ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

Killers of the Flower Moon (2023) | නරඹන්න පෙර කියවන්න…


විසිවැනි සියවසේ මුල් භාගයේ ලොව ධනවත්ම ජන කොට්ඨාශය වූයේ ස්වදේශික ඇමරිකානු හෙවත් රතු ඉන්දියානුවන් පිරිසක් බව ඔබ දැන සිටියාද ? බයිසන් ගවයන් දඩයම් කරමින් කූඩාරම් වල දිවිගෙවූ මොවුන් විශාල ධනවතුන් වීම පිටුපස තිබුනු කතාන්දරය තමයි මේ. නිකම්ම ෆිල්ම් එක බලනවට වඩා මේ වගේ පසුබිම් කථනයක් කියවල දැණුවත් භාවයකින් ෆිල්ම් එක බලනව නම් ෆිල්ම් එක හොඳට රසවිඳින්න පුළුවන් වේවි ඔයාලට.

වර්ෂ 1803 ට පෙර ඇමරිකා එක්සත් ජනපදය ලෙස හැඳින්වූයේ නැගෙනහිරට වන්නට තිබූ ප්‍රාන්ත කිහිපයක් පමණය. වර්තමාන ඇමරිකාවට අයත් බටහිර සහ ෆ්ලොරිඩා වැනි ජනපද ස්පාඥ්ඥය යටතේ පාලනය වූ අතර මධ්‍යයේ පැවති විශාල භූමිප්‍රමාණයක් ප්‍රංශය යටතේ විය. 1803 දී තෝමස් ජෙෆර්සන් ජනාධිපතිවරයාව සිටි සමයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුයිසියානා ලෙස හැඳින්වූ මේ විශාල බිම්කොටස ප්‍රංශයෙන් මිලදී ගනු ලැබුවා. මෙම භූමිය ස්වදේශික ඇමරිකානු ජන කොට්ඨාශ විශාල ප්‍රමාණයකගේ නිවහන වූ අතර එයිනුත් ඔසේජ් (Osage) වරු ප්‍රමුඛ ජනවර්ගයක් විය. ලුයිසියානා මිළදී ගැනීමෙන් පසු ජෙෆර්සන් ජනාධිපතිවරයා ඔවුන් හමුවී දැන් ඔවුන් සියල්ලන්ම එකම ඇමරිකානු පවුලක් ලෙස සලකන බවත්, ඔවුන් තමන්ගේ දරුවන් ලෙසත සලකන බවත් ප්‍රකාශ කළ සිටියේය.

නමුත් වසර හතරක් වැනි කෙටි කාලයක් තුලදී ආර්කන්සාස් සහ මිසූරි ගංගා අතර ඔවුන්ගේ නිවහන වූ සශ්‍රීක භූමි භාගයෙන් ඔවුන්ට ඉවත්වන ලෙස බල කෙරුණා. අවුරුදු සියගණනක් තිස්සේ තම වර්ගයා ජීවත්වූ සිය මුතුන් මිත්තන්ට අයත් භූමියෙන් ඉවත්වීම හෝ තව දුරටත් එහි සිටිමින් ඇමරිකා එක්සත් ජනපදයේ සතුරන් බවට පත්වීම යන අවස්ථා දෙකෙන් එකක් ඔවුන්ට තෝරාගැනීමට බල කෙරුණා. දශක දෙකක් ඇතුලත හෙක්ටයාර මිලියන ගණනක් වූ තමන්ට පාරම්පරිකව හිමිවූ භූමිය අත හැර කැන්සාස් හි පිහිටි දිගින් සැතපුම් 125ක් සහ පළලින් සැතපුම් 50ක් වූ භූමියක් වෙත යාමට ඔවුන්ට සිදුවිය.

ඔවුන්ගේ මෙම නව භූමිය සදහටම ඔවුන්ට හිමිවන බව ඇමරිකානු රජය සහතික කරනු ලැබුවා. නමුත් වැඩි කලක් යාමට මත්තෙන් සුදු ජාතිකයන් ඔවුන්ගේ භූමියේ තැනින් තැන මතුවෙමින් තිබුනා. ගිනි අවි සහිතව බලෙන් ඇතුළුවූ සුදු ජාතිකයන් විශාල වශයෙන් ඔසේජ්වරුන්ට ලබාදුන් බිම්වල පවුල් වශයෙන් පදිංචිවිම ආරම්භ විය. Little House on the Prairie ලියූ ලෝරා ඉංගල්ස්ගේ පවුලද එසේ බලහත්කාරයෙන් පැමිණි පවුලක් විය. තැනින් තැන ඔසේජ්වරු ඝාතනය වීමට පටන්ගත්තේය. සුදු ජාතිකයන්ගේ ආක්‍රමණය හමුවේ තවදුරටත් ඔවුන්ට මුහුණ දිය නොහැකිවූ ඔසේජ්වරු තමන්ගේ භූමිය අක්කරය ඩොලර් 1.25 කට සුදු ජාතිකයන්ට විකිණීමට එකඟ විය. මේ ජන කොට්ඨාශ දෙක අතරින් සැබෑම ම්ලේච්ඡයන් කවුරුන්දැයි සොයාගැනීම අපහසු විය.

ඔසේජ්වරු නව නිවහනක් සොයමින් සිටියෝය. ඔවුන්ගේ ඇස යොමුවූයේ තවත් ස්වදේශිකයන් පිරිසක් වූ චෙරොකීවරුන්ට අයත් අක්කර මිලියන 1.5ක් වූ දකුණු කැන්සාසයේ පිහිටි භූමියක් වෙතය. තමන්ගේ භූමියෙන් එලවා දැමූ බොහෝ ස්වදේශික ජන කොට්ඨාශයන් යෑමට තැනක් නොමැතිව පැමිණියේ මෙම භූමියටය. නමුත් මෙම භූමිය වගාකිරීමට නුසුදුසු කඳුවැටි සහ ගල් සහිත වූ එකක් විය. ඔසේජ්වරුන්ගේ නායකයා වූ Wah-Ti-An-Kah ඔවුන්ගේ හමුවක දී කියා සිටියේ වගාකළ නොහැකි කදු සහිත මේ භූමියට කිසිදා සුදු ජාතිකයන් නොපැමිණෙනු ඇති බවත් මේ නිසා ඔසේජ්වරුන්ට මෙම භූමියේ සතුටින් කල්ගෙවීමට හැකියාව ඇති බවයි.

ඔසේජ්වරු 1870 දශකයේදී මෙම නව භූමිය මිලදීගනු ලැබුවේ අක්කරය ඩොලර් ශත 70 ටය. ඔසේජ් කාන්තාවන් සුදු ජාතිකයන්ගේ ප්‍රහාරවලින් මියගිය තම දරුවන්ගේ සොහොන් භූමි හැරගියේ හැඬූ කඳුලෙනි. වරින් වර විවිධ ස්ථනවලට බලහත්කාරයෙන් යැවූ බොහෝ ස්වදේශිකයන් එතෙක් ඔවුන්ට කිසිදා වැළැඳී නොතිබුනු සුදු ජාතිකයන් ගෙන ආ ආගන්තුක රෝග වලින්ද මිය ගියහ. සංක්‍රමණය අවසන්වනවිට වසර 70කට පෙර සිටි ඔසේජ්වරු ගණනින් ඉතිරිව සිටියේ 1/3ක් පමණ වූ තුන්දහසක පිරිසක් පමණය. ඔවුන්ට සාම්ප්‍රදායික ජීවන රටාව අහිමිව තිබුනි. රතු ඉන්දියානුවන්ගේ ජීවිතයේ ප්‍රධාන අංඟයක් වූ බයිසන් ගවයන් ඒවනවිට සමූලඝාතනය කර තිබුනි. ස්වදේශිකයන්ගෙන් අල්ලාගන්නා ප්‍රදේශයන්හි ජීවත් වූ සියලුම බයිසන් ගවයන් ඝාතනය කරන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබුනි.

එක බයිසන් ගවයෙකුගේ ඝාතනය එම ප්‍රදේශයේ එක් රතු ඉන්දියානුවෙකුගේ පලායාමක් බව කියමනක් සුදු ජාතිකයන් අතරේ විය. ඔසේජ්වරු තමන්ගේම භූමියකට පැමිණියත් ඔවුන්ගේ පාලනය රැදී තිබුනේ සුදු ජාතික රජයේ නිළධාරීන් සතුවය. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ ස්වදේශිකයන් සුදු ජාතිකයන්ගේ ජීවනක්‍රමයට හුරු වීමට බල කිරීමය. ඔසේජ්වරුන්ගේ පෙර පැවති භූමිය විකිණීමෙන් ඔවුන්ට ලැබිය යුතු වූ රජයේ මුදල් ඔසේජ්වරු වගාකිරීම අරඹන තෙක් ගෙවීම පැහැර හැරියේය. ඔසාජ්වරු වගාකිරීම සම්ප්‍රදායකරගත්තේ නොවීය. ඔවුන්ට ගෙවිය යුතු මුදල් ආහාර සහ ඇඳුම් ලෙස සලාක ක්‍රමයට ලබා ගැනීමට බල කෙරුණි.

ගෝත්‍රයේ බොහෝ පිරිසක් සාගතයෙන් මරුමුවට පත්වුයේය. තවත් බොහෝ පිරිසක් සාගතයෙන් පෙළුණි. නමුත් ඔවුන් සුදුජාතිකයන්ගේ ජීවන ක්‍රමයට හුරුකිරීම අඛණ්ඩව සිදුකරමින් තිබුනි. සියලුම දරුවන් අවුරුදු 7 වනවිට පාසල් යැවීම අනිවාර්‍ය විය. මේ සඳහා ඈත පිහිටි නේවාසික පාසලකට යැවුණු අතර ඒවා කතෝලික පාසල් විය. ස්වදේශික පුරුදු සහ ඇදහිලි ඔවුන්ගෙන් ඈත් කර කතෝලික දහම සහ සුදු ජාතිකයන්ගේ චාරිත්‍ර කුඩාකලසිට පුරුදු කිරීම මෙහි අරමුණ විය. එසේ නොමැතිනම් ආණ්ඩුවෙන් ලබාදෙන ගෙවීම් පවුලටම අහිමි කළේය. පිරිමි ළමයින්ට වඩුවැඩ සහ ගොවිතැනද ගැහැණු ළමයින්ට ඇඳුම් මැසීම, ආහාර සෑඳීම වැනි දේ උගන්වනු ලැබීය.

ඔවුන්ගේ ජීවන රටාවට සිදුවූ තවත් බලපෑමක් ඇතිකල දෙය වූයේ පවුල් වශයෙන් වෙන්ව ජීවත්වීමට බල කිරීමයි. එතෙක් කලක් සමූහ වශයෙන් කූඩාරම් තුල එක් ස්ථානයක දිවිගෙවූ ඔවුන්ට පුද්ගලික දේපල යනුවෙන් කිසිවක් නොවීය. සමස්ථ භූමියම සෑම කෙනෙක්ටම අයිති විය. සමූහ වශයෙන් එකට බැඳුණු ජීවිතයක් ඔවුන් ගතකළේය. නමුත් ඇමරිකානු රජය ඔවුන්ට අයත් භූමිය අක්කර 160ක් වූ කොටස් වලට වෙන්කර ඒවා තුල වෙන් වෙන් වශයෙන් දිවිගෙවන ලෙස බලකර සිටියේ සුදු ජාතිකයන්ගේ ජීවන ක්‍රමයට සමාන වන ලෙසය. ඔසාජ් නායකයන්ද මෙම යෝජනාවට මුලින් විරුද්ධවුවත් පසුව එකඟ වුයේ එසේ නොවුනහොත් සුදු ජාතිකයන් තම භූමිය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව නිසාය. මේ අවස්ථවේදී ඔසාජ් නායකයන් නීතිමාර්ගයෙන් මෙය විසඳාගැනීමට ඔසාජ් කාන්තාවක් විවාහ කරගත් සුදු ජාතික නීතිඤයෙකුගේ සහය පැතීය. මෙය ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය කරන තීරණාත්මක හමුවක් විය.

තම වර්ගයාගේ සම්බන්ධයක් තිබූ නීතිඥවරයාගේ සහය ඇතිව ඔසාජ්වරු රජය සමග ගිවිසුමකට එළඹුණි. මේ අනුව වෙන්ව පවුල් වශයෙන් ජීවත් වීමට එකඟ වූයේය. ඒ වනවිට රජය නොදැන සිටි දෙයක් ඔසාජ් නායකයන් දැන සිටියේය. එනම් තම භූමියේ තෙල් නිධි පිහිටා ඇති බවට සැකයක් ඔවුන් තුල විය. එය සනාථ කිරීමට යම් යම් සාධක ඔවුන්ට ලැබී තිබුනි. මේ නිසා තම භූමියට අනාගතයේ එල්ලවිය හැකි තර්ජන වළක්වාගැනීමට ඔවුන් ගිවිසුමට ඔසාජ්වරුන්ගේ සමස්ත භූමියේම තිබෙන තෙල්, ගෑස්, ගල් අගුරු සහ අනෙකුත් ඛනිජවල පරම අයිතිය ඇත්තේ තම ගෝත්‍රයට බවට වගන්තියක් එකතු කළේය. මෙම වගන්තිය ඔසාජ්වරුන්ගේ ජීවිතය කනපිට පෙරළීමට වැඩිකලක් ගියේ නැත. ගිවිසුම් ගතවී ඉතා කෙටිකාලයකින් එම ප්‍රදේශයේ බොරතෙල් නිධි සොයාගත් අතර එම භූමි සුදු ජාතිකයන්ගේ සමාගම් වෙත වෙන්දේසි මගින් බද්දට ලබා දුන්නේය. ඒ සමගින් ඇමරිකාව පුරා සිටි ධනය සොයායන සුදු ජාතිකයන් ඔසාජ්වරුන්ගේ භූමිය අවට පදිංචිවීමට පටන් ගත්තේය.

සෑම ඔසාජ්වරයෙක්ටම තෙල් ආදායමේ කොටසක් හිමිවිය. මෙය Headright ලෙස හැඳින්වූ අතර මෙම අයිතිය විකුණා දැමීමට නොහැකිය. එය පවුලෙන් උරුමවන්නක් පමණක් විය. එය ස්වදේශිකයන් නොවන සුදු ජාතිකයන් වෙත එම අයිතිය ගලා යෑම වැළැක්වීමට සම්මත කරගත්තක් විය. ඉතා කෙටි කලකින් ඔසාජ්වරු ඇමරිකාවේ ධන්වත්ම ජනවර්ගය බවට පත්විය. ඔවුන්ට කිසිදු රැකියාවක යෙදීමට අවශ්‍යය නොවීය. ඔසාජ්භූමියේ දැවැන්ත නිවාස ඉදිවූ අතර එක් නිවසක වාහන කිහිපයක් විය.

වරෙක පුවත්පතක් වාර්තා කර තිබුනේ සෑම ඇමරිකානුවන් 11 දෙනෙකුගෙන්ම එක් අයෙකුට කාර් එකක් ඇති අතර සෑම ඔසාජ්වරයෙක්ටම කාර් 11ක් ඇති බවයි. මේ ස්වදේශිකයන්ගේ නිවාස වල සේවකයන් බොහෝ පිරිසක් වූ අතර බොහෝවිට ඒ කළු ජාතිකයන් විය. වරක් ස්වදේශිකයන් පෙලා දැමූ සුදු ජාතිකයන්ද එම නිවාස වල මෙහෙකරුවන් බවට පත්වී තිබුනි. ඔසාජ්වරුන්ගේ විශාල ධනය පසුපස ඔවුන්ගේ පරම හතුරන් වූ සුදු ජාතිකයන් එක් රැස්වෙමින් තිබෙන බව ඔවුන්ට කෙටිකලකින්ම තේරුම් ගියේය. ඒ සමගම ඔවුන් අනාගතයේ මුහුණ දෙන අඳුරු කාල පරිච්ඡේදයක සෙවනැලි ක්‍රමයෙන් මතුවෙමින් තිබුනි.

ඔසාජ්වරුන්ට තමන්ගේ සුවිසල් ධනය වැය කිරීමට තරම් දැනුමක් හෝ අවබෝධයක් නොමැතිබව සුදු නිළධාරි පැලැන්තිය කියා සිටියේය. මේ නිසා ඔසාජ්වරුන්ගේ ධනය ඔවුන්ට කෙළින්ම වැය කිරීමට දීම අණුවන ක්‍රියාවක් බව තීරණය කළ රජය ඔවුන්ගේ බැංකු ගිණුම් සඳහා බාරකරුවෙක් ඇතිකිරීමට තීරණය කළේය. මෙම බාරකරුවන් වුයේ සුදු ජාතිකයන් ය. එම බාරකරුගේ අත්සන නොමැතිව මුදල් ලබාගැනීම ඔසාජ්වරුන්ට නොහැකිවිය. කෙටිකාලයකින්ම මෙය තමන්ගේ මුදල් ඩැහැගැනීමට සුදු ජාතිකයන් කළ උපක්‍රමයක් බව ඔවුන්ට වැටහී ගියේය. ඔසාජ්වරු වෙනුවෙන් මිලදීගැනීම් කළ මේ බාරකරුවන් අයථාලෙස මුදල් මංකොල්ල කෑම ඇරඹුවේය.

අත්තනෝමතික ලෙස මෙම මුදල් පාලනය කළැ බාරකරුවන් විටෙක රෝහල්ගතවූ ස්වදේශික දරුවන් වෙනුවෙන් මුදල් නොගෙවීම නිසා දරුවන් මියගිය අවස්ථාද විය. ඔසාජ් ධනය ඩැහැගැනීමට බලාසිටි සුදු ජාතිකයන්ගේ තවත් උපක්‍රමයක් වූයේ ඔසාජ් කාන්තාවන් විවාහ කරගැනීමය. තෙල් උරුමය ලැබෙන්නේ පවුල් උරුමයෙන් පමණක් නිසා ඔසාජ් කාන්තාවන් විවාහ කරගෙන ඔවුන් තලාපෙලා මුදල් ලබාගැනීම සිදුවූ අවස්ථා විය. සුදු ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඒ වනවිට අවට පදිංචිව සිටි අතර සියලුම නීතිය පසිඳන බලධාරීන්, නීතීඥයන්, නඩුකාරයන් සුදු ජාතිකයන් වූහ. එමෙන්ම ප්‍රදේශයේ හොරු, මංකොල්ලකාරයන් සහ මැරයන්ද සුදු ජාතිකයන් විය.

මේ අතර ඔසාජ්වරු එකිනෙකා වරින්වර අසාමාන්‍යය ලෙස මියයාම ආරම්භ විය. සමහරු එක්වරම ලෙඩවී මිය ගිය අතර තවත් සමහරු විෂ ශරීර ගතවී මියගිය බවට ලක්ෂණ විය. මේ කාලයේ ඇමරිකාවේ මත්පැන් තහනම් විය. තහනම් මත්පැන් පෙරූ සුදු ජාතිකය්න්ගෙන් මත්පැන් බිවු ඔසාජ්වරු ඒවා විෂවී මියයෑම සිදුවිය. කෙටිකලකින්ම මේවා ඝාතන බවට වෙනස්විය. පිරිමි කාන්තා වෙනසක් නොමැතිව ඔසාජ්වරු තැනින් තැන වෙඩිවැදී ඝාතනය වීමට පටන්ගත්තේය. මුලු ප්‍රදේශයම භීතියෙන් ඇළලී යන්නට පටන් ගත්තේය.

නමුත් මේ කිසිදු ඝාතනයක් ගැන නිසි පරීක්ෂණයක් සිදුනොවීය. සියලුම සුදු බළධාරීන් ස්වදේශිකය්න්ගේ ඝාතන නොසලකා හරින බව පෙනුණි. ඔසාජ්වරුන් අතර ධනවත් පවුලක සාමාජිකයන් කිහිපදෙනෙක්ම කෙටිකාලයක් තුල අභිරහස් ලෙස ඝාතනය වීම මෙම තත්වය පිළිබඳව රජයේ අවධානය යොමු වීමට හේතුවිය. සමස්ත ඝාතන ප්‍රමාණය 24ක් වී තිබුනි. නමුත් පසුකාලයේදී සොයාගත් ආකාරයට මෙම ඝාතන සංඛ්‍යාව එමෙන් දෙතුන් ගුණයක අගයකි. අතීතය මෙන්ම අනාගතයද ඔසාජ්වරුන්ට උරුමකර තිබුනේ දුක්ඛදායී ඉරණමකි.

මෙම කාලය තුල ඇමරිකාවේ අපරාධ පරීක්ෂණ පැවතියේ ඉතාම ප්‍රාථමික මට්ටමේය. ප්‍රදේශයේම ශෙරිෆ්වරු සහ අනෙකුත් නිළධාරීන් අපරාධ පරීක්ෂණ මෙහෙයවීය. නමුත් මේව අන්ත දූෂිත පරික්ක්ෂණ විය. අපරාධකරුවන් බොහෝවිට නීති බලධරයන්ට අල්ලස් ලබාදුන් අතර එමගින් පරීක්ෂණ ‍යටගැහීම සිදුවිය. රතු ඉන්දියානුවන් ඝාතනය වීම ඔවුන්ට සුදු ජාතිකයෙක් ඝාතනය වීම තරම් වැදගත් දෙයක් නොවීය. යම් ප්‍රදේශයක සිටින සියලුම සුදු ජාතිකයන් එකිනෙකා ආරාක්ෂා කරගනිමින් තමන්ගේ පොදු සතුරා වූ ස්වදේශිකයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. මේ නිසා නීතිය පැසඳීමට වෙනස් සං‍යුතියකින් යුතු නව ක්‍රමයක අවශ්‍යතාවයක් ඇතිවිය.

මෙම ඔසාජ් ඝාතන වැල ඇමරිකානු අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයේ හැරවුම්ලක්ෂයක් විය. එතෙක් කලක් මූල්‍ය අපරාධ, මංකොල්ලකෑම් වැනි අපරාධ වෙනුවෙන් ජාතික මට්ට්මෙන් ක්‍රියාත්මක වූ Bureau of Investigation ආයතනය විධිමත් කිරීමට සහ එහි පරීක්ෂණ ක්‍රියාමාර්ග නව මාවතකට යොමු වීමට හේතු වූ මූලාරම්භය වැටුණේ මේ ඔසාජ් ඝාතන වැල පිලිබඳ පරීක්ෂණයයි. පසුකලෙක FBI ලෙස හැඳින්වූයේද මේ ආයතනයයි.

ඔසාජ් ඝාතන ක්‍රියාදාමය සහ එහි පරීක්ෂණ පිලිබඳව වැඩි යමක් නොලියන්නේ එය මාටින් ස්කෝසිස් ගේ Killers of the Flower Moon චිත්‍රපටයෙන් නැරඹීමට අවස්ථාව ලැබෙන නිසාය. මෙම ලිපියට අදාල කරුණු සොයාගනු ලැබුවේ එනමින්ම යුතු David Grann නම් මාධ්‍යවේදියා ලියූ කෘතියෙනි.

Author

9 thoughts on “Killers of the Flower Moon (2023) | නරඹන්න පෙර කියවන්න…

  • ස්තූතියි දැනුවත් කළාට

    Reply
  • ස්තූතියි මේ චිත්‍රපටයට පසුබිම් වු කතාව පැහැදිලි කලාට.

    Reply
  • Thank You, So Happy To read this before I watch the Movie.

    Reply
  • Wow, you nailed it bro. You really did. Awesome. Thanks for the backstory. Keep up the good work

    Reply
  • සුපිරි ලිපියක්.

    Reply
      • Film එක download කරලා දැන් සතියක් වෙනවා.. බලන්න විදියක් නැතුව. අනේ සබ් දෙන්නකො සහෝ ඉක්මනටම ❤

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *