ඉංග්‍රීසිටීවී කතා මාලාදැනුමටභාෂාවවගතුගවිචාරසියල්ල

දිය රකුසිය…. | Jibaro: Love, Death And Robots

හැදින්වීම

Love, Death And Robots කියන්නේ විද්‍යා ප්‍රබන්ධ ,මනකල්පිත කතාමාලා (anthology series) බලන්න ආස අය නැරඹිය යුතුම කතාමාලාවක්.

එහි තුන්වන සමයේ 9 වෙනි කොටස ජිබාරො (Jibaro) ලෙසයි නම් කර තිබෙන්නේ .

සජීවිකරණ නිර්මාණයක් වුවත් සැබවින්ම එය සජීවිකරණයක් දැයි සැක සිතෙන තරමට සාර්තක ලෙස නිමවා තිබෙනවා.

මෙහි දෙබස් අන්තර්ගත නොවුනත් ඉතාම ආකර්ශණීය කතාවක් මීට ඇතුළත් . නරඹන්නෙකුට සියලුම කතා මාලා අවසානයේ ජිබාරෝ අමතක නොවනම කතාංගයක් ලෙස මතකයේ රැදෙනු ඇති.

අධ්‍යක්ෂණය සහ පිටපත :-Alberto Mielgo
ධාවන කාලය:- විනාඩි 17

සටහනේ අන්තර්ගතය

✅සංෂිප්ත කතාව
✅කතාවේ පණිවිඩය
✅දිය රකුසිය සහ දියකිදුරිය අතර වෙනස
(Siren Vs mermaid )
✅මේ හා බැදි පුරාවෘතිය
(දියැගෝ සැල්සිඩෝ )
✅සමානකම්
▪▪▪▪▪▪▪▪▪▪▪▪
Spoiler Alert
✅සංශිප්ත කතාව

කතන්දරය නැරඹූ නමුත් ඒ ගැන අමතකව ගිය / නොපැදිලි තැනක් ඇති අය හෝ බැලීමට අදහසක් නැති අය වෙනුවෙන් පමණක් සංශිප්ත කතාව !

වනය මැදින් ගමන් කරන සොල්දාදුවන් පිරිසක්. ඔවුන් ගමන් කරන අශ්වයන් මත රන් රිදී වැනි වටිනා ආභරණ ගොඩගසා තිබෙනවා. එහෙයින් මොවුන් ජනපද කොල්ලකමින් පැමිණි පිරිසක් බව අනුමාන කරන්න පුලුවන් , සොල්දාදුවන් පිරිසේ නායකත්වය දරන්නේ බිහිරි සොල්දාදුවෙකු විසින්, වනය මැද පිහිටි ජලාශයක් අසල ඔවුන් නතර වන්නේ පිපාසය දුරු කරගැනීම උදෙසායි. හදිසියේම ඉවුරේ වැටී ඇති වටිනා රත්‍රන් කැබැල්ලක් නායක සොල්දාදුවාගේ ඇස ගැටෙනවා.

එම මොහොතේ ජලාශයට අධිපති දිය රකුසිය ජිබාරෝහට මරණීය තර්ජනයක ඉව වැටෙනවා. ඇගේ මුළු සිරුරම රත්රන් වලින් වැසී තිබෙනවා. මේ කුඩා රන් කැබැල්ල ඇයට අයත්. ඒ සමඟ දියෙන් මතුවන ඇය කෑගසමින් මරණීය නර්තනයේ යෙදීම අරඹනවා. එම හඬට වසඟවන සොල්දාදුවන් එකිනෙකා මරාගනිමින් ජලාශය වෙත ඇදී ගොස් එහි ගිළී මරණයට පත්වෙනවා.

මුළු බටපිරිසම විනාශයට පත්වුවත් බිහිරි සොල්දාදුවාට ජිබාරොගේ හඩ නෑසෙන නිසා කිසිදු ආපදාවක් සිදුවන්නේ නෑ.
ඔහුගේ බිහිරි බව නොදත් ජිබාරෝ, තමාගේ හඩට වසඟ නොවූ මෙම සොල්දාදුවා හේතුවෙන් තමාගේ හැකියාව පිළිබදව චකිතයක් ඇති කරගන්නවා.

ඇය රාත්‍රියේදී ටිකෙන් ටික බිහිරි සොල්දාදුවාට ලං වෙන්නේ කෙසේ හෝ ඔහුව වසඟ කරගැනීමේ අටියෙන්. ඇය රාත්‍රියේ ඔහු අසලම නින්දට වැටෙනවා. උදෑසන අවදිවන සොල්දාදුවා දකින්නේ මුළු ඇගපුරාම රත්තරන් සැරසිළි හා ආභරණ වලින් වැසුණු ජිබාරෝයි.
ඔහුත් ඇය වෙත ලංවීමට උත්සහ කරනවා. ජිබාරෝ සිපගැනීමට උත්සහ කලත් ඇයගේ තියුණු දත්වලට තුවාල වී සොල්දාදුවාගේ කටින් රුධිරය ගලායනවා..

අවසානයේ,ජිබාරෝ පැලදි ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් සොරාගෙන පලායෑමට ඔහු සමත් වෙනවා. යළි අවදිවන විට තමාගේ ආභරණ සොරාගෙන ගොස් ඇති බව දැක උරණ වන ජිබාරෝ විලාප තබමින් රුධිරය වැකුණු ශරීරය ජලාශයේ ගිල්වනවා. මුළු ජලාශයටම එම රුධිරය මිශ්‍ර වී යනවා.

මේ අතර පලායන සොල්දාදුවා ජලාශය පහලදී ගිමන් හැරීමට නැවතී එම ජලාශයෙන් ජලය පානය කරනවා. ජිබාරෝගේ රුධිරය රෝග සුවකරන බලයකින් යුතුයි. ඒ රුධිරය මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් සොල්දාදුවාගේ බිහිරි භාවය සුව වෙනවා. ජීවිතේ ප්‍රතම වතාවට ශ්‍රවණය හැකියාව ලැබෙන සොල්දාදුවා ඇසෙන නුපුරුදු හඬවල් නිසා බියට පත්වෙනවා..

කෙසේ නමුත් මොහොතකට පසු ඔහු සන්සුන් භාවයට සහ සතුටට පත්වෙනවා. දැන් මෙම සොල්දාදුවාත් ජිබාරෝට පහසුවෙන් ගොදුරු විය හැකි තවත් මිනිසෙකු පමණයි. නැවත,ජලයෙන් නැවත ගොඩට විත් අපහසුවෙන් විලාප තබමින් නර්තනයේ යෙදෙන ජිබාරෝගේ හඩට වසඟ වන නායක සොල්දාදුවාද උමතුවෙන් මෙන් ජලය දෙසට ඇදී යනවා.

අවසානයේ මේ තණ්හාධික සොල්දාදුවාගේ සිරුර ගඟ පතුළේ තැම්පත්ව ඇති, ඔහුගේ මියගිය සහචර සොල්දාදුවන් සහ දහසකුත් එකක් මිනිසුන්ගේ සිරුර සමග එකතු වනු ඇති.

✅අන්තර්ගත පණිවිඩය

මේ කතාවේ අන්තර්ගත පණිවිඩය නැත්නම් යටිපෙළ විදියට සලකන්න පුලුවන් යමක් තිබෙනවා. ඒ විශ සහගත සබදතාවක් (Toxic relationship) කිසිවිටෙකත් සතුටුදායක ලෙස අවසන් නොවන බව.

ප්‍රේම සබදතාවක පදනම ආදරයම වියයුතු වුවත් මෙම කතාවේ පිරිමි පුද්ගලයා ජිබාරෝ වෙත ලංවන්නේ ඇය සතු ස්වර්ණාභරණ වලට කෑදරකමින්, ජිබාරෝ පිරිමි පුද්ගලයාට ලං වෙන්නේ අගේ ගිලිහුණු අභිමානය රැකගැනීමට මඟක් සොයාමින්….

අවසානයේ දෙදෙනාගේම දෛවය යහපත් ලෙස අවසන් වන්නේ නැහැ.

✅Siran Vs mermaid
දිය රකුසිය සහ දිය කිදුරිය

ජිබාරෝ කතාව තුළ ජිබාරෝ ලෙස අපට දකින්න ලැබෙන ශ්‍රීක මිත්‍යා කතාවල එන siren ට සමාන ජීවියෙක් .. siren කියන්නේ අපි දන්න mermaid(දියකිදුරිය) කියන කල්පිත ජීවියාට තරමක් සමාන වුවත්, ඊට වඩා වෙනස් ජීවියෙක්. ( siren ට කියන හරි සිංහල නමක් නම් මම දන්නේ නෑ.එක්තරා දියරකුසියක් වගේ ජීවියෙක් විදියට පැහැදිලි කරන්න පුලුවන්)

දියකිදුරියන් කියන්නේ යුරෝපීය ගැමිකතාවල එන චරිතයක්, ඒ වගේම චීන ජපන් ගැමිකතාවල බෞද්ධ සාහිත්‍යයේ (සඳ කිදුරන්) පවා මේ ජීවින් කොටස අපිට දකින්න ලැබෙනවා. කිදුරියන්ගේ ඇගේ ඉහල කොටස කාන්තාවකගේ වගේම පහල කොටස මාලුවෙකු ලෙසයි විස්තර වෙන්නේ, දිගු කේශකලාපයක් ඇයට හිමියි.

siren කෙනෙක් ඊට වඩා වෙනස් . ඔවුන්ගේ ඉහල කොටස මනුශ්‍යයෙක් වැනී,නමුත් පහල මාලුවෙක් ,කුරුලෙකු හෝ සාමාන්‍ය මනුශ්‍ය හැඩයක් ඇති බවට වෙනස් මිත්‍යාවිශ්වාස තිබෙනවා . මෙම ජීවීන් දියකිදුරියන්ගෙන් ප්‍රධානව වෙනස් වෙන තවත් ලක්ශණ කීපයක් තිබෙනවා. ඒ මොවුන්ට ශබ්ද නගා කෑගැසීමට දියුණු ස්වරතන්ත්‍ර පිහිටීමයි. දියකිදුරියන් තරම් ඔවුන්ගේ කොන්ඩය දිගු නෑ .නමුත් මොවුන් සතුව උල් දත් තිබෙනවා. ඒවගේම කිදුරියන් මෙන් මිත්‍රශීලි නොවන මොවුන් භයානක දරුණු ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්..

ජලයේ වාසය කරන siren කියන මිත්‍යා ජීවියා මුහුදේ හෝ එම ජලාශ අසලින් ගමන් කරන මිනිසුන් මරණයට පොළඹවන ජීවියෙක් බවයි කියවෙන්නේ . ඇගේ කටහඬ ශ්‍රවණය කරන පිරිමින් ඇයට වසගවී ඇය වෙත( ජලය දෙසට )දිව ගොස් එහි ගිළී මිය යනවා..

කොහොම වුණත් යම් විදියකින් ඇගේ හඩ භාවිතාකරමින් පිරිමියෙකු පොළඹවා ගැනීමට නොහැකි වුවහොත්, අභිමානයට වූ කැළල හේතුකොට ගෙන ඇය ජීවත්වන ජලය තුළටම ගිළී සියදිවි නසා ගන්නා බවත් කියවෙනවා..

✅මේහා බැදි සත්‍ය පුරාවෘතය

මෙය පෝටෝ රිකෝහි සත්‍ය අතීත කතාවක් ආභාශයෙන් බිහිවූවක් බවත් පැවසනවා. ඒ සිදුවීම මෙසේයි.

දියැගෝ සැල්සෙඩෝ පුරාවෘතිය

වසර 1500 දී, දියැගෝ සැල්සෙඩෝ ප්‍රමුඛ ස්පාඤ්ඤ ආක්‍රමණික කණ්ඩායමක් පොටෝ රිකෝ දිවයිනට පැමිණෙනවා. එවකට,එම දිවයිනේ වැසියන් වූයේ “ටයිනොස්” නම් ඉන්දියානු ජන කොටසක්. මොවුන් පරිසරයට බෙහෙවින් ආදරය කළ , සොබාදහම සමග එකට වාසය කල ජනකොටසක් ලෙසයි හැදින්වෙනවා .

ටයිනෝස් ගෝත්‍රිකයන්, මෙම වෙනස් පෙනුමැති බලවත් ආයුධ දරන ස්පාඤ්ඤ ජාතිකයන් දෙවියන් කොටසක් ලෙසයි විශ්වාස කර තිබෙන්නේ.
පෝටෝ රිකෝහි ගංගාවන් තුළ වටිනා රත්‍රන් නිධිගතව තිබුණා ,දියැගෝ ඇතුළු පිරිස එම පිරිසිදු රත්‍රන් වලට ආශාවෙන් එම රත්තරන් ලබාගැනීමට කටයුතු කළා. එපමණක් නොවෙයි ආශ්‍රිතව වාසය කළ ටයිරෝන් ගෝත්‍රය සහ ඔවුන්ගේ කාන්තාවන් වෙත දියැගෝ ඇතුළු බටපිරිසෙන් නොයෙක් හිරිහැර ඇතිවි තිබෙනවා.

නමුත් ස්පාඤ්ඤ ජාතිකයන් දෙවිවරුන් කොටසක් යැයි බියෙන් ටයිනෝස් ගෝත්‍රිකයන් ඔවුන්ට ආපිට හානි කිරීමෙන් වැළකී සිටියා. නමුත්, ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් පැමිණෙන දුක් ගැහැට දරාගත නොහැකි නිසාම, ටයිනෝස්, ජනතාව දියැගෝ ප්‍රමුඛ කණ්ඩායමට උපක්‍රමශීලීව එදිරිවීමට කටයුතු කර තිබෙනවා.

එක් මතයක් තමයි, දියැගෝට ලිංගිකව එක්විය හැකි ටයිනෝස් කාන්තාවන් පිරුණු විලකට ඔහුව ගෙන යන බව පවසා ටයිනෝස් ගෝත්‍රිකයන්, ජාලාශය වෙත ඔහුව රැගෙන ගොස් තිබෙනවා. නමුත් එහි කාන්තාවන් නොසිටි අතර පිරිමින් රැසක් සැගවී සිටියා. ඔවුන් එක්ව දියැගෝව දියේ ගිල්වා මරා දැමීමට කටයුතු කර තිබෙනවා.

තවත් මතයක් වන්නේ සැල්සෙඩෝ ගඟක් අද්දර ජලය පානය කරමින් සිටියදී සැඟවී සිටි ටයිනෝස් ගෝත්‍රකයන් ඔහුට පහර දුන්බවයි. කෙසේ නමුත් ස්පාඤ්ඤ ජාතිකයන් දෙවියන් යැයි විශ්වාස කල නිසාම, සල්සෙඩෝ නැවත නැඟිටිනු ඇතැයි යන බියෙන් දින තුනක් ගැමියන් බලා සිට තිබෙනවා.

කෙසේ නමුත් අවසානයේ ඔවුන් දුටුවේ සැල්සෙඩෝගේ සිරුර සාමාන්‍ය මිනිස් සිරුරක් ලෙසම දිරාපත් වී ඇතිබවයි. ඒ මොහොතේම ටයිනෝස් ගෝත්‍රිකයන් මොවුන් දෙවිවරුන් නොවන බව ස්ථිරකරගනු ලැබුවා..

✅ජිබාරෝ හා පුරාවෘතියේ සමානකම්

මෙම කතාංගයේ පරිසරය දියැගෝ සැල්සෙඩෝ ගිළුණු අදාල ස්ථානයට ඉතාම සමාන වන ලෙස ගොඩනගා ඇති බව දැක්වෙනවා. . පොටො රිකෝ භාශාවෙන් “ජිබාරෝ “ලෙස හදුන්වා ඇත්තේ එහි කදු ආශ්‍රිතව ජීවත් වෙමින් සංස්කෘතිය රැකගත් පාරම්පරික ජනතාවයි. ජිබාරෝගේ කතාවේ ටයිනෝස් ජනතාව “ජිබාරෝ ” චරිතය මගින් නිරූපණය කරන අතර ,දියැගෝ ඇතුළු බටපිරිස මෙහි බිහිරි බටයා ඇතුළු හමුදාවෙන් නිරූපණය කරන බව ඇතැම්හු පවසනවා.

ප්‍රාදේශීය පුරාවෘත්තයක විලාප නගන , සැල්සෙඩෝගේ අගතියට පත් පෙම්වතියක් යැයි කියනු ලබන අවතාර තායිනෝ කාන්තාවක් ගැනත් කතන්දර පවතිනවා. එසේම මෙහි ගිළී මියගිය සැල්සෙඩෝ ගේ අවතාරය ඇතැම් රාත්‍රීන්හී ටයිනෝස් කාන්තාවන් සහ ගැමියන් බියට පත්කරන බවත් මිත්‍යා කතාවල සදහන්

#PDSSD

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *