ඉංග්‍රීසිචිත්‍රපටදැනුමටපුවත්භාෂාවවගතුගවිචාරසියල්ලහොලිවුඩ් සිනමාව

විලී වොන්කා නැවතත් | Wonka (2023): Wonka Returns

රෝල් ඩාල්ගේ “චාර්ලි සහ චොක්ලට් කම්හල” (Charlie and the chocolate factory) කියන්නේ හැමෝම ආදරය කරන සහ පරිකල්පන රසයෙන් අනූන පොතක්…

විලී වොන්කා නම් අපූරු නිමැයුම්කරුගේ රහසිගත චොක්ලට් කම්හල නැරඹීමට දුර්ලභ අවස්තාවක් දිනාගන්නා චාර්ලි බකට් නම් දුප්පත් කුඩා පිරිමි දරුවා ඇතුළු අහඹු ළමුන් පස් දෙනෙක් ගැනයි මේ අපූරු කතාව දිවෙන්නේ…

මෙම ග්‍රන්තය ඇසුරෙන් දැනට සිනමාපට කිහිපයක්ම බිහිවී තිබෙනවා, නැවතත්! චාර්ලි සහ චොක්ලට් කම්හල පිළිබදව කතා බහක් ඇතිවෙන්නේ, මෙම වසරේ දෙසැම්බර් මස 15 වෙනි දින ලොවපුරා නිකුත්වීමට නියමිත, Wonka (2023) සිනමාපටයේ ප්‍රචාරකපටය නිකුත්වීමත් සමගයි.

මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය සහ අපූරු සිනමාපට මාලාවක් වන පැඩින්ඩන් 1 ,2 සිනමාපට අධ්‍යක්ෂණය කල පෝල් කින්ග් විසින්…

චාර්ලි සහ චොක්ලට් කම්හල ඇසුරෙන් මෙතෙක් බිහිවූ සිනමා අනුවර්තන ගැන යමක්…

 

⏹️Willy Wonka & the Chocolate Factory (1971)

මේ තමයි පැරණි රසිකයන් සහ විචාරකයන් වඩාත්ම අගයකරන සිනමා අනුවර්තනය වෙන්නේ…

මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත ලෙස ,

◽️ විලී වොන්කා – ජීන් වයිල්ඩර්
◽️ චාර්ලි බකට් – පීටර් ඔස්ට්‍රම්
◽️ උම්පා ලුම්පා – නලුවන් 10 දෙනෙක් පමණ

විචාරක ප්‍රසාදය මේ සදහා ලැබුණත් විශාල ලෙස අදායම් අතින් සර්තක වීමට නම් සිනමාපටය අසමත්වුණා. කොහොම වුණත්, මේ අනුවර්තනය ගැන පොතේ කතෲ රෝල්ඩාල් නම් කිසිසේත්ම සතුටු වී නැහැ. ඇත්තටම ඔහු මේ නිර්මාණය දැකීමෙන් කෝපයට පත්වූ බවයි දැක්වෙන්නේ.

වොන්කා වෙත අනවශ්‍ය හැගීම්බරතාවක් ලබාදී ඇති බවත්, චාර්ලි බකට් චරිතය වෙනුවෙන් ලැබිය යුතු අවධානය දී නොමැති බවත් ඔහු චෝදනා කලා. ජීන් වයිල්ඩර් වෙනුවට ස්පයික් මිලිගන්වයි ඔහුට වොන්කා චරිතයට අවශ්‍ය වුණේ. ඒ නිසා ජීන්ගේ රංගනය ගැනත් ඔහු එතරම් සතුටු වී නැහැ. ඒ කොහොම වුණත් මේ සිනමාපටය බලන්න වටින්න රසවත් සහ වර්ණවත් සිනමාපටයක්..

 

 

 

 

⏹️Charlie and the Chocolate Factory (2005)

ජොනී ඩෙප් විලී වොන්කා ලෙස පෙනී සිටිය 2005 වසරේ නිකුත්වූ මේ සිනමාපටය තමයි ලංකාවේ අපිට නම් වැඩිපුරම සමීප එක…

ටිම් බර්ටන් කියන ප්‍රකට සිනමාපට අධ්‍යක්ශකවරයා තමයි මෙය සිනමාවට ගෙන එන්නේ. කොහොම වුණත් 2005 සිනමාපටයේ වොන්කා කියන්නේ වැඩිහිටි සිරුරක් තුල ජීවත් වෙන ලමයෙක් මෙන් නොසන්සුන්, බොලද, විකාරරූපී නමුත් හුදකලා වූ සහ ආදරය ලැබීමට ආසා කරන චරිතයක් ලෙසයි නිරූපණය වුණේ.

මේ විලී වොන්කා චරිතය වඩා රසවත් සහ පොතට වඩා සමීප චරිතය ලෙස හැදින්විම වඩා නිවැරදි වේවී. ටිම් බර්ටන් ඔහුගේ සිනමාවේ ආරට අනුව යම් අදුරු සහ රළු ගතියක් මෙම සිනමාපටයට ලබාදී තිබුණා. කොහොම වුණත් රෝල් ඩාල් පලවෙනි සිනමාපටයේ නැති බවට චෝදනා කලදේ මේ සිනමාපටයේ අන්තර්ගත වුණා. චාර්ලී බකට් ගේ චරිතය ඉතාම සානුකම්පිත දෘෂ්ඨිකෝණයකින් මෙහි ඉදිරිපත් කර තිබුණා. මේ වෙද්දී රෝල් ඩාල් නම් ජීවතුන් අතර හිටියේ නැහැ. ඒත් පලවෙනි සිනමාපටයේ විලී වොන්කා ලෙස රංගනයේ යෙදුණ ජීන් වයිල්ඩර් නම් මෙම සිනමාපටය වෙනුවෙන් තම අප්‍රසාදය පලකර තිබුණා.

මෙහි චරිත අතර,

◽️ විලී වොන්කා – ජොනී ඩෙප්
◽️ චාර්ලි බකට් – ෆ්‍රෙඩී හියුමෝ
◽️ උම්පා ලුම්පා – දීප් රෝයි (මෙය එක් නලුවෙක් විසින් චරිත නිරූපනය කරණු ලැබුවා)
◽️ ජෝ සීයා – ඩේවිඩ් කෙලී
◽️ බකට් නෝනා – හෙලේනා බෝමන් කාටර්

එතරම් විචාරක ප්‍රසාදයක් මෙයට හිමි නොවුනත්, එම වසරේ ඉහල රසික ප්‍රතිචාර මෙන්ම, අටවෙනියට වැඩිම ඉපයුම් ලද සිනමාපටය වෙමින් ආදායම් අතින් අතිසාර්තකත්වයක් හිමිකර ගැනීමට මෙම අනුවර්තනය සමත්වුණා.

 

Wonka (2023)

මෙම වසරේ දෙසැම්බර් 15 තිරගත වීමට සූදානමින් තිබෙන අලුත්ම සිනමාපටයයි…

මෙහි චරිත අතර,

◽️ තරුණ විලී වොන්කා – තිමොති ශැලමේ
◽️ උම්පා ලුම්පා – හ්‍යූ ග්‍රාන්ට්
◽ඒ විතරක් නොවෙයි ඔස්කාර්ලාභී ඔලීවියා කොල්මන්, සැලී හොකින්ස් වගේම හැමෝම ආදරය කරන මිස්ට බීන් නැත්නම් රෝවන් ඇට්කින්සන්ද මේ සමග එකතුවෙනවා.

මෙම සිනමාපටය වොන්කාගේ ජීවිතයේ අතීත කතාවක් නැතිනම් පොතේ හෝ සිනමාපටවල අප නොදුටු තරුණ කාලය පාදක කරගත් එකක් බවයි පැවසෙන්නේ.

වොන්කාගේ ලමාවිය, තරුණ විය, දත් දොස්තර කෙනෙකු වූ පියා සමග ගෙවුණු අතීතය මිතුරන්, පැණිරස කෑම සදහා ඔහුගේ ආශාව, ගෙදරින් පිටවී යෑම, ඔම්පා ලුම්පාවන් සොයා ගැනීම ෆැක්ටරියේ ඇරඹුම වැනි අපි සිනමාවේ නොදුටු කොටස මේ හරහා ප්‍රේක්ශකයන්ට බලාගැනීමට ඉඩ ලැබෙනු ඇති.

මෙහි අධ්‍යක්ෂක පිළිබද සැලකීමේදී බොහෝවිට 2005 සිනමාපටයේ දැකගැනීමට ලැබුණු ටිම් බර්ටන්ගේ අදුරු ශෛලියෙන් බැහැරව 1971 සිනමාපටයේ මෙන් වර්ණවත් බවක් සමග මෙය දැකගැනීමට ලැබේවී…

කෙසේ නමුත් තිමොති ශැලමේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන හෙයින් පෙනුම සහ රංගන ශෛලිය අනුව ජීන් වයිල්ඩර්ගේ වොන්කාට වඩා ඩෙප් විසින් නිරූපණය කල වොන්කා ඔහු සමග සැසදේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන්…

දැනටම පූර්ව ප්‍රචාරක පටය නිකුත්වී ඇති නිසා ප්‍රේක්ශකයන් ඩෙප්, තිමොති සමග සසදමින් අදහස් ඉදිරිපත් කිරීම බහුලව දැකගන්න ලැබෙනවා. හ්‍යූ ග්‍රාන්ට් නිරූපනය කරන කොල හිසකේ සහ තැඹිලි මුහුණක් ඇති උම්පා ලුම්පා චරිතය 1971 සිනමාපටයේ චරිතය හා පෙනුමෙන් වඩා සමානකම් දක්වනවා. කොහොම වුණත් එකම නිර්මාණයේ විවිධ අනුවර්තන බිහිවෙද්දී සැසදීම් විවේචන කියන්නේ බලාපොරොත්තු වියහැකි දෙයක්.

පොත ලිව්ව රෝල්ඩාල් කවදාවත් 1971 සිනමාපටය ප්‍රියකලේ නෑ. 1971 ප්‍රධාන නලුවා වුණ ජීන් වයිල්ඩර් 2005 සිනමාපටය ප්‍රියකලෙත් නෑ. කොහොම වුණත්, මෙහි අධ්‍යක්ෂකවරයා, නළුනිළි කැල ආදිය සැලකීමේදී මෙම වසරේ දකින්න ලැබෙන තවත් බලාපොරොත්තු සහගත නිර්මාණයක් ලෙස වොන්කා (2023) හැදින්විය හැකියි.

#PDSSD

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *