ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය – පසුබිම් කතාව

IMDb දර්ශකයේ මනාප මිලියන 1.3කට අධික ප්‍රමාණයක් ලබාගනිමින් 7.9/10ක අගයක් ලබාගන්නට ටයිටැනික් චිත්‍රපටයට හැකි වුණා. ඔස්කා සම්මාන 14කට නිර්දේශ වී ඉන් 11ක් දිනාගන්නට ටයිටනික් සිනමාපටය සමත් වෙනවා. ඔස්කා සම්මාන වලට අමතරව වෙනත් විවිධ සම්මාන උළෙලවලදී විවිධ සම්මාන 162කට නිර්දේශ වී එයින් 111ක් ලබාගන්නට සමත් වුණු බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ටයිටැනික් සිනමාපටයේ වාණිජ සාර්ථකත්වය ගැන සඳහන් නොකරම බැහැ. 1997 නොවැම්බර් 01 වැනිදා මුල්වරට තිරගත කෙරුණු ටයිටැනික්  Jurassic Park (1993) චිත්‍රපටය අබිභවමින් ලොව වැඩිම ආදායමක් ලද සිනමාපටය බවට පත් වුණා.1998 මාර්තු 01 වැනිදා වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායමක් ලද පළමු සිනමා පටය බවට පත් වුණා. ලොව වැඩිම ආදායමක් ලද සිනමාපටය ලෙස වසර 12ක් අඛණ්ඩව තබා සිටි වාර්තාව කැමරාන්ගේම Avatar චිත්‍රපටය මඟින් 2009 දී බිඳ හෙලනු ලැබුවා. එමෙන්ම ටයිටැනික් ඛේදවාචකයෙන් සියවසකට පසුව, 2012 අප්‍රේල් මස යළි නිකුත් කෙරුණු 3D සංස්කරණයෙන් ටයිටැනික් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ දෙවැනි චිත්‍රපටය බවට පත් වුණා. අනතුරුව සිනමාපටයේ 20 වන සංවත්සරය වෙනුවෙන් 2017දී නිකුත් කෙරුණු  Dolby Vision සංස්කරණය සහ 2023දී 25 වන සංවත්සරය වෙනුවෙන් කළ 4K නිකුත් කිරීමෙන් ද අනතුරුව ඇමරිකානු ඩොලර් බිලියන 2.257ක සම්පූර්ණ ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

1998 Oscar Awards හි සම්මාන ලද ටයිටැනික් ශිල්පීන්; (A) – වමේ සිට දකුණට; ටයිටැනික් නිෂ්පාදක ජෝන් ලන්දාවූ සහ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් , (B) – වමේ සිට දකුණට; සංගීත අධ්‍යක්ෂක විල් ජෙනින්ස්, ගායිකා සෙලින් ඩියෝන්, සංගීත අධ්‍යක්ෂක ජේම්ස් හොනර්

දැන් අපි ටයිටැනික් නිර්මාණය කෙරුණු විධිය වෙත යොමු වෙමු. ජේම්ස් කැමරන්ට ටයිටැනික් සිනමාපටය නිර්මාණය කරන්න හිතුණේ කොහොමද දන්නවද? ජේම්ස් කැමරන් ගැඹුරු සාගර පතුළ ගවේෂණය සහ රූගත කිරීම ගැන දැඩි උනන්දුවක් දක්වපු කෙනෙක්. ඒ වගේම ඔහු ගිලී ගිය නෞකා ගවේෂණය කිරීම කෙරෙහි දැඩිව ආකර්ෂණය වුණා. ටයිටැනික් නෞකාව කැමරන් විසින් හැඳින්වුයේ මුහුදේ ගිලී ගිය නෞකා අතර එවරස්ට් ශිඛරය ලෙසයි. ටයිටැනික් නෞකාව ගැන සිනමාපටයක් නිර්මාණය කිරීමේ අදහස කැමරන්ට පහළ වෙන්නේ මේ විධියට ගිලුණු නෞකාවේ දර්ශන දැකීමත් සමඟයි. “ඒ නැව එක්ක රෝමියෝ සහ ජුලියට්”, ජේම්ස් කැමරන් 20th Century Fox සමාගමට සහ Paramount Pictures සමාගමට තම සිනමා සංකල්පය ප්‍රකාශ කළේ ඒ විධියටයි. නමුත් අධ්‍යක්ෂකවරුන් සිතුවේ ඔහුගේ ප්‍රේමාන්විත කතාන්දරය වාණිජ වශයෙන් සාර්ථක නොවනු ඇති බව සහ, ටර්මිනේටර් මෙන් ක්‍රියාදාම ජවනිකා සිනමාපටයට ඇතුළත් විය යුතු බවයි. කෙසේ හෝ කැමරන් සමඟ දිගුකාලින වාණිජ සම්බන්ධයක් ගොඩනංවා ගැනීමට ඔවුන් කැමරන් සමඟ එකඟ වුණා. සාගර අභ්‍යන්තරය ගැන තමන්ගේ ආකර්ෂණය ප්‍රේක්ෂකයන් තුළද ඇති කරවීමට කැමරන්ට අවශ්‍ය වුණා. “අපට එක්කෝ සාගරය යට ජවනිකා විචිත්‍ර ආකෘති, Motion Control සහ CGI මඟින් හදන්න පුළුවන්  X මුදලක් වැය කරලා. එහෙම නැතිනම් X+30% අමතරව වැය කරලා සැබෑ නෞකාවශේෂයට කිමිදිලා දිය යට රූගත කිරීම් කරන්න පුළුවන්.” කැමරන් නිෂ්පාදකයන්ට ඒත්තු ගැන්වුයේ එසේ දිය යට රූගත කිරීම් සිදු කිරීමෙන් අමතර ආකර්ෂණයක්, වටිනාකමක් එකතු වන බවයි. සත්‍ය නෞකාව වෙත කිමිදිමෙන් ලැබෙන ජනප්‍රියත්වය සිනමාපටයේ පූර්ව ප්‍රචාරණයට යොදාගත හැකි බව ඔහුගේ අදහස වුණා.

ටයිටැනික් චිත්‍රපටයෙහි අන්තර්ගත ටයිටැනික් නෞකාවශේෂයේ දිය යට දර්ශනයක්

අනතුරුව 1995දි ටයිටැනික් නෞකාවේ අවශේෂය වෙත කිමිදුම් 12ක නිරත වී ටයිටැනික් සිනමාපටය සඳහා අවශ්‍ය වීඩියෝ දර්ශන ලබාගැනීමට චිත්‍රපට කණ්ඩායම ක්‍රියා කළා. මේ වෙනුවෙන් අධික පීඩනයෙන් යුතු ගැඹුරු සාගර පතුලේ තත්වයන්ට ඔරොත්තු දියහැකි නව කැමරා නිර්මාණය කරන්නට ඔවුන්ට සිදු වුණා. කෙසේ වෙතත් ඒ ගවේෂණ මාරාන්තික අවදානමක් ගනිමින් සිදු කෙරුණු ඒවායි. සැතපුම් දෙකහමාරක් ගැඹුරු මුහුදෙහි ඇති අතිශය දරුණු අභියෝගාත්මක වාතාවරණයන් ජයගන්නට කණ්ඩායම සමත් වුවද ඇතැම් අවස්ථා වල අනතුරු වලටත් මුහුණ දෙන්නට සිදු වුණා. එක් ගවේෂණයකදී ගිල්වුම් යාත්‍රාවක් ටයිටැනික් නැවේ බඳේ ගැටීම නිසා ගිල්වුම් යාත්‍රාවටත්, නැව් බඳටත් හානි සිදු වූ අතර ගිල්වුම් යානයේ අවර පෙති කැඩී එහි කොටස් බාහිර ව්‍යුහය මත විසිර ගියා. එමෙන්ම කපිතාන් ස්මිත්ගේ කුටියේ කඩා වැටීමක් සිදු වී එහි ඇතුලාන්තය විවර වුණු අතර, දැවැන්ත පඩිපෙළට පිවිසෙන ස්ථානයට ද හානි සිදු වුණා. මෙවැනි අනතුරු නිසා නෞකාව තුළ රූගත කිරීමට අදහස් කළ ඇතැම් දර්ශන රූගත කරන්නට නොහැකි වුණු බව කැමරන් පවසනවා. නෂ්ට වී ගිය නෞකාවේ දර්ශනයකින් ඇරඹි එය 1912 යුගයට සංක්‍රමණය වන ලෙස සකස් කිරීමට අදහස් කල දර්ශන කිහිපයක් රූගත කිරීමට මේ නිසා නොහැකි ව තිබෙනවා. කෙසේ වෙතත් සත්‍ය නෞකාවශේෂය ගවේෂණය කරමින් කාලය ගෙවූ කැමරන් සහ කණ්ඩායමට ටයිටැනික් ඛේදවාචකය සිනමාවට නැඟීමේ බරපතළකම තදින්ම වැටහෙන්නට පටන් ගත්තා. ගිලි ගිය නෞකාවෙන් ඔවුන් වටහා ගත් පරිදි මහා අනතුරේදී සිදු වුණු සත්‍ය ජීවිත හානි වල ඛේදවාචකය, ඒ හා බැඳුණු ඔවුන් ගොදුරු වුණු අසාධාරණය වඩා සංවේගජනක ලෙස ප්‍රේක්ෂකයන්ට දැනවීමට ඔහුට අවශ්‍ය වුණා. දැඩි අවදානම් සහගත අනතුරුදායක පරිසරයක ගිලී ගිය ටයිටැනික් නෞකාවශේෂය වෙත වෙනත් සිනමාකරුවෙකු ගවේෂණය නො කිරීමේ ඉඩකඩ වැඩි නිසා, අතිශය නිරවද්‍ය ලෙස අනතුර ප්‍රතිනිර්මාණය කර සත්‍ය ඉතිහාසය ලෝකයට ජීවමානව පෙන්වීමේ බරපතළ වගකීමක් තමන් මත පැටවී ඇති බව කැමරන් සිතුවා. නිධන් ගවේෂක බ්‍රොක් ලොවෙට්ගේ චරිතයෙන් ඔහු නිරූපණය කළේ, නෞකාව ගැන උනන්දු වුණත් මේ මහා ඛේදවාචකයේ මානව සංඝටකය ගැන කිසිදා සංවේදී නොවුණු පුද්ගලයන්වයි.

ටයිටැනික් චිත්‍රපටය සඳහා යොදා ගැනුණු සත්‍ය චරිත අතරින් කිහිප දෙනෙක් සහ එම චරිත සඳහා රංගනයෙන් දායක වුණු ශිල්පීන්.

“වසර සියයකට පසුවත් ටයිටැනික් තවමත් අපේ පරිකල්පනය ග්‍රහණය කරගන්නේ ඇයගේ කතාන්දරය ඇත්තෙන්ම මිහිමත සිදු වුණු නවකතාවක් බඳු නිසාවෙනි. මුළුමනින්ම ප්‍රබන්ධයක් වූවා නම් මේ කතාන්දරය මීට වඩා හොඳින් කිසිවෙකුට ලිවිය නොහැකි වනු ඇත. මහාද්වීප දෙකක ධනවත් ප්‍රභූන්ගෙන් පිරී ගිය, එතෙක් ඉතිහාසයේ විශාලතම සුන්දරම නෞකාව, සිය මංගල චාරිකාවේදීම, අඳුරු රැයකදී ඇයගේ ගමන් මඟෙහි පිහිටි හුදෙකලා අයිස් පර්වතයක ගැටීමෙන් අනතුරුව, එවැනි නෞකාවක් කිසිදා නොපැවතුණු පරිද්දෙන් කාල වර්ණ සාගරයෙහි ගිලී අතුරුදන්ව යාම, ධනවතුන් සහ දුප්පතුන් සංසන්දනාත්මක සමීප ස්ථානයකට පත්වීම, ස්ත්‍රී පුරුෂභාවයේ සමාජ භූමිකාවන් මරණය දක්වා රඟදැක්වීම් (කාන්තාවන් හා ළමුන් පළමුව), ගෙවී ගිය යුගයක දර්ශනය සහ උදාරත්වය, ශ්‍රේෂ්ට නෞකාව මහා අන්ධකාරය මැද හිතුවක්කාර ලෙස මෙහෙයවාගෙන ගිය මිනිසුන්ගේ අනුවණකමේ ප්‍රමාණයට පමණක් දෙවැනි වන පරිමාණයක පැවතුණු එම නෞකාවේ විශාලත්වය, මේ සියල්ලටම ඉහළින් කියාදෙන පාඩම්; ජීවිතය අනියත බවත්, අනාගතය අවිනිශ්චිත බවත් සමඟ නොසිතූ දෙය සිදුවිය හැකි බව. මේ මූලිකාංග සියල්ල මහා කතා රචකයෙකු විසින් මනසේ නිර්මාණය කළාක් බඳුයි. “

– ජේම්ස් කැමරන්”

දියයට ගවේෂණ සහ රූපරචනය නිම කිරීමෙන් අනතුරුව කැමරන් තිරරචනය ආරම්භ කළා. මාස හයක් තිස්සේ ටයිටැනික් කාර්ය මණ්ඩලය සහ එහි ගමන් කළ මඟින් ගැන පුළුල් අධ්‍යයනයක නිරත වුණු කැමරන්, නැව් ගමන ආරම්භයේ සිට ගිලී යාම දක්වා වුණු සිදුවීම් කාල රේඛාවක පෙළගස්වාගෙන ටයිටැනික් ඉතිහාසය ගැන විශේෂඥයන්ගෙන් එය තහවුරු කරවා ගත්තා. එකිනෙකා කෙරෙහි බැඳුණු ආදරයෙන් තමන්ගේ ජීවිත වුව පරිත්‍යාග කරන තරමේ අනුවේදනීය ආදර සබඳතාවයක් ඇතුළත් කතන්දරයක් ගොඩනංවා පෙර සඳහන් කළ සත්‍ය කාලරේඛාවේ සිදුවීම් සමඟ ඒකාබද්ධ කරන්නට කැමරන් ක්‍රියා කළා. රූගත කිරීම් ආරම්භ වන විට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සත්‍ය සිදුවීම් ගැන මනා අවබෝධයකින් පසුවුණු බව කැමරන් පැවසුවා. කැමරන්ට අවශ්‍ය වුණේ කාල යන්ත්‍රයකින් 1912ට ගමන් කර සත්‍ය සිදුවීම රූගත කලාක් මෙන් පෙනෙන අන්දමින් අතිශය නිවැරදිව ඉතිහාසය ප්‍රතිනිර්මාණය කර පෙන්වීමටයි.

ඉහළ රූපරාමු පෙළ ටයිටැනික් නෞකාවේ සත්‍ය ඡායාරූප වන අතර පහළ ඇත්තේ එම ඡායාරූප ඇසුරින් ප්‍රතිනිර්මාණය කෙරුණු ටයිටැනික් චිත්‍රපටයේ රූපරාමු වේ.

මහළු රෝස්ගේ චරිතය තුළින් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඇයගේ ආදර කථාව අනාවරණය කිරීම හරහා ප්‍රේක්ෂකයන්ට තියුණු ලෙස කාවදින අන්දමින් ටයිටැනික් කතාන්දරය තාත්විකව ගෙනහැර දැක්වීමට කැමරන් ඇතුළු කණ්ඩායම සමත්ව තිබෙනවා.  චිත්‍රපටය අවසානයේදී මහලු රෝස් සයනයෙහි වැතිර සිටින අතර ජැක් සහ රෝස් දැවැන්ත පඩිපෙළ මතදී හමුවන අන්දම දැකීමේ ජවනිකාව අනුව මහලු රෝස් මිය ගිය බවට කේට් වින්ස්ලට් සහ ග්ලෝරියා ස්ටුවර්ට් දෙදෙනාම විශ්වාස කළා. ඒ පිළිබඳව විමසීමේදී කැමරන් දුන්නේ අපූරු පිළිතුරක්: ” මෙහි ඇති විශාලම උභයාර්ථය ‘ඇය ජිවතුන් අතර සිටියදී සිහිනයක් දුටුවාද?’ නැතිනම්, ‘ඒ ඇය මියගොස් ස්වර්ගයට යන අතර අත්දකින දෙයක්ද?’ යන්නයි. මේ මා කිසිදා පිළිතුරු නොදෙන ප්‍රශ්නයක්. ඇත්තෙන්ම මා දන්නවා අප එහිදී අදහස් කළ දෙය. එහෙත් මෙයට පිළිතුර ඔබ විසින්ම පෞද්ගලිකව, තනිව සොයා ගත යුතු දෙයක්.” නිධන් ගවේෂක බ්‍රොක් ලොවෙට්ගේ චරිතයෙන් ඔහු නිරූපණය කළේ, නෞකාව ගැන උනන්දු වුණත් මේ මහා ඛේදවාචකයේ මානව සංඝටකය ගැන කිසිදා සංවේදී නොවුණු පුද්ගලයන්වයි.

ටයිටැනික් අනතුර අරභයා 1958දී නිකුත් කරන ලද A Night to Remember නම් විශිෂ්ට බ්‍රිතාන්‍ය සිනමාපටය තරුණයෙකු ලෙස නැරඹු කැමරන් තම නිර්මාණය සඳහා එයින් ආභාෂය ලබා ගත්තා. එම සිනමා පටයේ ඇතැම් ජවනිකාවන් තම චිත්‍රපටය තුල සත්‍ය සිදුවීම් ගොඩනැංවීමේදී අනුගමනය කිරීමටත් කැමරන් ක්‍රියා කළා. ඒ මොනවාද යන්න ඔබට A Night To Remember (1958) නැරඹීමෙන් දැනගත හැකියි.

කැමරන් ආභාසය ලබාගත් 1958 තිරගත වුණු A Night to Remember සිනමාපටයේ දර්ශන

ටයිටැනික් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුයේ, 1996 ජුලි 31 වන දින, වර්තමාන යුගයේ ගවේෂණ වල දර්ශන රූගත කිරීමට යොදා ගැනුණු  Akademik Mstislav Keldysh නම් රුසියානු ගවේෂණ නෞකාව මතයි. ටයිටැනික් නෞකාවේ දර්ශන රූගත කිරීම වෙනුවෙන් විවිධ ප්‍රමාණයේ ටයිටැනික් ආකෘති කිහිපයක්ම යොදා ගනු ලැබුවා. ඉන් විශාලතම ආකෘතිය ටයිටැනික් නෞකාවේ ජීවමාන ප්‍රමාණයේ එකක්. නෞකාවේ අභ්‍යන්තර දර්ශන වෙනත් දර්ශන තල වල නිර්මාණය කෙරුණා. එම දැවැන්ත දර්ශන තල මාස ගණනාවක් තිස්සේ රූගත කිරීමට සූදානම්ව නොතිබුණු නිසා කණ්ඩායම ඊළඟට රූගත කළේ රෝස්ගේ නග්න සිතුවම ජැක් විසින් නිර්මාණය කරන ජවනිකාවයි. සිනමාපටයේ දැක්වෙන ජැක්ගේ එම සිතුවම ඇතුළු අනෙකුත් සිතුවම් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් විසින්ම අඳින ලද සිතුවම් වුණා. කැමරන් වමත හුරු අයෙකු වුණු නිසා ජැක් දකුණත හුරු අයෙකු වුණු නිසා චිත්‍රය අඳින ජවනිකාවේ වම දකුණ මාරු කර පෙන්වීමට ක්‍රියා කර තිබුණා.

රෝස්ගේ නග්න සිතුවම සහ එය නිර්මාණය කරන අන්දම දැක්වෙන ජවනිකාව

නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමට මේ ජීවමාන ප්‍රමාණයේ නෞකාවේ සම්පූර්ණ නෞකාවේ දකුණු පැත්ත (Starboard) පමණක් ගොඩනංවා තිබුණා. වම් පස (Portside) දර්ශන ලබා ගැනුණේ දකුණු පස දර්ශන පාර්ශවික අපවර්තනය කිරීමෙන් හෙවත් වම දකුණ මාරු කිරීමෙන්. 1996 සැප්තැම්බර් වල මෙක්සිකෝවේ රෝසරිටෝහි වෙරළබඩ අක්කර 40ක ප්‍රදේශයක් මිලට ගත් ෆොක්ස් සමාගම, Baja Studios නමින් එහි නවතම චිත්‍රාගාරයක් ඉදි කිරීම ඇරඹුවා. ජල ගැලුම් මිලියන 17ක ධාරිතාවකින් යුතු ‘ක්ෂිතිජ තටාකයක්’ (Horizon Tank) එහි නිර්මාණය කෙරුණේ ටයිටැනික් බාහිර රූගත කිරීම් වලටයි. ක්ෂිතිජ තටාක කියන්නේ සිනමා නිර්මාණයේදී ක්ෂිතිජය සහිතව මුහුදේ දර්ශන මුහුද මැදට යාමෙන් වැලකි, රූගත කිරීමට යොදා ගන්නා උපක්‍රමයක්. එම තටාකයෙන් ටයිටැනික් හි අංශක 270ක පරාසයක දර්ශන රූගත කළ හැකි වුණා. ඒ මත ඉදිකෙරුණු ජීවමාන ප්‍රමාණයේ ටයිටැනික් ආකෘතිය ඉදිකිරීමට හාලන්ඩ් සහ වුල්ෆ් සමාගමේ රහසිගත ටයිටැනික් සැලසුම් චිත්‍රපට කාර්ය මණ්ඩලය වෙත විවෘත කෙරුණා. කෙසේ වෙතත් චිත්‍රපටයට අවශ්‍ය නොවුණු ඇතැම් කොටස්  භෞතිකව නිර්මාණය නොකෙරුණු අතර එම කොටස් ඩිජිටල් තාක්ෂණයෙන් පසුව එක් කෙරුණා. මේ මුළු ආකෘතියම ආධාරක කණු මත ඉදි කෙරුණු අතර ඒ මඟින් නැව ගිලී යාම රූගත කිරීමට තටාකය තුළට පහත් කළ හැකි වුණා. නැව ගිලී යාමේ විවිධ අවස්ථා නිරූපණය කිරීම වෙනුවෙන් ආකෘතියේ දිග අතට කොටස් පහකට වෙන් කර සකසනු ලැබුවා. මුළු තටාකයම අඩි 40ක් පමණ ගැඹුරට සැරීම අපහසු නිසා නැවේ ආකෘතියේ අවශ්‍ය කොටස් යට ප්‍රදේශ පමණක් ගිල්වීමට ප්‍රමාණවත් තරම් ගැඹුරට කණිනු ලැබුවා.

නැව ගිලී යාමේ අවසන් අදියර රූගත කිරීම වෙනුවෙන් අවරයේ මීටර් 30ක පමණ දිගු කොටසක් මූලික ව්‍යුහයෙන් වෙනමම ඉදි කෙරුණේ එය අංශක 90ක් දක්වා ආනත කළ හැකි සහ පහළට ගිල්විය හැකි අන්දමටයි. එහි මතුපිට ප්‍රධාන කොටස් රබර් සහ ෆෝම් ආධාරයෙන් නිර්මාණය කර තිබුණේ කේබල් ආධාරයෙන් ඇදවැටෙන නළු නිළියන්ට හානි වීම වැලැක්වීම වෙනුවෙනුයි. රූගත කිරීම් අතරතුර යමෙක් ඇද වැටුණහොත් විය හැකි හානි වැලැක්වීමට අවරය ඉදි කෙරුණු ආවාටයේ මෙට්ට සවි කර තිබෙනවා. මීටර් 30ක් දිගු අවරය අංශක 90ක් ආනත කළ විට එහි උස දස මහල් ගොඩනැඟිල්ලක් පමණ වෙනවා. මෙවන් දැවැන්ත ආකෘති සහ විශාල පිරිසක් සමඟ වැඩකිරීමේදී කැමරන් සහ කාර්ය මණ්ඩලය රංගන ශිල්පීන්ගේ ආරක්ෂාව ගැන අගනා පුර්වාදර්ශයක් සපයා තිබෙනවා. මේ ආකෘතියෙහි ජීවිතාරක්ෂක බෝට්ටු සහ දුම් නළ 10%කින් කුඩා කෙරුණු අතර බෝට්ටු දියත් කෙරුණු දොඹකර (Davits) සම්පූර්ණ සක්‍රිය ආකාරයට මුල් සැලසුමට අනුවම සකස් කෙරුණා. ඒ ටයිටැනික් සත්‍ය නෞකාවට එම දොඹකර ඉදි කළ Wellin Labie සමාගම විසින්මයි. ඊට අමතරව මුල් නැවෙන් 1/8 ක ප්‍රමාණයේ ආකෘතියක් ද ඉදි කෙරුණු අතර නැව මධ්‍යයේ සිට අවරය දක්වා කොටස පමණයි එම ආකෘතිය වෙනුවෙන් ඉදි කෙරුණේ. එම කොටසේ දිග අඩි 60ක් පමණ වුණා. ටයිටැනික් නැව මැදින් දෙකඩ වීමේ දර්ශනය රූගත කිරීමට සහ ටයිටැනික් නැවේ අවරය ජලයේ ගිලී යාමේ අවසන් දර්ශන රූගත කිරීමට මෙම 1/8 ප්‍රමාණයේ ආකෘතිය යොදා ගැනුණා. මෙම සම්පූර්ණ අවරය ගිල්වීමට තරම් ගැඹුරු තටාකයක් නිර්මාණය කිරීම ප්‍රයෝගිකව අපහසු වුණු නිසා, එහි ගිලී යාම රූගත කිරීමේදී අඩි 10 කොටසක් මධ්‍යයේ සිට පසුපසට කපා ඉවත් කරමින් ජලයේ ගිල්වනු ලැබුවා. අවරයේ අවසන් කෙළවර ගිලී යන දර්ශනය වන තෙක් මෙය නැවත නැවත සිදු කෙරුණා.  ටයිටැනික් නෞකාවේ ඇණිය හෙවත් ඉදිරි කොටස ජලය තුළට ගිලෙන අන්දම රූගත කිරීමට තවත් 1/6ක ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණය කෙරුණා. එයට අයත් වුණේ නියමු කුටියේ සිට ඉදිරි කෙළවර දක්වා කොටස පමණයි. ගිලී යාමේ මුල් අදියර වලදී යොදා ගැනුණේ මේ ආකෘතියයි.තවත් සම්පුර්ණ නැවේ ප්‍රමාණයෙන් 1/20ක ප්‍රමාණයේ සම්පූර්ණ ආකෘතියක් ඉදි කෙරුණු අතර එහි මුළු දිග අඩි 40ක් පමණ වුණා. එම 1/20 ආකෘතිය සවිස්තර තොරතුරු අවශ්‍ය වුණු සමීප දර්ශන සඳහා යොදා ගත හැකි වුණේ එය බොහෝ සවිස්තර ලෙස නිවැරදිව ගොඩ නඟා තිබුණු නිසයි.  නෞකාව අයිස් පර්වතයේ ගැටෙන දර්ශන රූගත කෙරුණේ මෙම ආකෘතිය ආධාරයෙනුයි. රූගත කිරීම් වලින් අනතුරුව මේ ආකෘතිය ලොස් ඇන්ජලිස් වල කෞතුකාගාරයකට පිරිනමනු ලැබුවා. මෙවැනි විවිධ ප්‍රමාණයේ ආකෘතින් ගණනාවක් ටයිටැනික් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා යොදාගෙන තිබුණා.

(A) – මෙක්සිකෝවේ බාහා චිත්‍රාගාරයෙහි ඉදිකෙරුණු ජීවමාන ප්‍රමාණයේ ටයිටැනික් ආකෘතිය. මෙහි අභ්‍යන්තරය කුහර සහිත වුණු අතර කොටස් පහකින් යුතුව ඉදි කෙරුණේ ගිලී යාමේ විවිධ අවස්ථා විවිධ ආනතීන්ගෙන් රූගත කිරීමටයි., (B) – සම්පූර්ණයෙන්ම සිරස් වන ලෙස ආනත කළ හැකි වුණු අවරය කොටස.  (C) – ටයිටැනික් බිඳී යාම රූගත කිරීමට යොදාගත් 1/8 පරිමාණ ආකෘතිය. 1997ට පෙර අන් කිසිදු ටයිටැනික්  චිත්‍රපටයක නොපෙන්වූ පරිදි නෞකාවේ බිඳී යාම ඉතා නිවැරදිව පෙන්වීමට කැමරන් උත්සාහ කළා.

ටයිටැනික් නෞකාවේ අතිශය විචිත්‍ර අංගයක් වුණු දැවැන්ත පඩිපෙළ (Grand Staircase) ප්‍රතිනිර්මාණය කෙරුණේ ටයිටැනික් නිර්මාණ ශිල්පීන්ගේ සැලසුම් සහ පින්තූර වලට අනුකූලවයි. මුල් සැලසුමට වෙනස් ව යමින් එහි පදනමේ ව්‍යුහය වානේ වලින් සකස් කරනු ලැබුවේ වඩා හොඳ සවිශක්තියක් ලබාගැනීමටයි. කෙසේ වෙතත් මෙම පඩිපෙළ මෙන්ම ආහාර ගන්නා කාමරය ඉහත සඳහන් කළ දැවැන්ත ආකෘතිය තුල නොව වෙනම ස්ථාන වල ඉදි කෙරී තිබුණා. එහි දැව කැටයම් දැව සහ බදාම ආධාරයෙන් මෙක්සිකානු සහ බ්‍රිතාන්‍ය ශිල්පින් විසින් නිර්මාණය කළේ ටයිටැනික් නෞකාවේ මුල් ඡායාරූප හා සැලසුම් ආධාරයෙන්. ඒවාද ජලය පිරවිය හැකි ආවාට වල ඉදිකෙරුණේ ගිලීමේ දර්ශන රූගත කිරීමට ජලය තුළට පහත් කිරීමේ සහ ඉහළින් ජලය පොම්ප කිරීමේ හැකියාවන් සහිත වේදිකාවන් මතයි. නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමට පළමු පන්තියේ අසුන් ගන්නා කාමරය කුඩා පරිමාණ ආකෘතියක් ලෙස සැකසුනු අතර එහි ලබාගත් දර්ශනා කොළ පැහැති තිරයක් ඉදිරිපස නළුනිළියන් විසින් රඟ දැක්වූ දර්ශන වල පසුතලයට ආදේශ කෙරී තිබෙනවා. එම කාමරයේ කුඩා ආකෘතිය පසුව නැව ගිලී යාමේදී පෙන්වන විනාශය ආදර්ශනය කිරීමට කඩා දැමුණා. පළමු පන්තියේ කොරිඩෝරය තුලින් ජල පහර ගලා එන විට කැමරාව එය තුලින් පසුපසට ගමන් කරන දර්ශනයත් රූගත කෙරුණේ එවැනි කුඩා පරිමාණ ආකෘති මඟිනුයි. නැව ගිලී යාමෙන් පසුව අත්ලාන්තික් සාගරයේ දර්ශන රූගත කෙරුණේ ජල ගැලුම් 350,000ක ධාරිතාව ඇති තටාකයකයි. ජලයේ පාවෙන හිම බැඳුණු මළසිරුරු සහිත දර්ශන ලබාගැනීමට නළු නිළියන් මත තවරනු ලැබුවේ ජලය තැවරුණු විට කැට සෑදෙන කුඩක්. ඔවුන්ගේ ඇඳුම් වලත් හිසකෙස් වලත් ඉටි යොදා තිබුණේ මිදුණු ජලය මෙන් පෙනීමටයි. ඔබ දකින සිනමාපටයේ මේ සත්‍ය ලෙස නිර්මාණය කළ පරිමාණ ආකෘති සමඟ පරිගණක දෘෂ්‍යකරණ සමඟින් සංකලනය කර අතිශය තාත්වික ලෙස අවසන් නිෂ්පාදනය කර තිබෙන හැටි දක්නට ලැබේවි.

(A) – ටයිටැනික් දෘශ්‍ය ඉතිහාසඥ කෙන් මාෂල් පළමු පන්තියේ විවේකාගාරයේ කුඩා පරිමාණ ආකෘතියක් තුල, (B) – පළමු පන්තියේ විවේකාගාරය තුල රූගත කරමින්, (C) – කොළ තිරය ඉදිරිපස රූගත කෙරුණු නළු නිළියන්ගේ දර්ශන කුඩා පරිමාණ ආකෘතියේ පසුතලයට ආදේශ කෙරුණු පසු දර්ශනයක්, (D) – පළමු පන්තියේ දිගු කොරිඩෝවේ කුඩා පරිමාණ ආකෘතියක් යොදාගෙන රූගත කළ ජලගැල්මේ ජවනිකාවක්

ඉතා කුඩා විස්තර ගැනත් දැඩි අවධානයක් යොමු කළ කැමරන් කුඩා රිදී උපකරණ, බන්දේසි, තේ කෝප්ප සහ පීරිසි, පිඟන් වැනි දේ වල වයිට් ස්ටාර් ලයින් සමාගමේ ලාංඡන පවා අන්තර්ගත කරන්නට ක්‍රියා කළේ ඓතිහාසික නිරවද්‍යතාවය තබාගැනීමටයි. එකල සමාජ සිරිත් විරිත්, භාෂා ශෛලිය ගැන රංගන ශිල්පීන්ට උගන්වන්නට ඒ පිළිබඳ විශේෂඥයන් කැඳවනු ලැබ තිබුණා. එකල වේටර්වරුන් හැසිරුණු අන්දමින් හැසිරෙන්නට චිත්‍රපටයේ වේටර් වරුන් ලෙස රඟපෑ ශිල්පීන්ට උගන්වා තිබුණා. පිටපත සඳහා යොදා ගැනුණු සත්‍ය චරිත සහ ඔවුන්ගේ ජිවිත කථාවන් ගැන ගැන ඒවාට රංගනයෙන් දායක වන ශිල්පීන්ට හොඳින් අවබෝධ කර දී තිබුණේ ඒවාට ඔවුන්ගේ උපරිමය ලබාගැනීමටයි. ඇඳුම් විලාසිතා සියල්ල 1912 කාලයට ගැළපෙන අන්දමින් නිර්මාණය කෙරුණු අතර ඒ සඳහා ඩොලර් මිලියන 8.4ක පමණ පිරිවැයක් දරණ ලද බව සඳහන්. චිත්‍රපටයේ ආහාර ගැනීමේ දර්ශන සඳහා මිල අධික ආහාරයක් වන බෙලුගා කැවියාර් ද යොදාගෙන තිබුණු අතර එහි රාත්තලක මිල ඩොලර් 4000ක් පමණ වන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. සම්පූර්ණ නිෂ්පාදන වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක පිරිවැය 1997 වනවිට සිනමා පටයක් සඳහා වැය කෙරුණු වැඩිම මුදල ලෙස වාර්තාගත වෙනවා. නොකියැවුණු ටයිටැනික් කතන්දර තවත් ගොඩක් තිබුණත් තවත් ලිපිය දිගු නොකර මෙතැනින් නවත්වන්නම්.

එසේනම් Titanic (1997) සම්මානනීය සිනමාපටය සිංහල උපසිරැසි සහිතව රසවිඳින්නට ඔබට ආරාධනා කරනවා. මෙතනින් උපසිරැසි ලබාගන්න.

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *