ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

ඍතු, වර්ණ සහ ප්‍රේමය | Eternal Sunshine of The Spotless Mind

1. හිතිලා තියෙනවද ?
ජීවිතේ ආයෙම දෙවන අවස්ථාවක් ලැබුණොත් අතීතයේ කළ වරදක් ආයෙම ඔබ කරන්නේ නැහැ කියලා.. එහෙම නොකරාවි කියලා ඔබට 100% ක් විශ්වාසද ?

2. හිතිලා තියෙනවද?
අතීතයේ වුණ හැම දුක හිතෙන සිදුවීමක්ම වේදනාකාරී මතකයක්ම මනසින් මකලා දැම්මොත් ඔබට සදාතනික සතුටක් ලැබේවි කියලා..? මීට හොදින් ඔබ ජීවත් වේවි කියලා…

Eternal Sunshine of The Spotless Mind ඒ ගැනයි මේ සිනමාපටය…

මගේ සටහන නම්..

ඉහත ගැටළු දෙක සදහා සිනමාපටය යෝජනා කරන පිළිතුරු සහ එහි භාවිතාවන එක් සංකේතයක් සහ එයට අර්තයක් ලබාදීමක් ගැන පමණයි…
ඒ නිසා බලපු අයට විතරක් වැදගත් වේවි.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

බලලා අමතක අයට කතාව කෙටියෙන් …

Spoiler Alert!

සංශිප්ත කතාව.

ක්ලෙමන්ටයින් (කේට් වින්ස්ලට්) සහ ජොයෙල් (ජිම් කැරේ) වේදනාකාරී සබදතාවකින් වෙන්ව සිටියි. අතීත වේදනාවෙන් මිදීම උදෙසා, ක්ලෙමන්ටයි එම සබදතාව පිළිබඳ මතකයන් ඇගේ මනසින් මකා දැමීමේ වෛද්‍ය ක්‍රියාවලියකට භාජනය වීමට තීරණය කරයි. ඒ පිළිබදව දැනගන්නා ජොයෙල්ද එම ක්‍රියා පටිපාටියටම භාජනය වීමට තීරණය කරයි.

මෙම ක්‍රියාවලියට පසු අනපේක්ෂිතව නාදුනන පුද්ගලයින් ලෙස මුණ ගැසෙන ඔවුන් නැවත ප්‍රේමයෙන් බැදේ. නමුත් මෙවර ඔවුන්ට අතීතය පිළිබද දැනුවත් වීමට අවකාශය සැලසේ.. වේදනාකාරී අතීත මතක හේතුවෙන් නැවත එකම වරදේ බැඳීමෙන් වැලකී ක්ෂණිකව වෙන්වීමට ඔවුන් සිතයි.

නමුත්! අවසානයේ?

තව එක් වරක් උත්සහ කර බැලීම ඔවුන්ගේ තීරණයවේ.

සිනමාපටය සහ හිසකේ වර්ණ

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ක්ලෙමන්ටයින්ගේ හිසකේ වර්ණ ඇගේ පෞර්ෂ ස්වභාවය මෙන්ම ජීවිතයේ විවිධ කාල සහ ඇයගේ සබදතාවේ විවිධ ස්වරූප නිරූපණයක් ලෙස සැලකිය හැකිය.

එසේම සිනමාපටයේ රේඛීය නොවන රටාවකට ගලායන හෙයින් අදාල හිසකේ වර්ණ අප සිටින්නේ කාල රේඛාවේ කුමන ස්ථානයකද යන්න පහසුවෙන් හදුනා ගැනීමටද ඉඩ සලසයි.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

කොළ පැහැය.

වසන්තය
Dye:- green revolution

ඔවුන් මුණ ගැසෙන විට ක්ලමන්ටයින්ගේ හිසකේ කොළ පැහැයෙන් යුතුවේ.

කොළ පැහැය යනු ජීවයේ උපතයි..

එහෙයින් මෙහිදීද මෙම වර්ණය ඔවුන්ගේ ආදරයේ උපත, බැදීමේ ඇරඹුම නිරූපණය වෙන බව අපට අර්ථකතනය කළ හැකිය. ඔවුන් මුණ ගැසෙන විට ජොයෙල් සිටින්නේ අසාර්ථක පෙම් සබදතාවයකට පසු ආදරය පිළිබද අවිනිශ්චිත හා උදාසීන හැගීමකින් ය.

ක්ලෙමන්ටයින්,ඇගේ හිසකේ පැහැ ගන්වා ඇති ඩයි වර්ගයේ නම ” ග්‍රීන් රෙවලූෂන්” ලෙස හදුන්වා දෙයි.. එසේම ක්ලෙමන්ටයින් සතු ප්‍රබල පෞර්ෂය සහ ආකර්ෂණීය බව, හමුවන ඕනෑම පුද්ගලයකුට නව ඇරඹුමක් ලබාදීමේ හැකියාව, ඒ හරහා විදහා දැක්වෙන බව අර්ථ නිරූපණය කරගත හැකිය.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

රතු පැහැය

ගිම්හානය.
Dye :-Red Menace.

ඔහුගේ බැදීමේ උච්චතම අවස්තාවන් .නැතිනම් ඔවුන් අතර ආදරය උපරිමයෙන් පවතින සමය මේ හරහා අරුත් ගැන්වෙන බව සිතිය හැකිය.
රතු පැහැය ගැඹුරු ආශාව ප්‍රේමය අවධාරණය කරයි .යුවළක් ලෙස උපරිම සතුට අත්විඳින , එකිනෙකා සැබවින්ම හදුනාගන්නා, නැවුම් සොදුරුසමය මේ හරහා ප්‍රේක්ශකයාට බලා ගැනීමට ඉඩ සැලසේ

පසුකාලීනව ජොයෙල්ගේ සිතුවිලි තුළ සහ ජායාරූපවල ජීවත්වන ක්ලෙමන්ටයින්/ නැතිනම් සොදුරු අතීතාවර්ජනා තුළ ක්ලෙමන්ටයින්, හිසකේ රතු සහ කොළ වර්ණයෙන් යුතුවේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

තැඹිලි

සරත් සමය
Dye:- Agent Orange

ගෙවී යමින් ඇති සොදුරු සමය .නීරස වන බැදීම් ,නැවුම් ලෙස නොදැනෙන හැගීම් විවර්ණිත රතු පැහැය නැතිනම් තැඹිලි පැහැයෙන් අර්ථ ගැන්වුණා විය හැකිය. නමුත් ඔවුන් තවමත් අත් හැර දැමීමට සූදානම් නැත. දිගින් දිගටම බැදීම් තුල මතුවන දුරස්තභාවය, එකිනෙකා නුරුස්සන හැගීම්.. ස්වාධීන , ප්‍රීතිමත්, විනෝදකාමී ඇයට, පසුගාමී, ගුප්ත, අනාරක්ෂිත හැගීම් දරන ඔහුගේ නොගැලපීම. අවසානයේ ප්‍රබලව මතුවන සන්නිවේදන දුර්වලතා ඔවුන්ගේ බැදීමේ අවසානය නිරූපණය කරයි.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

නිල්

ශ්‍රීත සෘතුව.
Dye:- Blue Ruin

ජොයෙල්-ක්ලෙමන්ටයින් නැවත මුණ ගැසෙනවිට ඇගේ හිසකේ නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. අතීත මතකයන් මකාදමා ඇති හෙයින් ඔවුන්ට එකිනෙකා පිළිබද මතකයක් නැත. ශ්‍රීත සෘතුව, සියළුම ජීවයේ මිය යෑම අරුත් ගන්වයි. එසේම, නිල් වර්ණය ඔවුන්ගේ සබදතාවේ අවසානය නිරූපණය කරයි?

නමුත් !

ශිශිතරණ නින්ද්‍රාවන්ද ශීත සෘතුව තුළ ඇති බව අමකල කල නොහැක. ශීත සෘතුව යනු නැවත වසන්තය එළඹීමට නියමිත බව මතක් කිරීමක්ද වේ. මෙහි,ක්ලෙමන්ටයින්ගේ, හිසකේ වර්ණ හොදින් නිරීක්ෂණය කලවිට අග කෙස් නිල් පැහැ වුවද එහි මූලයන් කොළ වර්ණයෙන් යුතුය. එනම් ඔම්බ්‍රේ(ombre pattern) වර්ණ ගැන්වීමකි. එය ඔවුන්ගේ ආදරය නැවත ඉපදීම පිළිබද රූපකයක් ලෙසද අර්තගැන්විය හැකිය.

ක්ලෙමන්ටයින් සහ ජොයෙල්ගේ බැදීමේ අවසානය මෙය නොවේ.. චක්‍රීය ක්‍රියාවලියක අවසාන භාගය සහ නැවත ඇරඹුම සංකේතවත් කළා වියහැක?

ප්‍රේමය විටෙක කාලය සමග වියැකී යන හැගීමක් වුවද, අවසානයේ නැවතත් එය ඵල දැරීමට පටන් ගන්නා බව මෙහි අරුතයි.

ක්ලෙමන්ටයින්ගේ හිසකේ පැහැය Blue Ruins නම් වූ හෙයින්…

මෙම ශීත සෘතුව ආදරය පිළිබද ඔවුන්ගේ සිත් තුළ වූ මිත්‍යාව මිය යෑම ලෙස අර්ථගැන්වීමද වඩා සාදාරණය.
—————————-

-“මම අකමැති විදියේ කිසිම ලක්ෂණයක්
මට ඔයාගෙන් පෙන්නේ නැහැ”
-“ඒත් ඔයා දවසක අනිවාර්‍යෙන්ම එහෙම ලක්ශණ දකින්න ගනීවි”
-අපිට එකිනෙකාව නීරස විදියට දැනෙන කාල ඒවී. අපි නොගැලපෙන බැදීමක හිරවෙලා බව දැනෙන දවසක් ඒවී .
මොකද අතීතයේ දවසක මට එහෙම වුණා..
-හොදයි.
-මේක ඉක්මනට ඉවර වේවී.
-මම දන්නවා
-ඉතිං මොකක්ද අපි කරන්න ඕනේ.
-ගෙවෙන මොහොතක්ම හිතපිරෙන්න
විඳ ගන්න එක
▪️▪️▪️▪️▪️▪️▪️
යුවළ ඕනෑම බැදීමක තිබෙන වෙනස්වන සුළු බව පිළිගැනීම , හෙවත් ඇත්ත ඇතිසැටියෙන් වටහා ගැනීම ඔස්සේ පරිණත බැදීමක් ඇරඹීම සමග සිනමාපටයේ අවසාන වේ.

සිනමාපටය ලබාදෙන පිළිතුරු

1. ජීවිතේ ඇතැම් මිනිසුන් මුණ ගැසේ , ප්‍රේමයෙන් බැදේ වෙන්ව යයි.
නමුත් ඒ සියල්ල ආපසු හැරවුව හොත් ,
නැත්නම් අතීතය වෙනස් කල හොත් නැවත යම් දිනෙක එම පුද්ගලයා සමඟම ආදරෙන් නොබැදෙනු ඇති බවට ඔබට ඇති සහතිකය කුමක්ද?
මතකයන් මකා දැමූවද පුද්ගලයකුගේ ගැඹුරු ගති ලක්ශණ, සැබෑ පෞර්ශය , සිතුවිලි ක්‍රියාකරන ආකාරය මුළුමනින් වෙනස් නොවේ.
හැරගොස් නැවත පැමිණෙන ප්‍රේමය පවා මිනිසුන් භාරගන්නේ, තමන්ට ආදරය කරන කෙනාට පෙර තමා ආදරය කරන අය තෝරා ගන්නේද එහෙයින් වියහැකිය.
ඒ නිසාම මිනිසුන් එකම වරදෙහි නැවත නැවත බැදෙති.

2. මතකයන් වේදනාකාරී වූ පමණින් ඒවා හිත් තුළින් මකා දැමීමෙන් අපේ ජීවිතයට සදාතනික ආලෝකය උදාවන්නේ නැත..
“මම ඔයාව මතකෙන් මකලා
සතුටින් ඉන්නවා”
ක්ලෙමන්ටයින් වරක් පවසයි.
අපි බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතයේ යම් සබදතාවක් බිදීගිය පසු ඒ හා බැදි සියලු මතකයන්වල වටිනාකම් අවසන් වන බවය.
එය එසේ නොවේ. ඒ තුළ සොදුරුම මතකද අන්තර්ගත විය හැකිය. එසේ නොවූවත්, ජීවිතයේ එළඹෙන සොදුරු සමකට වටිනාකමක් ලබාදෙන්නේ එසේ ගෙවී ගිය වේදනාකාරී අදුරු සමයක් විසින් විය හැකිය.

නිර්භීත මිනිසුන් මතකය සමග ජීවත් වීම තෝරා ගනිති..
යතාර්ථයට මුහුණදෙති
ඒ ගැන දැනුවත්ව ජීවත් වෙති.
සෘතු වෙනස් වේ
එසේම පුනාරාවර්තිතවේ..
වෙනස්වීම හැර
ලොව වෙනස් නොවන
යමක් නොමැති.
සෘතු මෙන්ම හැගීම්ද වෙනස්වේ..
වෙනස් වන බව දැනගෙන
ජීවත් වීම
සබදතාවයක් තුළ
පරිණතවීම යැයි කියති.
ඒ තුළ ජීවිතයේ සදාතනික ආලෝකය ඇත.

#PDSSD

මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරැසි අප මව් අඩවියෙන් ලබාගත හැක. Eternal Sunshine of The Spotless Mind

 

Author

3 thoughts on “ඍතු, වර්ණ සහ ප්‍රේමය | Eternal Sunshine of The Spotless Mind

  • මේ ෆිල්ම් එක මීට අවුරුදු 10කට විතර උඩ දී බැලුවා මතකයි. ඒත් චිත්‍රපටිය ගලා යන විදිය සහ කතාව ඒ තරම් තේරුම් යන්නේ නැහැ වගේ දැනුණු නිසා චිත්‍රපටිය බලන එක මගදී නවත්තලා දැම්මා. දැන් මේ ලිපිය කියවන්න ලැබෙන කම් ෆිල්ම් එකේ කතාව මොන වගේද කියන එක ගැන අදහසක් තිබ්බේ නැහැ. සමහරවිට ඒ කාලේ මේ වගේ කතාවක් තේරුම් ගන්න තරම් අවබෝධයක් නොතිබෙන්න ඇති. කොහොම වුණත් මේ ලිපිය දකින්න ලැබුණු නිසා ආයෙත් ඒ ගැන මතක අළුත් වුණා. ඒ කාලේ ෆිල්ම් එකක් බලාගෙන ජීවිතේ සැහැල්ලුවෙන් ගත කළා නේද කියලත් මතක් වුණා. නොස්ටැල්ජියාව කියන්නේ මිහිරි, අමිහිරි කියලා බෙදලා වෙන් කරන්න බැරි ඒ දෙකේම සුසංයෝගයක් කියලා මට හිතෙනවා. මේ කතාවත් ඒ වගේ වෙන්න ඇති.

    Reply
  • මම බලල තියෙන ලස්සනම ෆිල්ම් එකක්.
    මේ රිවිව් එක මරු ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *