ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ලහොලිවුඩ් සිනමාව

ගැළවීමක්ද? විනාශයක්ද ? | 17 Years of Apocalypto (2006)

Relased Date:- 2006.12.08

▪▪▪▪▪▪▪▪▪▪
“මහා ශිෂ්ටාචාරයක් අභ්‍යන්තරයෙන් විනාශ වන තුරු පිටතින් එය ජය නොගනු ඇත ?”
▪▪▪▪▪▪▪▪▪▪

සංශිප්ත කතාව.

ඉහලම සශ්‍රීකත්වයක පැවති මායාවරුන්ගේ රාජධානි බිඳ වැටීමට පටන් ගෙන ඇතැයි සිතන නායකයින් තවත් පූජාස්ථාන ගොඩනඟා මිනිසුන් බිල්ලට දීමෙන් යළි ඉහළ සශ්‍රීකත්වයක් ඔවුන්ට හිමිවනු ඇති බව විශ්වාස කරයි. මයා ශිෂ්ඨාචාරයෙන් දුරස්ථව සිටින එක් සාමකාමී දඩයම්කාර ගෝත්‍රයකි, මායාවරුන් මෙම ගෝත්‍රයේ ගමම අල්ලා ගනු ලබන්නේ , වහල් සේවය සහ බිලිදීම් වෙනුවෙනි.

නමුත් මෙම ගෝත්‍රයේ එක් නිර්භීතව සාමාජිකයෙකු තම ගැබිනි බිරිඳ සමඟ පලායයි. ඔහු නමින් “ජගුවර් ප’ව්” නම්වේ, බිරිද සැඟවීමට සමත්වන මුත් “ජගුවර් ප’ව්” මායාවරුන්ට හසුවේ. ඉන් ගැලවී තම පවුල සොයා ගැනීමේ ක්‍රියාදාම සපිරි වික්‍රමාන්විත කතන්දරයක් මෙහි අන්තර්ගත වේ

මතභේද

මහා ශිෂ්ටාචාරයක් අභ්‍යන්තරයෙන් විනාශ වන තුරු පිටතින් එය ජය නොගනු ඇත.”

Apocalypto සිනමාපටය ආරම්භයේදී එසේ සඳහන් කරනු ලබනවා. මෙය ඉතා මතභේදාත්මක ප්‍රකාශයක් වුණා.

✅ මෙම සිනමාපටයේ අපට දැක ගැනීමට ලැබෙන, මායා/මායන් වරුන් පසුකාලීනව ස්පාඤ්ඤ ජාතිකයින් විසින් අත්පත් කර ගැනීම පිළිබඳව මයාවරුන්ටම දොස් පැවරීමක් පිළිබද ඉඟියක් එහි අඩංගු බව එක් චෝදනාවක්, ස්පාඤ්ඤ ජාතිකයින් පැමිණීමට පෙර කලකෝලහල ඇතිව තිබූ බවත්, ඔවුන් අභ්‍යන්තරයෙන් බිදීගිය ජාතියක් බවත් ඒ හේතුවෙන් බාහිරින් ඔවුන් අත්පත් කිරීම සිදු වූ බවත් එම මුල් සටහනෙන් අරුත් ගැන්වේ යැයි පැවසෙනවා.

Apocalypto හරහා නිරූපිත මායා ශිෂ්ටාචාරය අපි දන්නා විශ්මකර්ම සහ අභිමානවත් එකකට වඩා හුදෙක් නපුරු ,ම්ලේජ්ච සහ කැරලිකාර එකක් වූ බවත් , ස්පාඤ්ඤ ජාතිකයන් එය යටත් කර ගැනීමට ඉදිරිපත් වීම වඩා යහපත් බව අගවන දුෂ්ඨි කෝණයක් මෙහි අන්තර්ගත බවත් අනෙක් චෝදනාවයි. විශේෂයෙන් ඉතිහාසවේදීන් සහ මායාවරුන්ගෙන් පැවත එන්නන් තමයි මෙලෙස චෝදනා කරනු ලැබුවේ.

✅එසේම මායන්වරු සම්බන්ධ කල්පිත කතන්දරයක් අන්තර්ගත නිර්මාණයක් වුවත් Apocalypto හි කාල සීමාව( වසර 600ක පමණ නොගැලපීමක්) ,සංස්කෘතික අංග, විශ්වාස , කාල පරාස ,හාස්‍ය වැනි බොහෝ දෑ ඉතිහාසය මායාවරුන් පිළිබදව සොයාගත් දෑ සමඟ නොපෑහෙන බවට චෝදනා තිබෙනවා.

ඉහත හේතු නිසාම සිනමාපටය මතභේදාත්මක යමක් වුණා .

▪▪▪▪▪▪▪▪▪▪

Apocalypto” යනු නැරඹීමට ඉතාම රසවත් සිනමාපටයක්, නැවත නැවත වුවත් නැරඹිය හැකි නිර්මාණයක් , අධ්‍යක්ෂකවරයකු ලෙස මෙල් ගිබ්සන්ගේ හැකියාව, උත්සාහය සහ කැපවීමත් පැසසිය යුතුමයි.

නිර්වද්‍ය ඉතිහාස නිරූපණයක්, සාධාරණ දේශපාලන දෘෂ්ඨිකෝණයක් සොයා යෑමට වඩා , මෙය වින්දනාත්මක ක්‍රියාදාම සිනමාපටයක් සේ නැරඹීම තමයි සුදුසුම වන්නේ. කෙසේ නමුත් වැඩිදුර යමක් දැනගන්න කැමති අය වෙනුවෙන් සොයාගත් කරුණු කිහිපයක්.

(P.S :- මට ඉතිහාසය ගැන අවම දැනුමක් තියෙන්නේ . ඒ ක්ශේත්‍රයේ අධ්‍යාපනයකුත් නැහැ. මායාවරුන් මෙහි නිරූපණය සාර්ථකද අසාර්තකද යන්න ගැන මට පුළුල් අවබෝධයකුත් නෑ. ඒ නිසා ස්ව්‍යං අධ්‍යනයකින් හොයාගත් සහ අසා දැනගත් මේ දේවල් වැරදි නම් ඒ ගැනත් කියන්න කාරුණික වෙන්න .)

මායාවරුන් ගැන

මායාවරුන් 16 වන සියවස දක්වා මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ ආධිපත්‍යය දැරූ ප්‍රබල ජාතියක් ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඔවුන් සතුව දියුණු දේශපාලන ක්‍රම, දියුණු විද්‍යාවක් සහ ගෘහනිර්මාණශිල්පයක් තිබූ බවට සාක්ෂි තිබෙනවා. 1520 ගණන් වලදී ස්පාඤ්ඤ ජාතික ආක්‍රමණිකයන් මෙක්සිකෝවේ යුකැටන් වෙත පැමිණෙනවා.

ස්පාඤ්ඤ ජාතිකයන් මයාවරුන්ගේ දේශය වෙත පැමිණෙන්නේ භූමිය, ධනය අත්පත් කරගැනීම සහ කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් බවයි දැක්වෙන්නේ. මීට නිශ්චිත එක් හේතුවක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ .

නමුත් ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණෙන විට ඔවුන්ගේ ශිෂ්ටාචාරය අභ්‍යන්තරයෙන් බිදී තිබීම ඊට හේතු වූ බවට නම් ප්‍රබල සාක්ශි එහි අඩංගු වන්නේ නැහැ. ස්පාඤ්ඤ ජාතිකයින්ට මයාවරුන්ගේ ප්‍රදේශ යටත් කර ගැනීමට හැකි වූ සැබෑ හේතු ලෙස ප්‍රබලව දැක්වෙන කරුණු කිහිපයක් නම් තිබෙනවා. මායාවරුන්ට සුවිශේෂී යුධ හැකියාවක් තිබුණත්, ඔවුන් සතුව දියුණු අවි ආයුධ එනම් තුවක්කු හෝ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ නැහැ.

අනෙක් හේතුව විදේශීය නාවිකයන්ට තිබූ සිපිලිස් වැනි රෝග සඳහා ප්‍රතිශක්තියක් මෙම කලාපීය මයාවරුන් සතුව තිබුණේද නැහැ. එහෙයින් ඔවුන් මෙම පිටදේශීය ජාතිය ගෙනා රෝගවලට පහසුවෙන් ගොදුරු වුණා, ඒ රෝග ඔවුන් අතර වේගයෙන් පැතිර ගියා. ප්‍රතිශක්තිය නොමැති නිසා මෙම රෝග වලින් මායාවරුන් විශාල වශයෙන් මිය යෑම සිදුවුණා.

Spoiler Alert
සිනමාපටයේ අවසානය

අවසානයේ දිවිගලවාගත් පවුල ඈතින් පැමිණෙන නෞකාවක් දකී. එහි කොඩි සහ කුරුස ලෙළදේ, එනම් ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පැමිණීම මෙහි නිරූපණය වේ. ස්පාඤ්ඤයන්ගේ පැමිණීම යනු මායාවරුන්ගේ අවසානය බව ඉතිහාසයේ දැක්වේ.

එසේනම්, මෙම නෞකා සිනමාපටය පුරා පැවති ගෝත්‍ර අතර කුඩා පරිමාණ ගැටුමට සාපේක්ෂව පැවැත්මට එළඹීමට යන විශාලම තර්ජනයක සේයාවක්ද ?ශිෂ්ඨාචාරයක අශුභ සහ භයානක අවසානය පිළිබද දැනුම් දීමක්ද?

නො එසේනම් ම්ලේච්ජ මායාවරුන්ගෙන් බැටකන පහළ ගෝත්‍රිකයන්ගේ ගැලවීම වෙනුවෙන් ධර්මිෂ්ඨ සභ්‍ය ක්‍රිස්තියානුවරුන්ගේ පැමිණීම වඩා සුබවාදීබව ඉඟිකිරීමක්ද?

Apocalypse යන වචනයේ ජනප්‍රිය සහ අපි දන්න අර්ථය, “ලෝක අවසානය” වැන්නක්. සම්ප්‍රදායික ක්‍රිස්තියානි අරුත අර්ථය “එළිදරව් වීම” හෝ “නිරාවරණය වැනි” අරුතක් බවත් සදහන් වෙනවා.

අධ්‍යක්ෂ මේල් ගිබ්සන් භක්තිමත් කිතුණුවකු සහ පැහැදිළි දේශපාලනය මතයක් සහිත කෙනෙකු බව සැබෑය .ඇපොකැලිප්ටෝ අවසානය ගැලවුම් කරුවාගේ පැමිණීම ලෙස ඔහු නිරූපණය කරනු ලැබුවේද?

“තණ්හාව, මහන්තත්වය, දූෂණය, පාරිසරික හානිය සහ පහළ පංතියේ තලා පෙළා දැමීම, ධනය සහ බල තන්හාව, යුධ ගැටුම්වලට සහ අවසානයේ විනාශයට මඟ පාදයි” මෙය මේල් ගිබ්සන්ගේ ප්‍රකාශයකි.

පැමිණෙන ස්පාඤ්ඤ ජාතිකයන් හුදෙක් ක්‍රිස්තියානි ආගම සහ සභ්‍යත්වය පැතිරවීම වෙනුවෙන් දුරුකතර ගෙවා නොපැමිණි බව ඕනෑම කෙනෙක්ට පැහැදිලිය.ඔවුන්ද ආගම, ධනය හා බලය පසුපස හඹා පැමිණි තවත් එක් මිනිසුන් කොටසක්. එය අධ්‍යක්ෂකවරයාද වටහාගෙන සිටිබව සිනමාපටයේ අවසානය අපිට කියාපානවා.
▪▪▪
මුහුද ඈත සිට තම නිජ භූමිය වෙත පැමිණෙන නෞකා පෙලක්!
ගැලවීම වෙනුවෙන්,

ඔවුන් වෙත යෑමද? වනය වෙත යෑමද ?
“ජගුවර් ප’ ව් ” ගේ තේරීම කුමක්ද ?

අවසානයේ පවුල සමඟ වනය වෙත යෑම ඔහු තෝරාගන්නවා..

ඔහුගේ සහජ බුද්ධිය අනුව කළ හැකි නිවැරදිම තේරීම එය වූ බව අධ්‍යක්ෂක මේල් ගිබ්සන්ට මෙන්ම ඉතිහාසය පිළිබද සුළු හෝ දැනුමක් ඇති අපටද වටහා ගත හැකිය.

▪▪▪▪▪▪▪▪▪▪

මායාවරුන් සොයාගනු ලැබූ විශ්මිත දෑ.

✅මායා කැලැන්ඩරය තනා ඇත්තේ ඔවුන් විසින් . එය 2012 වසරේ දෙසැම්බර් 21 දින අවසන්, එදින ලෝක විනාශය සිදුවන බව විශ්වාස කල මිනිසුන්ද සිටියා.

✅රබර් බෝලය සොයා ගත්තේ මායා වරුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

✅ඔවුන් සතුව දියුණු ගොඩනැගිළි තාක්ෂණයක් පැවතුණා.

✅ එකළ පැවතුණු විශ්වාස වලට අනුරූපව තාරකා විද්‍යාවේ මූල ධර්ම අනුව, සෘතු කාල නිර්ණ ආදී විවිධ සංකල්ප ඔවුන් සතුව පැවතුණා.

✅ගණිතයේ භාවිතාවන වැදගත් සංකල්පයක් වන ‘බිංදුව’ සොයාගෙන භාවිතයට ගත් සීමිත ආදි ජනකොටස් වලින් එකක් ලෙස මායාවරුන් සැලකෙනවා

Swarnarekha Sewwandi
#PDSSD

Author

2 thoughts on “ගැළවීමක්ද? විනාශයක්ද ? | 17 Years of Apocalypto (2006)

  • මේ චිත්‍රපටියේ තියෙනවා වතුරේ බැහැල ඉන්න පිරිමි කෙනෙකුගේ පුක ඇතුලට මාලුවෙක් රිංගනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *