ඉංග්‍රීසිදැනුමටභාෂාවවගතුගවිවිධසියල්ල

අභිරහස් කතා රැජින අගතා ක්‍රිස්ටිගේ සැබෑ ජීවන අභිරහස | The Mysterious Disappearance of Agatha Christie

අභිරහස් කතා කලාවේ රැජින, අගතා ක්‍රිස්ටි හරියටම අද වගේ දවසක බර්ක්ශියර්හි පිහිටි ඇගේ නිවසින් අතුරුදහන්ව ගොස් තිබුණා..

ඒ 1926 දෙසැම්බර් 03 සිට ,දෙසැම්බර් 14 දක්වා ,දින 11කටයි !

අබිරහස් කතා රැජිනකගේ මේ සැබෑ ජීවන අභිරහස එවකට පුවත්පත් වාර්තා මවන්නක් වුණා.

මේ ඇගේ අතුරුදන් වීම ගැනයි.

1920 වසරේ දී The Mysterious Affair at Styles නම් වූ ඇගේ ප්‍රථම ග්‍රන්තය ප්‍රකාශයට පත්වුණා , ඉන් වසර 4කට පසු , 1926 වසරේ The Murder of Roger Ackroyd නම් ඇගේ දෙවන ග්‍රන්ථයත් නිකුත් කරනු ලැබුවා. ඒ සමඟ ඇය එංගලන්තයේ ජනප්‍රිය කතුවරියන් අතරට එකතු වුණා.

නමුත් වෘතීය දිවියේ සාර්තකත්වය සමඟ අවාසනාවන්ත සිදුවීම් කීපයකට මුහුණ දීමටත් ඇයට සිදුවෙනවා, 1926 වසරේ දී ඇගේ මව මිය යනවා, එසේම ඇගේ සැමියාගේ අනියම් සබදතාවක් පිළිබදවත් ඇයට දැනගැනීමට ලැබෙනවා. මේ ඔස්සේ අගතා අධික මානසික වියවුලකට පත්ව තිබුණා.

දෙසැම්බර් 03 සිකුරාදා රාත්‍රියේ 9.30 ට පමණ තම පුටුවෙන් නැගී සිටි අගතා උඩු මහලය වෙත යන්නේ , සත්වියැති දියණිය රොසලයින්ට සුබ රාත්‍රියක් පැතීමටයි. ඉන් අනතුරුව යලි තම නිවසේ පහළ මාලයට පැමිණි ඇය ඇගේ රථයට ගොඩවී තිබෙනවා. ඉන්පසු ඇය ගැන තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නැහැ.

ඇගේ මේ අතුරුදන් වීම නගරයේ විශාල කැලඹීමක් ඇතිකළා .පොලීසිය දහසක් සිවිල් ජනතාව මේ සෙවුම් මෙහෙයුමට එක්වුණා. ගුවන්‍ යානා පවා මේ සඳහා යොදාගත් බවත් වාර්තා වල සදහන්.

ආතර් කොනන් ඩොයිල් මහතා සහ ඩොරති එල්.සේයර්ස් වැනි රහස්පරීක්ශක කතා ලේඛකයන් පවා මේ සෙවුම් මෙහෙයුමට සම්බන්ධ කරගෙන තිබුණා. කොනන් ඩොයිල් විසින් අගතාගේ අත්වැසුම් පරීක්ෂා කල අතර , ඩොරති ඇය ගැවසුණ තැන්වල සාක්ෂි සොයා ගියා. නමුත් ඔවුන් දෙදෙනාද විශේෂ යමක් සොයාගැනීමට අසමත් වුණා.

අතහැර දැමූ ඇගේ මෝටර් රථය නිව්ලන්ඩ්ස් කෝනර්හි බෑවුමකදී හමුවෙනවා. නමුත් අගතා ක්‍රිස්ටි පිළිබද කිසිදු සාක්ෂියක් එතනින් පොලිසියට හමුව තිබුණේ නැහැ.

උපකල්පන

✅ඇතැම් අය එය රිය අනතුරක් බවට පැවසුවා
✅තවත් අය ඇය දිවිනසාගෙන ඇති බවට ඉඟි පළකලා.
✅ඒ ස්ථානයට ආසන්නයේ කුඩා දරුවන් දෙදෙනෙකු ගිළුණු, නිහඬ තටාකය නම් දියපහරක් තිබූ අතර, සමහරු අගතාද එහි ගිලී මිය මියගිය බව විශ්වාස කලා.
✅තවත් කොටසක් මේ ඇගේ ඊලග ග්‍රන්තයක් වෙනුවෙන් “ජනප්‍රියත්වය උදෙසා කල සැලසුම් සහගත නාටකයක්” බවට ඉඟි පළකලා.
✅කොටසක් ඇගේ සැමියා සහ අනියම් බිරිඳ සමග එක්ව ඇයව ඝාතනය කර ඇතිබව ප්‍රකාශ කලා.

නමුත් ….මේ සියළු උපකල්පන නිමාකරමින්, දින 11 කට පසු අගතා හැරොගේට්හි හෝටලයක ලැගුම් ගෙන සිටිය දී හමුවෙනවා. නමුත් ඉන් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණේ නැහැ. අගතාට ඒ දින 11 සිදුවූ කිසිදු සිදුවීමක් මතකයේ තිබුණේ නැහැ .පොලීසිය විමසූ ප්‍රශ්න කිසිවකට උත්තර දීමට ඇය අසමත් වුණා.

නමුත් පොලීසිය සොයාගත් කරුණු අනුව සිදුවීම මෙසේ උපකල්පනය කර තිබුණා “අගතා ක්‍රිස්ටි නිවසින් පිටව ලන්ඩනය බලා යන අතර, ඇගේ මෝටර් රථය අතරමගදී අනතුරට ලක්වුණා. ඉන්පසු රථය අතහැර දැමූ ඇය හැරෝගේට් බලා යන දුම්රියකට ගොඩවී තිබුණා. එතනින් ස්පා නගරයට පැමිණි ඇය, ස්වන් හයිඩ්‍රෝ – නම් හෝටලයට ඇවිදගියා. ගමන් මළු කිසිවක් රැගෙන නොපැමිණි ඇය එම හෝටලයේ තෙරේසා නීලේ නමින් ලියාපදිංචි වුණා. ඒ ඇගේ සැමියාගේ අනියම් බිරිදහට, ඇය කල්පිතව ගොඩනගාගත් නමකි.”(වාසගම පමණක් නිවැරදී)

කාර් අනතුර නිසා ඇගේ මතකය අමතක වන්නට ඇති බව අගතාගේ සැමියා යෝජනා කලා, නමුත් ඇය උග්‍ර මානසික අවපීඩනයකට පත්වීම හේතුවෙන්, මෙසේ අසිහියෙන් හැසුරුනු බවත්, වෙනත් නිර්මිත පෞර්ශයක් තුළ ජීවත්ව ඇති බවත් පිළිගත් මතයයි. එහෙයින් පුවත්පත් වල ඇය සොයා පලකළ දැන්වීම් පවා ඇය හදුනාගත්තේ නැහැ. එසේම දියණිය පිළිබදව පවා ඇයට සිහිවී තිබුණේ නැහැ.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
මේ දින 11 පිළිබඳව කල්පිත කතන්දරයක් Agatha and the Truth of Murder (2018) සිනමාපටයේ අන්තර්ගතයි.

ජීවිතයේ දෙවන ඇරඹුම
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

කෙසේ නමුත් ඇය ඉක්මනින් යලි යතා තත්වයට පත්වුණා. සැමියාගේ අනියම් සබදතා නොයිවසූ ඇය 1928 දී ඔහුගෙන් දික්කසාද වුණා. පසුව ඇය කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ ශ්‍රීමත් මැක්ස් මැලෝවන් සමඟ විවාහ වූවා. එතැන් සිට යලි පෑන අත් නොහැරි අගතා ක්‍රිස්ටි සිය දිවියේ අවසන් සමය දක්වාම ග්‍රන්ථකරණයෙහි යෙදුණා.

ඇය විසින් රචිත රහස් පරීක්ෂක ග්‍රන්ථ ප්‍රමාණය 70කට අධිකයි. හර්ක්‍යුල් පොයිරෝ හා ජේන් මාප්ල් ඇගේ අතින් බිහිවූ ප්‍රකටම චරිත ද්විත්වයයි.

මේරි වෙස්ට්මැකොට් නම් අන්වර්ත නාමයකින් Unfinished Portrait (1934) , A Daughter’s a Daughter (1952) වැනි ආදර කතාද ඇය රචනා කර තිබෙනවා.

ලොවපුරා ඇගේ සියළු ග්‍රන්ථ මේ වන විට පිටපත් බිලියන දෙකත් ඉක්මවා අලෙවි වී ගොස් තිබෙනවා. මෙය කතුවරයකුට ලැබිය හැකි ඉතා විරල සාර්තකත්වයක්.

ඇය ,1976 වසරේ ජනවාරි 12 දින සිය ජීවන ගමනට සමුදුන්නාය.

– Swarnarekha Sewwandi – 

Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *