් ලෙසද ඔහු දායකත්වය දැක්වුවා. ලෝක ප්‍රකට ජනප්‍රිය පුද්ගලයන් වුණු එරික් ක්ලැප්ටන්, ඩයනා කුමරිය, නයෝමි කෑම්ප්බෙල්, කේට් මොස්, මැඩෝනා, එල්ටන් ජෝන්ස් මෙන්ම ටුපක් ශකුර් ආදීන් සමීප මිතුරන් ලෙස ඇසුරු කළ ජියානි වර්සාචි සංගීත ලෝකයට විලාසිතා සම්බන්ධ කිරීමේ පුරෝගාමියෙකු වුණා. පුරාණ ග්‍රීක කලාවන්ගෙන් දැඩිව ආභාසය ලද ජියානි ඔහුගේ නිර්මාණ වලට ඒවා යොදාගත්තා. ඇඳුම් මසන්නියක වුණු මවගේ ව්‍යාපාරයට සහය වෙමින් සිය විලාසිතා නිර්මාණ දිවිය ඇරඹු ජියනි ඉක්මණින් එය ඉතා ඉහළ තලයකට දියුණු කරන්නට සමත් වුණේ සිය කලාත්මක නිර්මාණ කෞශල්‍යය ඔහු නිසි ලෙස ව්‍යාපාරයට යොදාගත් නිසයි. සමලිංගික රුචිකත්වයක් තිබුණු ඔහු සිය ලිංගික අනන්‍යතාවය නොපැකිලව ලෝකයට ප්‍රකාශ කරන්නට ද ක්‍රියා කළා. ඔහු ඇන්ඩ්රූගේ අවධානයට ලක් වන්නේ මෙලෙස සමලිංගිකයෙකු ලෙස ව්‍යාපාර ලෝකයේ ඉහළට ගමන් කළ අයෙකු වුණු නිසා යැයි සිතිය හැකියි.

ජියානි වර්සාචිගේ චරිතය රඟදක්වන එඩ්ගා රමිරේස් (40) වර්සාචි මන්දිරය ඉදිරිපස රූගත කරමින් (වමේ), දිවංගත ජියානි වර්සාචි (දකුණේ)

1997 ජුලි 15 වැනි දින උදෑසන සුපුරුදු පරිදි පුවත්පත් මිලට ගෙන කෝපී පානය කිරීමට සිය සුඛෝපභෝගී වර්සාචි මන්දිරයෙන් එළියට ආ ජියානි වර්සාචි, සිය කාර්යයන් නිමා කර ආපසු නිවෙස අසලට පැමිණ ගේට්ටුව විවර කිරීමට උත්සහ කළේ යළි ඇතුළට යාමටයි. ඒ වනවිට වෙලාව උදෑසන 8:45 පමණ වුණා. ඔහු ගේට්ටුවේ අගුළට යතුර දැමු සැණින් පිටුපසින් රහසින් ඇවිද ආ කිසියම් අයෙකු විසින් ඔහුගේ හිසට වෙඩි පහර දෙකක් එල්ල කරනු ලැබුවා. එසැණින් ඔහු වර්සාචි මන්දිරයේ ගේට්ටුව අසළ පියගැටපෙළ මත, මුහුණ පහතට සිටින ලෙස ඇද වැටුණු අතර සිද්ධිය දුටු අයෙක් මේ ගැන වහාම පොලිසියට ඇමතුමකින් දැනුම් දුන්නා.

“ඔව්, මනුස්සයෙක්ට වෙඩි වැදිලා. කරුණාකර ඉක්මණින් එන්න, කරුණාකරලා”
කොහොමද ඔහුට වෙඩි වැදුණේ, සර්?
“මං දන්නේ නැහැ, ඔහු තමන්ගේ ගෙදර ඉස්සරහ ඇවිදිමින් හිටියා. ඒ ජියානි වර්සාචි! ”

වෙඩි හඬ ඇසී නිවෙසින් එළියට පැමිණි වර්සාචිගේ පෙම්වතා වුණු ඇන්තෝනියෝ ඩෙමිකෝ සහ ඔහුගේ බට්ලර් ඝාතකයා දැක ඔහු පසුපසින් හඹා ගියද, ඔවුන් වෙත තුවක්කුව එල්ල කර බියවද්දා ඝාතකයා පළා ගොස් තිබුණා. ජියානි වර්සාචි වහාම රෝහල්ගත කෙරුණු නමුත් එදින උදෑසන 9:21ට ජැක්සන් අනුස්මරණ රෝහලේදී මරණයට පත් වුණු බව නිවේදනය කෙරෙනවා. ඒ ඛේදජනක ආරංචියෙන් මුළු ලෝකයම කම්පනයට පත් කරන්නට සමත් වෙනවා.

ජියානි වර්සාචි ඝාතන ස්ථානයෙන් ලබාගත් ඡායාරූප (වමේ සහ දකුණේ ඉහළ), සංවේගයට පත් රසිකයන් වර්සාචිගේ මන්දිරය ඉදිරිපිට තැබූ මල් සහ සිහිවටන (මැද), වර්සාචිගේ අවමංගල්‍යයට සහභාගී වුණු ඩයනා කුමරිය ඇතුළු ප්‍රභූන් (දකුණේ පහළ)

සිද්ධිය වුණු ස්ථානයෙන් විවිධ සාක්ෂි එකතු කරගන්නා අතර පොලිස් විමර්ෂණ ඉදිරියට ඇදුණා.. එක් සුවිශේෂී සාක්ෂියක් වන්නේ, වර්සාචිට වෙඩි තබද්දී විසිවූ පතොරම් කැබැල්ලක් වැදීමෙන් මියගිය පක්ෂියා යි. අනෙක වර්සාචි මන්දිරය අසලින් සොයා ගැනෙන රතු පැහැති ෂවලට් ට්‍රක් රථයයි. ඒ අසලම සැකකරු විසින් දමා ගිය රුධිරය වැකුණු ඇඳුම් ද, ගුවන් ගමන් බලපත්‍රයක් ද හමුවුණා.. එම රථය විලියම් රීස් නම් වෙඩි තබා ඝාතනයට ලක් වුණු සුසාන භූමි භාරකරුවා වෙතින් සොරකම් කෙරුණු එකක් බව හෙළි වුණා.. විලියම් රීස් ඝාතනයේ සැකකරු වන ඇන්ඩ්රූ කුනානන් වර්සාචි ඝාතනයට ද සම්බන්ධ බව සොයා ගැනෙන්නේ ඒ අනුවයි. අනතුරුව මයාමි පොලිස් දෙපාර්තමේන්තුව FBI සමඟ එක්ව කුනානන් සොයමින් රට පුරාම මහා පරිමාණ ලුහුබැඳීමක් දියත් කරනවා. එය එතෙක් ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කෙරුණු විශාලතම මිනිස් ලුහුබැඳීමයි.

වර්සාචි ඝාතනය කළ මොහොතේ තැබූ පතොරම් කැබැල්ලක් විසි වීමෙන් මියගිය පක්ෂියා (වමේ) සහ කුනානන් විසින් අත්හැර දැමුණු විලියම් රීස්ට අයත් රතු ෂවලට් ට්‍රක් රථය (දකුණේ)

එතැන් පටන් ඇන්ඩ්රූ කුනානන් සුප්‍රකට දාම ඝාතකයන් වුණු චාල්ස් මැන්සන්, ටෙඩ් බන්ඩි, ජෙෆ්රි ඩැල්මර් හා සම මට්ටමේ දාම ඝාතකයෙක් ලෙස සැලකුණා. ඒ සමඟ තම මුළු ජීවිතය පුරාම ඇන්ඩ්රූ විසින් සෙවූ කුප්‍රකට ජනප්‍රියත්වයට ඔහු පත් වුණා. ඔහු කාන්තාවක් ලෙස වෙස්වළාගෙන සිටීමේ හැකියාව ගැනත් පොලිසිය සලකා බැලුවා. මේ අතර නෝමන්ඩි ප්ලාසා හෝටලයට ඇතුළු වුණු පොලිසිය ඇන්ඩ්රූ කුනානන් ව්‍යාජ නමකින් පෙනී සිටි කාමරය ද පරික්ෂා කළත් ඔහුගේ බඩු බාහිරාදිය මිසක ඇන්ඩ්රූ හමුවුණේ නැහැ. ෆ්ලොරීඩාව පුරාම විවිධ ස්ථාන වලින් ඇන්ඩ්රූ කුනානන්ට සමාන පෙනුම ඇති පුද්ගලයන් දුටු බවට මහජනතාවගෙන් දිනපතා දහස් ගණනනින් පොලිසියට ඇමතුම් ලැබුණා. මේ සමඟ බලධාරීන්ට තහවුරු වුණේ ඇන්ඩ්රූ ෆ්ලොරීඩාව හැර ගොස් නැති බවයි.

ඇන්ඩ්රූ කුනානන් ගැන සොයමින් පළ කෙරුණු අත් පත්‍රිකාවක පළවූ ඡායාරූප දෙකක් (වමේ) සහ ටෙලිනාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කෙරුණු ඊට අනුරූප පින්තූර දෙකක් (දකුණේ)

ජුලි 23 වැනි බදාදා ෆර්නැන්ඩෝ කුරේරා තමා භාරයේ තිබුණු, ඉන්දියන් කලපු ඇලේ නවතා තිබුණු විශාල නිල් බෝට්ටු නිවාසය පිරික්සීමට එය ආසන්නයට පැමිණියා. එම බෝට්ටු නිවාසය එහි හිමිකරු විසින් කුරේරාට භාරදුන්නේ හිමිකරු වෙනත් ප්‍රදේශයක වාසය කළ නිසයි. දිනපතා පැමිණ එහි ඉදිරි දොර අගුලු පිරික්සන ඔහු එදින දුටුවේ එහි ඉදිරි දොරෙහි අගුලු කඩා දමා ඇති බවයි. තව දුරටත් විමර්ෂණය කරන්නට පෙර ඔහුට වෙඩි හඬක් ඇසුණා. වහාම දිව ආ ඔහු 911ට ඇමතුමක් ගත්තා. පැයක් ඇතුළත එම ප්‍රදේශයේ සියලුම ගමනාගමන මාර්ග අවහිර කරන ආරක්ෂක අංශ වහාම ආයුධ සන්නද්ධව එතැනට ලඟා වුණා.

මයාමි වෙරළේ ඉන්දියන් කළපු ඇලේ නවත්වා තිබුණු බෝට්ටු නිවාසය

එතැනට රැස් වුණු පුවත් නාලිකා වල ප්‍රාදේශීය වාර්තා කරුවන් ප්‍රකාශ කළේ ඒ රැඳි සිටින තැනැත්තා ඇන්ඩ්රූ කුනානන් වීමට ඉඩ ඇති බවයි. ඉක්මණින් ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කරවූ පොලිසිය පැය හතරක් පමණ තිස්සේ බලා සිටියා. අවසානයේ ඔවුන් බෝට්ටු නිවාසය තුළට කඳුළු ගෑස් ගැසුවා. කඳුළු ගෑස් දුම් වලාවන් තුළින් බෝට්ටු නිවාසය තුළට අවතීර්ණ වුණු ආරක්ෂක අංශ වලට ඉහළ මහලේ සයනයක් මත බොක්සර් කොට කළිසමක් පමණක් හැඳ උඩුබැලි අතට සිටි සිටි පිරිමියෙකුගේ මළසිරුරක් හමුවුණා. ඔහුගේ උදරය මත 40 කැලිබර් තුවක්කුවක් තිබුණු අතර, බියෙන් සහ තැතිගැන්මෙන් යුතුව ඔහු සිය හිසට වෙඩි තබාගෙන තිබුණු බවක් පෙනෙන්නට තිබුණා. පැය කිහිපයකට පසුව බළධාරීන් ඔහුගෙන් ලබාගත් ඇඟිලි සළකුණු උකස් හලේ ලියැවිල්ලේ ඇඟිලි සළකුණු සමඟ ගැළපෙන බව සොයා ගත්තා. ඒ අන් කිසිවෙක් නොව ඇන්ඩ්රූ කුනානන් වුණා. ඒ සමඟින් නිවේදනය කෙරුණේ එක්සත් ජනපදයම බියෙන් සලිත කළ ඇන්ඩ්රූ කුනානන්ගේ භීෂණය නිමාවී ඇති බවයි.

ඇන්ඩ්රූ කුනානන්ගේ ඛේදජනක මරණය (දකුණේ) සහ එය ටෙලිනාට්‍යයේ නිරූපණය කෙරුණු අන්දම (වමේ)

නැෂනල් සිටි හි කම්කරු පන්තියේ සංක්‍රමණිකයන් අතරින් ඇරඹී, එක්සත් ජනපදය පුරා ඉහළ සමාජයේ පුද්ගලයන් සමඟින් විවිධ සබඳතා ඇතිකරගනිමින් මුදල් උපයමින්, ඉහළ සමාජයේ කෙනෙකු ලෙසින් ජිවත් වෙමින්, සැන් දියේගෝ වල රාත්‍රී සමාජ ශාලා වල අසීමාන්තිකව විනෝද වෙමින් රටපුරා විවිධ ස්ථාන වල මිනිස් ජීවිත උදුරා ගනිමින් සිටි, ඒ සෙල්ලක්කාර ජීවිතය සිය 27 වන වියේදී, මයාමි වෙරළ තිරයේ කළපුවක තිබුණු බෝට්ටු නිවෙසක බියෙන්, හුදෙකලාවෙන් සහ කුසගින්නෙන් පීඩිතව අඩනිරුවතින් අවසන් ගමන් ගොස් තිබුණා. අවසානයේ මරණයට ගොදුරු වුවන් පස් දෙනෙකු සහ තමන්ගේ පවුලද ඇතුළත්ව ශෝකයෙන් පීඩිත පවුල් හයක් ද සමඟින්, පිළිතුරු නැති ප්‍රශ්න ගණනාවක් ඔහු ඉතිරි කර තිබුණා. ඇන්ඩ්රූ ජියානි වර්සාචිව දැනගෙන සිටියාද? ඇන්ඩ්රූ ලී මිග්ලින්ව දැනගෙන සිටියාද? ඇන්ඩ්රූ මේ ඝාතන සිදු කරන්නට සැබවින්ම හේතු වුණු අරමුණ කුමක්ද? පොලිසියෙන් වසන්ව සිටීමට ඔහුට කිසිවෙකු විසින් උපකාර කළාද? එය කිසිවෙකුට කිසි දිනෙක නිවැරදිව දැනගත නොහැකි වන අතර ඇත්තේ උපකල්පන පමණයි.

සටහන – ප්‍රබුද්ධ කේසර විතානගේ

Author

2 thoughts on “The Assassination of Gianni Versace කතා මාලාවට පසුබිම් වුණු ඛේදජනක සත්‍ය කතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *